අහස යට

 ලස්සනට හැඩ වැඩ දාල සන්නසක් වගේ හදපු වෙඩින් කාඩ් එක අතට දීල “පරණ සෙට් එක ඔක්කොම එදාට හම්බවෙනවා, කොහොම හරි දෙන්න එක්කම වරෙන්” කියල සාක්කු දෙකට අත්දෙක දාල කලිසම උස්සල, ඊට පස්සෙ ටීපෝව උඩ තිබුණ වෙඩින් කාඩ් පාර්සලේ අතට අරගෙන “තව ලොකු වටයක් යන්න තියෙනව” කියල මිත්‍රයා මිදුලට බැස්ස.

සුදුම සුදු පාට ගාපු ගාම්භීර පෙනුම තියෙන හෝටලේ බොහොම අමාරුවෙන් හොයාගත්තු ඉඩක වාහනේ රිංගවල ලස්සන පුංචි මල්වැල් වගේ පහන් වලින් සරසපු පාර දිගේ ගිහින් පළල් දොර තල්ලු කරගෙන උත්සවය තිබුන සාලාවට ඇතුළුවෙලා, එක තැන නතරවෙලා වට පිට බැලුව. වම් අත පැත්තෙ මල් උයනක් වගේ පෙනුන උස වේදිකාවෙ මැද මනාල ජෝඩුව.

කොහේදෝ ඉඳල ආපු විජේ මගේ අත් දෙකෙන් අල්ල ගත්ත.

කන් අඩි පුපුරාගෙන යන තරමට දකුණු අත පැත්තෙ ඇහෙන මහා සද්දෙට මුළු ශාලාවම පුපුරවා හරින්න ඔන්න මෙන්න වගේ. මිනිසුන් සන්සුන් කරන සංගීතයම මිනිසුන් පෙළාදමන තරමට දරුණු වෙලා.

එකම මේසයක වටවෙලා ඉන්න මිතුරන් අතර හිඳ ගත්තත් කිසිදු පැහැදිලි දෙබසක් හුවමාරු කරගන්නට ඉඩක් නොදීම දිගටම සංගීත කණ්ඩායම එයාලගෙ ආධිපත්‍ය පතුරවාගෙන යනව.

මහා විශාල ශබ්ද පෙට්ටි පරාද කරන්නට අපේ කට හඬට බැරි බව තේරුණාට පස්ස අපි උත්සාහය අතඇරල නිහඬවුණා.

සුදුපාට ආවරණය දාපු පුටුවෙ හරිබරි ගැහිල වාඩි වෙලා ඇස් දෙක පියාගත්ත, හරියට සංගීතය රස විඳිනව වගේ අනික් අයට පේන්නත් එක්ක.

අපේ ගම එයාගෙත් ගම කරගත්තු ගාල්ල පැත්තෙ ඉඳල ඉස්කොලෙට ආපු චිත්‍ර සර් පුංචි වක් පිහි තලයෙන් රටාවට ගොක් අත්ත කපනව. තව එක්කෙනෙක් එක එක පාටින් ගොක්කොළ ගොටු හදල ටින්ටස් ඇණ තියලා ලෑල්ලට අමුණනවා. පාට පාට ක්‍රෝටන් කොල, බඩල්හනස්ස එක එක රටා හදල පෝරුව හැඩ කරනව. කිතුල් රැහැන්වලින් හදපු හංස ජෝඩුව පෝරුව තවත් හැඩ කරනවා.

ඉරටුවෙ කෙරවල අමුණපු ගොක්කොළ බඹරෙ අරගෙන මම එක වටයක් කුස්සිය පැත්තට දුවනව. එක පේළියට වාඩිවෙලා හිකි හිකි ගාන ගෑනු කට්ටිය කැවුම් කොකිස් හදල මුට්ටිවලට අහුරනව. ළිඳට එහා පැත්තට වෙන්න වළ දාල දුම් ගහපු කෙසෙල් කැන් කහම කහ පාටට වළ ඇතුළෙන් එළියට මතුවෙනව.

ඉස්සරහ පැත්තෙ කොස් ගහයට අලුතෙන් හදපු පොල් අතු මඩුව ඇතුළෙ, අහල පහල ගෙවල් වලින් ගෙනාපු පුටු පේළියට තියල.’ ජේ’ අකුර ගහල තියෙන පුටු ජෝන් මමාලගෙ ගෙදර ඒව. පන්සලෙන් ගෙනාපු පුටුවල ‘පී’ අකුර ගහලමයි තියෙන්නෙ. පිටිපස්සෙ මැස්ස උඩ ගොඩ ගහල තියෙන බත්දීසි, කරිදීසි, පිඟන්වලත් යට පැත්තෙ කොටල තියෙන අකුරෙන් කාගෙ ගෙදරින් ගෙනාවද කියල අඳුරගන්නත් පුළුවන්.

යන්තම් අදුර වැටීගෙන එනව, ඈත පළාත්වල ඉන්න නෑදැයො පවුල් පිටින් ගෙට ගොඩ වදිනව. එහෙට මෙහෙට දුව ඇවිදින ආච්චි, ඔසරි පොටෙන් මුහුණ පිහදාන ගමන් ආපු නෑදැයො පිළිගන්නව. ගමන් මහන්සිය නිවා ගත්තු අය වැඩ පලට එකතුවෙනව. පෙට්ට්‍රල් මැක්ස් ලාම්පු පත්තුවෙන කොට ගේ පිරෙන්නම සෙනග.

පුංචි අම්මගෙ කාමරෙන් ඇහෙන්නෙ හරියට ගේ ඉස්සරහ මී අඹ ගහට ගිරව් පිරනෙ කාලෙට තොර තෝංචියක් නැතිව ඇහෙන සද්දෙ වගේ. දොර රෙද්ද ඈත් කරල කාමරේට එබුණම “ පොඩ්ඩට තමයි හෙට ඉදන් පාළු “ කියල කවුදෝ කියනව ඇහුන.

මහා ඝෝසාව මොහොතකට නතර වෙනව. මේසෙ දෙපැත්තෙ මුහනට මුහුන බලාගෙන ඉන්න අය පුංචි නිදහසක් හම්බවුණා වගේ කතාවල් පටන් ගන්න‍ෙ, ඒත් වැඩි වෙලාවක් යන්න කලියෙන් ආයිත් මහා ඝෝසාවක් එක්ක ඊළග සින්දුව පටන් ගන්නව. පුටුවලින් ඉස්සරහට නැමුණු ඔළු ආයිත් කෙළින් කරල හැමෝම නිහඬ වෙද්දි, මම ඇස් දෙක වහගෙන පුංචි අම්මගෙ මගුල් ගෙදර යනව.

කාඩ් කුට්ටමේ ස්කෝප්ප හේරගෙ වගේ රැවුල තියෙන කෙනා එළවගෙන ආපු කළුපාට තඩි කාර් එක කඩුල්ල ගාව නතරවෙනව, අහල පහල ගෙවල්වල අය මිදුල්වලට බැහැල , පොඩි උන් නම් කාර් පේළිය පිටිපස්සෙන් දුවගෙන ඇවිත් බලාගෙන ඉන්නෙ මනමාලය කාර් එකෙන් බහිනකම්. එයා කළුයිද, සුදුයිද දැනගන්න. හබරල ගස් වැවිල තියෙන පැත්තෙන් තුන්හුලස් දෙක තුනක් මහ සද්දෙන් පුපුරද්දි, වෙරළු ගහේ බැඳල ඉන්න රත්ති කලබලවෙලා ලණුපට කඩාගන්න හදනවා.

මනමාලය ගෙට ගොඩ වෙද්දි නූල ඇදල මල් වෙඩිල්ල පත්තුකරන වැඩේ බාරව හිටපු සුදු මාම වැඩේ අකුරටම කෙරුව කියල සීය කියපුවම එයා ආඩම්බර හිනාවක් දානව. ෆෝටෝ ගන්න මාමා විසිකරන, පළාතම එළියකරල චොස් ගාල ඔළුව කළු වෙලා යන බල්බ් ඇහිදින තරගෙට මමත් එකතුවෙනව.

පෝරුවෙ කටයුතු ඉවරයි, හැමෝම තැන්තැන්වල මහ කතා බහ, අවුරුදු ගානකින් හම්බවුණ නැදෑ මිත්‍රයින්ගෙ සතුට දෝරේ ගලනවා. සීයගෙ තනි අයිතියට තියෙන ඉස්තෝප්පු කාමරේට ඇතුල්වෙන පිරිමි උදවිය කටපිහ දදා එළියට එන්නෙ මොකද බලන්න උළුවස්සෙන් ඔළුව රිංගවන්න හැදුවත් අවසරයක් ලැබුණේ නැහැ.

බුෆේ එකේ පෝලිම මහ දිග එකක් වෙලා, යාළු මිත්‍රයොත් එකා දෙන්නා පෝලිමට එකතුවෙනව. සමහරු ගොළු භාෂාවෙන් අහනව කෑම කමුද කියල. පිඟානක් අතට ගන්නත් තව මහදුරක් පෝලිමේ යන්න ඕනැ.

ඉස්සෙල්ලම කෑම මේසේ මනමාලයගෙ පැත්තෙන් ආපු අයට, ඊට පස්සෙ ගමේ ප්‍රභුන්ට. සුදුපාට සාරි එළපු මේසෙ වටේටම පුටු තියල. හැමෝම වාඩි වුණාම පිටිපස්සෙ හිටගෙන ඉන්න අය කෑම බෙදන්න ගන්නව, කෑම කන අයගෙ පිඟන් හිස් වෙනකම් වගේ බලාගෙන ඉන්නව තරගෙට කෑම බෙදන කණ්ඩායම. මගුල් මඩුවෙ පැත්තකට වෙන්න එල්ලල තියෙන කෙහෙල්කැන ඉවර වෙන්න කලින් තව එකක් එතන එල්ලනව. අහවර වෙච්චි මී කිරි මුට්ටි පේළියට ගොඩ ගැහෙනව.

හැමෝම යන්න පිටත්වෙනව. මංගල සභාව මිදුල මැද්දෙ රැස් වෙනව. පුංචි අම්මගෙ ඇස්වල කදුළු පිරෙනව. කවුදෝ කෙනෙක් මාවත් තල්ලු කරනව පුංචි අම්ම ඉස්සරහට යනව. එයා මාව වෙනද වගේම තුරුළු කරගන්නව එයාගේ ඇස්වලින් කදුළු කැට වැක්කෙරෙනව.

අවුරුදු ගානකට පස්සෙ හම්බවුන යාළු මිත්‍රයින්ට ඔළුවෙන් යන්නම් කියල මහදොර තල්ලුකරගෙන එළියට බැස්ස. මහා ඝෝෂාවකින් මිදුනණ සැහැල්ලුව හිතට දැනෙනව.

අඳුර කපාගෙන ලොකු ලයිට් දෙකේ එළියෙන් කාර් එක ඉස්සරහට ඇදුනට මහ පාරේ තියෙන පාළු ගතිය හිතට ගෙනාවෙ මොකක් දෝ හිස් කමක්......

චන්දන ගුණසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.