ගලහ හන්දිය

 සෑහෙන කලෙක සිට බටහිර රාජ්‍යයන්ගේ අවශ්‍යතාව වූයේ කොටි සංවිධානය සමග දිගු කාලීන සාමයක් සදහා සාකච්ඡාමය විසදුම් ස්ථාපිත කර ගැනීමටයි. එහෙත් කොටි සංවිධානයේ මූලධාර්මික ඌනිත පරිකල්පනය නිසා බටහිර රාජ්‍යයන්ගේ ස්ථාවරයෙන් දේශපාලන ප්‍රයෝජනයක් ගැනීමට ඔවුහු අසමත් වූහ. අවසන බටහිර රාජ්‍ය මුළු වැර යොදා කොටි සංවිධානයට පහරදීමට තීරණය කර ඉන්දියාව හරහා ශ්‍රී ලංකා රාජ්‍යයට ඒ පණිවුඩය ආවේ ය.

එහෙත් ඒ වනවිටත් ශ්‍රී ලංකා රජය කොටි සංවිධානය හා සාම සාම සාකච්ඡා පවත්වමින් සිටියේ බටහිර අනුදැනුම මත ය. 2001 දී බලයට ආ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව කොටි සංවිධානය හා සාකච්ඡා පවත්වමින් ඉන්නා අතර ඇමෙරිකා එක්සත් ජනපදය කොටි සංවිධානය කොන් කිරීමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් අරඹා තිබුණි. ඒ අතරතුර එක්සත් ජනපද හමුදාවන් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ශ්‍රී ලංකා රජයට ලබා දී තිබුණි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙන කවරදාවකටත් වඩා උනන්දුවෙන් සහයෝගීව වැඩ කිරීමට පෙරට ආවේය. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන විට එක්සත් ජනපදයේ මුලෝපායික අරමුණ වූයේ ඔහු ලවා කොටි සංවිධානය පොඩි පට්ටම් කර දැමීමයි.

2004 මහා මැතිවරණයේ මූලික නිමිත්ත වූයේ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කිරීමයි. එකල ද අද මෙන්ම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කොටස් නිතර ආණ්ඩුව විවේචනය කළේ "රට බෙදන්න හදනවා", "එල්ටීටීඊයට රටෙන් කෑල්ලක් දෙන්න හදනවා" වැනි වගාලාප කියමිනි. එම වර්ගවාදී රැල්ලේ කූට ප්‍රාප්තිය වූයේ 2005 ජනාධිපතිවරණයයි. ජනතා විමුක්ති පෙරමුණත් ජාතික හෙළ උරුමයත් තමන්ට හැකි උපරිමයෙන් වර්ගවාදය අවුස්සමින් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී හැඟීමකින් දකුණේ දේශපාලනය ශක්තිමත් කළහ. එහෙත් 2005 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ "මහින්ද චින්තනයෙන්" ද සාම සාකච්ඡා මුළුමනින්ම බැහැර කිරීමට ඔහුට ශක්තියක් නොතිබුණි.

එහෙත් ක්‍රමයෙන් යුද්ධය කරා යන්නට ශක්තිමත් දේශපාලන බලවේගයන් දෙකක් මහින්ද රාජපක්ෂ සතුව තිබුණි. ජාතික හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ න්‍යායික හා ප්‍රායෝගික අවශ්‍යතාවන් ඉෂ්ට කරමින් දකුණේ දේශපාලනය තුළ අවශ්‍යම හයිය මහින්ද රාජපක්ෂට නොඅඩුව ලබා දුනි. ජාතික හෙල උරුමය න්‍යායිකව හා ප්‍රායෝගිකව යුද්ධයක් වෙනුවෙන් ඇප කැපවීම තාර්කික ය. එහෙත් වමේ කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුණ ද තකට තක ලෙස ජාතික හෙළ උරුමය හා එක පෙළට සිට ගත්තේ වමේ හැව අරිමිනි. ඊනියා බෙදුම්වාදය නැමැති ධනේශ්වර න්‍යායික ලනුව ගිලිමින් දෙමළ පීඩිත සමාජ තීරුව අමතක කරමින් රාජපක්ෂ හා එක පෙළට සිටගෙන මර්දනය සදහා දරදිය ඇදීම ලැජ්ජා සහගත ය.

කෙසේ හෝ කොටි සංවිධානය ශ්‍රී ලංකා රාජ්‍යයට එල්ල කළ මිලිටරිමය අභියෝගය හමුවේ සමාජයක් ලෙස අප තෝරා ගත්තේ යුදමය විසදුම ය. ශ්‍රී ලංකා රාජ්‍ය තම අවශ්‍යතාව කී සැනෙන් එයම තෝරා දෑතට ගෙන දෙමළ සමාජයට යකඩෙන් හා ගින්දරින් ප්‍රති ප්‍රහාර ලබාදීමට දකුණේ සමාජය පසුබට නොවුණි. යුද්ධය රාජයේ විසඳුම වන විට සමාජය ද එයම විසඳුම කර ගත්තේ අතාර්කිකව ය. සියලු සමාජ බලවේගයන් ධ්‍රැවීකරණය වෙමින් ශ්‍රී ලංකා රජ්‍ය හා කොටි සංවිධානය වටා බලමුළු ගැන්වෙද්දී අන්තර් ජාතික ප්‍රජාව එක මිටට ශ්‍රී ලංකා රජය වටා එක්ව සිටීම විශ්මය දනවන සුළුවිය. ඒ සමග උතුර දකුණ ගනුදෙනු කරන්නට පටන් ගත්තේ යකඩෙන් හා ලෙයිනි.

බටහිර අවශ්‍යතාව හා දේශීය ආශාව ඒකමිතික වෙමින් කොටි සංවිධානය තලා පොඩි පට්ටම් කර මේ වනවිට ගෙවී යන්නේ අටවන වසරයි. ගෙවී ගිය අට වසර තුළ යුද්ධය නිසා අපට අහිමි වූ සමාජ වටිනාකම් ගැන තක්සේරුවක් කරන්නට කාලය හොඳටම ප්‍රමාණවත් ය. එහෙත් ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට උතුරේ හෝ දකුණේ හෝ මිනිස් ප්‍රජාව ශක්තිමත් නොවීම කනගාටුවට කරුණකි. එනිසා තවමත් සමාජයක් ලෙස අප කරන්නේ දෙපිලකට බෙදී යුද්ධයේ කඳුළ ද සිනහව ද සැමරීම පමණි.

සමාජයේ තීරණාත්මක මොහොතක තාර්කික තෝරා ගැනීම් කරන්නට සමත්වීම මත ඒ සමාජයේ ගමන් මග තීන්දු වේ. අධිරාජ්‍ය වාදීන්ගෙන් නිදහස ලැබ ලංකාවට සුදුසු ජාතික ධජය කුමක්දැයි තෝරා ගන්නට සූදානම් වූ මොහොතේ බහුතරය තෝරා ගත්තේ අසිපත දරන සිංහයකු සිටිනා ධජයයි. එහෙත් සිංහල භාෂා ශාස්ත්‍රයට අනූපමේය මෙහෙවරක් කළ කුමාරතුංග මුනිදාසගේ තෝරා ගැනීම වූයේ නැගෙන හිරුගේ රුව රැගත් ධජයයි. වමේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධන ද වත්මන් ජාතික ධජයට එරෙහි වූවන් අතර විය. ඒ නිවැරැදි නොවන තෝරා ගැනීමේ ආදීනව තවමත් අප සමාජයක් ලෙස ගෙවමින් සිටිමු.

කොටි සංවිධානය ශ්‍රී ලංකා රාජ්‍යයට එල්ල කළේ දේශපාලන අභියෝගයකි. පළමුව ප්‍රජාතාන්ත්‍රිකව ද පසුව මිලිටරිමය ලෙස ද ප්‍රකාශයට පත් වුවත් එය අතිශය ඉලක්ක ගත දේශපාලන අභියෝගයකි. යුද්දය නිසා දෙපාර්ශ්වයටම බරපතල හානි එල්ල වුණි. එහෙත් යුද්දයෙන් අත් මිදෙන්නට තෝරා ගත්තේ කුරිරු යුද්දයයි. එහෙත් ඊට පෙරළා කරන ප්‍රති අභියෝගය ආචාර ධාර්මික නොවීය. එනිසාම ප්‍රතිවාදියා සදාචාරමය අර්බූදයකට තල්ලු කිරීමට ලාංකික සමාජය අසමත් වුණි.

ඉන්දුනීසියාවේ අසේ ප්‍රාන්තයට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වැදුනු අසේ කැරලිකරුවන් අවි බිම තබා ඉන්දුනීසියානු රජය සමග එකගතාවකට ආවේ 2004 දී ආ සුනාමි ව්‍යසනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. විශාල ගංවතුරකට පසුව නයි ද පොළගුන් ද එළ හරක් ද මී හරක් ද කොටි ද සිංහයින් ද ආ දී වශයෙන් සියලු සතුන් එකම වහලක් උඩට නැග ජීවිත බේරා ගන්නේ යැයි කියමනක් පවතී. එහෙත් විශාල ගංවතුරකට පසුව ද ලාංකික සමාජය තෝරා ගත්තේ එකිනෙකා හා ඇන කොටා ගැනීම ය.

ලොව තුළ ඔබ දකින්නට කැමැති වෙනස ඔබම වෙන්නැයි මහත්මා ගාන්ධි කීය. ඒ අනුව ජීවත් වන්නට ද තෝරා ගැනීම් කරන්නට ද ඔහු වැර දැරීය. ලාංකික සමාජයට එතරම් උසස් පරිකල්පනයකට හා ප්‍රායෝගිකත්වයකට ළගා වන්නට තවත් සෑහෙන කාලයක් ගත වනු නොඅනුමාන ය.

අබරන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.