අපනයන ආදායම වැඩි කරන ආර්ථික ක්‍රමයක් ඕනෑ

 අපේ රටේ භාණ්ඩ අපනයනය කිරීමේදී සම්බාධකයක් ලෙස අහිමි කර තිබූ ජීඑස්පී ප්ලස් බදු සහනය යළිත් වරක් ලබා දීමට යුරෝපා හවුල විසින් තීරණය කර තිබෙනවා. එය මෙරට භාණ්ඩ අපනයනයට ඉතා හොඳ අවස්ථාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තටම ජීඑස්පී ප්ලස් බදු සහනය යනු කුමක්දැයි පළමුව අවබෝධ කර ගත යුතු වනවා. එය ශ්‍රී ලංකාවට පමණක් දී ඇති බදු සහනයක් නොවෙයි. දියුණු වෙමින් පවතින නැත් නම් දුප්පත් රටවලට යුරෝපයෙන් සලසා දී ඇති බදු සහනයක්.

ඒ අනුව සහන බදු යටතේ එම රටවලට ඇඟලුම් ඇතුළු භාණ්ඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව මේ අනුව තිබෙනවා. ඒ අනුව භාණ්ඩ සඳහා හොඳ තරගකාරිත්වයක් ඇති කිරීමට අපට හැකියාව ලැබෙනවා. අපේ රටේ භාණ්ඩ සඳහා අඩු බදු ප්‍රමාණයක් අය කරනු ලබන නිසා අපට හොඳ තරගකාරීත්වයක් ඇති කරගන්න පුළුවන්. එම නිසා මේ ජීඑස්පී ප්ලස් සහනය ඉතා වැදගත් වනවා. එයින් යුරෝපයේ වෙළෙඳපොළ තුළ අපේ කොටස නැත් නම් අපේ වෙ‍‍ළෙඳ වපසරිය වැඩි කරගැන්මට හැකියාව ලැබෙනවා.

l තාවකාලික සහනයක්

එහෙත් ජීඑස්පී ප්ලස් සහනය අපේ රටේ අපනයන දියුණු කර ගන්න දෙන තාවකාලික සහනයක් බව අප තේරුම් ගත යුතුමයි. මේ නිසා අප සදාකාලිකව ඒ සහන ගනිමින් ඉන්නවාද නැත් නම් එතැනින් එහාට යනවාද කියල තේරුම් ගන්න වෙනවා. සහන ලබාගෙන, සහන පිහිටෙන් සැමදා ඌන සංවර්ධිත ලෙස රට පවත්වාගන්නවාද නැත් නම් එයින් ඔබ්බට ගොස් සංවර්ධනය කරා ගමන් කරනවාද යන්න ගැන අප අවබෝධ කරගත යුතුයි. අප සදාකල්ම මේ බදු සහන මත එල්ලී, දුප්පත් ලෙස කටයුතු කරනවාද නැත් නම් සහන අමතක කරදමා අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවාද යන්න ගැන ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු වෙනවා.

ජීඑස්පී ප්ලස් බදු සහනය මත එල්ලී සිටිය හොත් සදාකල්ම අපට සිදු වන්නේ ඒ තාවකාලික සහනය මත යැපීමටයි. එයින් ගැලවීමට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මෙවන් තත්ත්වයක් මත අප කුමක් කළ යුතුද?

අපේ අපනයන ඉතා දුර්වල මට්ටමකයි පවතින්නේ. පහුගිය අවුරුදු 15ක කාලය තුළ අප රටේ දළ ජාතික නිෂ්පාදිතයට ලබා දී ඇති අපනයන ආර්ථිකය ශීඝ්‍රයෙන් පහත වැටිලා‍. අවුරුදු 15කට විතර කලින් 35%ක් පමණ වූ ඒ දායකත්වය මේ වන විට 13%ක් පමණ දක්වා පහත වැටී තිබෙනවා. ඒ තත්ත්වය එන්න එන්නම පහත වැටුණා.

l ප්‍රශ්න රැසක් 

අපනයන ආර්ථිකය දුර්වල මට්ටමකට වැටෙන විට තවත් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් හටගන්නවා. එයින් පළමුවැන්න අපේ ණය බර වැඩි වීමයි. දෙවැන්න ඩොලරයේ අගය ආරක්ෂා කරගැනීම නැත් නම් විනිමය අනුපාතය පවත්වාගැනීම සම්බන්ධ ගැටලු මතු වීමයි. එසේම මහ බැංකුවේ සංචිත ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නත් ඇති වෙනවා.

මේ නිසා අප කළ යුත්තේ ජීඑස්පී ප්ලස් බදු සහනය තාවකාලික ගොඩයෑමක් බව තේරුම් ගෙන කටයුතු කිරීමයි. ඒත් බොහෝ දෙනා සිතන්නේ ජීඑස්පී ප්ලස් බදු සහනය ලද විගස එය ඉතා ශක්තිමත් ආර්ථිකයට පදනමක් බවයි. එය සාවද්‍ය කරුණු අවධාරණය කරගැනීමක්.

මේ අවස්ථාවේදී අපේ අපනයන ආර්ථිකය පහත වැටී ඇති නිසා එයින් ගොඩ යෑමට ජීඑස්පී ප්ලස් බදු සහනය උපයෝගි කරගත හැකියි.

l ජීඑස්පී ප්ලස් 'පැරසිටමෝල්' හා සමානයි

ඒත් ජීඑස්පී ප්ලස් බදු සහනය 'පැරසිටමෝල්' පෙත්තක් භාවිත කළ හා සමාන බව අප සිත්හි තබාගත යුතු වනවා. එයින් තාවකාලික සහනයක් ලද හැකි නමුත් රෝගය එතැනමයි. ඒ බවයි අව‍බෝධ කරගත යුත්තේ. ඒ තාවකාලික සහනය ලබාගෙන රෝග නිධානය සොයා ඒ සඳහා විසඳුම් ලබාගත යුතු වනවා.

අප තවමත් කටයුතු කරන්නේ මීට වසර 15කට පෙර ආර්ථිකය නංවන්න සිදු කළ කතාබහ ගැනයි. එයින් ඕබබට යෑමට අප කිසිදු අවස්ථාවක කටයුතු කර නැහැ. එයින් අපට තේරුම් ගන්න සිදුව තිබෙන්නේ වසර 15කට 20කට පෙර සිටි තත්ත්වයේම අප තවමත් සිටිනා බවයි.

අප තවමත් අපගේ අපනයන ආර්ථිකය බිඳවැටීම් සම්බන්ධව අවධානය යොමු කර නැහැ. අපගේ ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිසංස්කරණ යල් පැන ගිය ඒවා බව අප අවබෝධ කරගෙන නැති බවයි මේ අනුව පෙනී යන්නේ. අවසන් වරට මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කර ඇත්තේ 1989/ 1990 කාලවකවානුවේදී බවයි පෙනී යන්නේ. ඒ අනුව වසර 27කින් පමණ කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු නොකළ අප තවමත් දශක තුනකට පෙර සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල එල්ලී සිටිනවා. මෙයින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිද යන්න අමුතුවෙන් පවසන්නට අවශ්‍ය නැහැ.‍

l සහන ආර්ථිකයක එල්ලිලා

අප තවමත් සහන මානසිකත්වයෙන් දිවි ගෙවන තත්ත්වයෙන් ඉවත්ව නැහැ. අපට තනියෙන් නැඟී සිටින ආර්ථිකයක් සකසා ගන්නට තවමත් කටයුතු කර නැහැ. සමස්ක රටේම ජනතාව සහන ආර්ථිකයකටයි හුරු වෙලා තියෙන්නේ. මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස මේ මානසිකත්වයෙන් මිදිය යුතු වනවා. එසේ නොමැතිව අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න බැහැ. එසේ නැත් නම් සැමදා සහන බලාපොරොත්තුව අපට දුගී රටක් ලෙස කටයුතු කරන්න පුළුවන්. ඒත් එයින් කිසිදා දියුණුවක් ලබන්න බැහැ.

අප සැමදා බලා සිටින්නේ අයවැයෙන් ලැබෙන සහන මොනවාද යන්න ගැනයි‍. එසේම අපනයනකරුවන් බලා සිටිනවා යුරෝපා හවුලෙන් සහන ලැබෙන තෙක්; ඇමෙරිකාවෙන් සහන බලාපොරොත්තු වනවා; බටහිර රටවලින් සහන බලාපොරොත්තු වනවා.

සමෘද්ධිය වැනි සහනාධාර ක්‍රම පරම්පරා ගණන් ඇදී යන තත්ත්වයක් පෙනී යනවා. මව, පියා සමෘද්ධිය ලැබුවා. ඔවුන්ගේ දූ-පුතුනුත් දැන් එය ලබනවා. ඒ තත්ත්වය ඊළඟ පරපුරටත් ගෙනා යෑම සුදුසුයි කියා සිතනවා නම් අපට කිසි දිනක දියුණුවකට යන්න ගැන සිතන්නට වත් බැහැ.‍

අපනයන ආදායම වැඩි නොකර මෙරට ආර්ථිකය ශක්තිමත් කරන්න බැහැ. රැකියා උත්පාදනය කරන්න බැහැ. මේ නිසා අපනයන ආදායම වැඩි කර, රැකියා උත්පාදනයට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු වනවා. ඒත් අපි ජීඑස්පී ප්ල්ස් බදු සහනය මත සියල්ල සිදු කළ හැකිය යන වැරැදි මානසිකත්වයේ සිටිනවා. විදෙස් ආයෝජකයන් මෙරට සිදු කරන ආයෝජන වැඩි කරගත යුතු වනවා.

l ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ

ආයෝජකයන් වැඩි කරගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති අප තවම නිසි පරිදි සකස් කරගෙන නැහැ. මේ නිසා ආයෝජකයන්ගේ විශ්වාසය අපට රැකගැනීමට හැකිව නැහැ. ‍ආයෝජකයන් දේශීය සහ විදේශීය වශයෙන් දෙවර්ගයක් සිටින නමුත්, අපේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගැන්මට නම් විදේශීය ආයොජකයන්ගේ ප්‍රමාණය වැඩි කරගත යුතු වනවා.

පසුගිය වසර 25ක කාලය තුළ ඉතා සුළු වශයෙන් පමණයි අපේ ආර්ථිකයේ වෙනස්කම් සිදුව ඇත්තේ. අපනයන ආදායම 35%ක් දක්වාවත් වර්ධනය කරගත යුතු වනවා. එය දේශීය අ‍ායෝජකයන්ට තනිව සිදු කරන්නට බැහැ. මේ නිසා විදේශීය ආයෝජකයන‍්ගේ ආයෝජනය අනිවාර්යයෙන්ම අවශ්‍ය වනවා.

ඒත් විදේශීය ආයෝජකයන‍් මන්දගාමි බවක් පෙන්වනවා. ඒ සඳහා හේතු සාධක නැත් නම් රෝග නිධානය අප පළමුවෙන්ම අවබෝධ කරගත යුතු වනවා.

විදෙස් ආයෝජකයන්ට විශ්වාසයකින් මෙරට ආයෝජනය සිදු කළ හැකි ආර්ථික රටාවක් තවමත් මෙරට ස්ථාපිතව නැහැ. ඒ ගැන අවබෝධ කරගෙන කටයුතු නොකර ආයෝජකයන‍්ට ආරාධනා කිරීමෙන් පලක් වන්නේ නැහැ.‍ ආයෝජකයන් හැම විටම ආයෝජන සිදු කරන්නේ ලාභාපේක්ෂාවෙන් බව මතක තබාගත යුතුයි. ඒත් අපේ රටේ අවුරුදු 25කටත් වඩා පැරැණි ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ගැටලු මතු වනවා.

ආයෝජකයන්ට මෙරට ආරක්ෂාව ඇති බව පළමුව පෙන්වා දිය යුතු වනවා. එසේම අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති සංශෝධනය විය යුතු වනවා.

එමෙන්ම දේශපාලනික වශයෙන් විශ්වාසය පළුදු වී තිබෙනවා. ආයෝජකයන් බලාපොරොත්තු වන්නේ ස්ථාවර ක්‍රමවේදයක්. ඒත් ඔවුන්ට දැන් ආයෝජනය කරන විට සිතන්නට බොහෝ කරුණු තිබෙනවා. එය ආර්ථිකයට එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි.

ආයොජකයකු ඩොලර් මිලියන 100ක් 200ක් ආයෝජනය කරන්නේ ඔවුන්ට වෙනත් ස්ථාන නොමැතිව නෙමෙයි. ඒ බව අප පළමුවෙන්ම අවධාරණය කරගත යුතු වෙනවා.

l ආයෝජකයාගේ අවධානය

ආයෝජකයාට සිතන්න සිදු වන කරුණු මොනවාද යන්න ගැන ගැඹුරින් අවධානය යොමු කළ යුතුයි.

තමන්ට ස්ථාවර ව්‍යාපාරක් සිදු කර ගෙන යෑමට හැකියාව ලැබෙයිද? යන සැකය පළමුව ඔහු තුළ මතු වෙනවා. තවත් වසර 4ක් පමණ යන විට ආණ්ඩුව නීති රීති වෙනස් කරමින් සිදු කරන වෙනස්කම් නිසා මේ ව්‍යාපාරය කඩාවැටෙයිද? එසේත් නැත් නම් තවත් ආයෝජකයකු කැඳවීමෙන් ආ‍යෝජනයට අභියෝගයක් සිදු වෙයිද? එවන් තත්ත්වයක් තුළ මේ ආයෝජනයට කුමක් සිදු වේද?

මෙවන් සැක සහිත කරුණු දාමයක් නිසා මෙරට ආ‍යෝජයනයට පැමිණෙන අයකු දැඩි අපහසුතාවන්ට පත් වීමට පුළුවන්.

මේ නිසා අප වහාම කළ යුත්තේ නොපමාව මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමයි.

එවිට ආයෝජකයන් ආරාධනයක් නැතිවම මෙහි පැමිණෙන බව සිතන්න පුළුවන්. අප ජීඑස්පී ප්ලස් හිඟන්නා‍ගේ තුවාලයක් සේ තබාගෙන නොසිට, අපේ ආර්ථිකය අපම හදාගන්න උත්සාහ කරනවා නම් මෙරට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ කටයුත්ත අසීරු නොවන බව පැවසිය යුතුයි. කෙසේ වෙතත් ඉදිරි අවුරුදු 10ක් 12ක් යන විට හෝ අපේ ආර්ථිකය ගොඩගැනීමට කටයුතු කරනවා නම් දැන්ම ඒ සඳහා විසඳුමක් සපයා දිය යුුතු වනවා.

සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.