අහිංසක නැති ඇත්ත දේශපාලනය

 ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධූරය අභියාචනාධිකරණය මගින් අහෝසි කිරීමත් සමග ද්විත්ව පුරවැසිකම හිමි දේශපාලකයන් කලබලයට පත්ව ඇති බවක් දක්නට ලැබේ. එනිසා තම තමන්ගේ මන්ත්‍රී ධූරයන් ද අහෝසි වීමේ අවදානමක් පවතින බැවින් එම කලබලවීම තාර්කික ය. එහෙත් රාජපක්ෂ රෙජීමයේ ප්‍රබල ඇමති ධූරයක් දැරූ බැසිල් රාජපක්ෂ පවසන්නේ කිසිසේත්ම ඇමෙරිකන් එක්සත් ජනපද පුරවැසිභාවය තමන් අත් නොහරින බවයි.

1977 දී මුල්කිරිගල ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර පරාජයට පත් වුවද බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව දේශපාලනය කළ රාජපක්ෂවරයෙකි. 1982 දී හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ දේශපාලන ව්‍යාපාරය හා එක්වූ ඔහු හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක සමග අත්වැල් බැඳගෙන කටයුතු කළේ ය. මුල්කිරිගල අතුරු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තම ඥාති දියණිය වූ නිරූපමා රාජපක්ෂ තරග කරද්දී ජේ ආර් ජයවර්ධනගේ විශේෂ තේරීම මත මුල්කිරිගල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ ආනන්ද කුලරත්නගේ මැතිවරණ කළමනාකරු වූයේ බැසිල් රාජපක්ෂයි. ගාමිණී දිසානායක සමග දිගටම එක්සත් ජාතික පක්ෂ දේශපාලනය කළ ද බැසිල් 1994 දී තම සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙහෙස මහන්සි විය.

1997 දී ග්‍රීන් කාඩ් පතක් මගින් එක්සත් ජනපද පුරවැසිභාවය ලැබූ බැසිල් රාජපක්ෂ පසුව එක්සත් ජනපදයේ පදිංචියට ගියේ ය. ඒ බැසිල් රාජපක්ෂ යළි මෙරටට එන්නේ 2005 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තම සහෝදරයා තේරි පත්වූ පසුව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට උර දෙන්නට ය. ජාතික ලැයිස්තුවේ පත් කළ මන්ත්‍රී, ජනාධිපති උපදේශක හා බලසම්පන්න ආර්ථික සංවර්ධන ඇමති ආදී තනතුරු දරමින් සිටි බැසිල් රාජපක්ෂගේ විශේෂම රාජකාරිය වූයේ මෙරට මෙන්ම පිටරට දේශපාලන බලවේගයන් රාජපක්ෂ රෙජීමයේ අවශ්‍යතා සදහා කළමනාකරණය කර ගැනීමයි.

තියුණු ව්‍යාපාරික ඉවකින් යුත් ශූර බුද්ධියෙන් යුත් ප්‍රායෝගික අයෙකු වූ බැසිල් රාජපක්ෂට දේශපාලන බලවේගයන් කළමනාකරණය කර ගැනීම සරළ කරුණක් විය. එක් අතකින් එය දේශපාලන ගනුදෙනුවකි. අනිත් අතින් එය ව්‍යාපාරික ගනුදෙනුවකි. රාජපක්ෂ රෙජීමය ස්ථාවර කර ගැනීම සඳහා ඔහුට කළ හැකි උපරිමයෙන් ඒ දේ කළ අතර ඊට දේශපාලන ආචාරධාර්මික වලංගුතා අවශ්‍ය නොවීය. බැසිල් තම සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ යටතේ දේශපාලනය කිරීම ආරම්භ කළේ අලුත් දේශපාලන සංස්කෘතියකිනි. ඔහු සහෝදරයාගේ රාජ්‍ය බලය යොදා ගනිමින් සියලුම සමාජ කොටස් ඒකරාශී කරගත් දේශපාලන බල ජාලයක් ගොඩනඟා ගත්තේ ය. ඒ අනුව ගම් මට්ටමේ සිට ජනාධිපතිවරයා දක්වා ශක්තිමත් කර ගත් ජාලයේ එකම අරමුණ වූයේ රෙජීමය රැක ගැනීමයි.

එහෙත් ඔහු තම සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසුව එක්සත් ජනපදයට පළා ගියේය. ඒ අතරතුර බලයට පත්වූ අලුත් ආණ්ඩුව ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ අතර නීති විරෝධී ලෙස රැස් කර ගත් ධනය සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරන ලදි. අද බැසිල් රාජපක්ෂත් ඒකාබද්ධ විපක්ෂයත් පුන පුනා කියන්නේ එලෙස නීතිමය ලෙස කටයුතු කිරීම දේශපාලන පළි ගැනීමක් බවයි. එහෙත් එල්ලවන චෝදනා දෙස බලන විට කියනතරම්ම අහිංසක නැති බව පෙනී යයි.

දේශපාලන අනුග්‍රහය

ගම් මට්ටමේ ප්‍රාදේශීය සභා දේශපාලකයන් මේ තරමට මූල්‍යමය අතින් ශක්තිමත්ව ඇත්තේ ඔවුන් ලබන සොච්චම් වේතනයෙන් යැයි කිව නොහැක. එහෙත් ඔවුන් ශක්තිමත් ආර්ථික වටපිටාවක් ගොඩනගාගෙන ඇත්තේ ප්‍රශස්ථ ලෙස ය. ඒ සදහා ප්‍රාදේශීය සභාව සතු බලය උදව් උපකාර වේ. ඉහළ දේශපාලන අනුග්‍රහයද ඊට ලැබුණු බව රහසක් නොවේ. ගම් මට්ටමේ ආර්ථික ශක්තියෙන් තොරව සිටි පිරිසක් ප්‍රාදේශීය දේශපාලනයට ආ පසුව ශක්තිමත් ආර්ථික හයියක් ලබාගෙන ඇත්තේ කෙසේදැයි විමර්ශනයට ලක් කළ යුතුය. ජනාධිපතිවරණයෙන් පසුව බැසිල් රාජපක්ෂට ඇමෙරිකන් එක්සත් ජනපදය "වාසභූමියක්" වූයේ කෙසේදැයි ලාංකික දේශපාලනයේ බොහෝදෙනෙක් බරපතල ලෙස සලකා බලන්නේ නැත. රාජපක්ෂ රෙජීමයේ මැතිවරණ සලකුණ වූයේ එල්ටීටීය සමූල ඝාතනය කිරීම හා බටහිර විරෝධයයි. ඒ තුළ නිතර නිතර රාජපක්ෂවාදීන් කීවේ තමන් ගොඩනගන ජාතිකවාදී ආණ්ඩුව බිඳ දැමීමට බටහිර රටවල් කුමන්ත්‍රණය කළ බවයි. එහෙත් එහෙව් කුමන්ත්‍රකාරී ප්‍රධානම රටවන ඇමෙරිකන් එක්සත් ජනපදය පරාජය වී තමන් කරා එන බැසිල් රාජපක්ෂට සරණක් වූයේ හුදු මානවවාදී පදනමින්ම නොවන බව මේ පිරිස නොදනිති.

වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊට කලින් ගුජ්රාට් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති වශයෙන් සිටිය දී අනුගමනය කළ වර්ගවාදී කටයුතු සම්බන්ධයෙන් යැයිකියමින් තම රටට ඇතුළුවීමට එක්සත් ජනපදය වීසා නිකුත් නොකළේ ය. මෝදි 2014 දී ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට පත්ව එක්සත් ජනපදය හා මිත්‍රත්වයක් ඇතිවන තුරුම මේ තහනම වලංගු වූ අතර එය ඉවත් කළේ ඉන් අනතුරුවය. එසේම අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ද පසුගිය දා එක්සත් ජනපදය විසින් වීසා නිකුත් නොකළ බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත් මේ බාධා ඇමෙරිකන් එක්සත් ජනපදය විසින් රාජපක්ෂවරුන්ට එල්ල නොකිරීම විශේෂත්වයකි.

පසුගිය ආණ්ඩුවට කොතෙක් මානව හිමිකම් චෝදනා එල්ල වුවද මහින්ද රාජපක්ෂ අවශ්‍ය ඕනෑම මොහොතක එක්සත් ජනපදයට වීසා ලබා ගත්තේ ය. ගෝඨාභය රාජපක්ෂ 2016 වර්ෂයේ ඇමෙරිකන් එක්සත් ජනපදයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ එරට දෙමළ කණ්ඩායම් ඔහුව අත් අඩංගුවට ගන්නැයි ප්‍රබල බලපෑමක් කළේ ය. එහෙත් එය බරපතල ලෙස නොසැලකූ එක්සත් ජනපද ආණ්ඩුව අවම වශයෙන් ගෝටාභයට වීසා නිකුත් කිරීමෙන් හෝ වැලැකී සිටියේ නැත. චෝදනාවක් එල්ල වන්නේ නම් සරත් ෆොන්සේකාට එල්ල වන චෝදනාව ගෝඨාභය රාජපක්ෂටත් එල්ල විය යුත්තකි. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ මතුපිටින් පෙනෙන ඒ යථාර්තය අනුව නොවේ.

ඇ‍ෙමරිකානු පුරවැසිභාවය

බැසිල් රාජපක්ෂට මෙන්ම ගෝඨාභය රාජපක්ෂට ද ඇමෙරිකන් එක්සත් ජනපද පුරවැසිභාවය හිමි බව වාර්තා වේ. මේ පුරවැසිභාවය නිසා තම පුරවැසියන්ට එරෙහිව ඇමෙරිකන් එක්සත් ජනපදය මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා විය හැකිය. මෙරට දේශපාලනයේ දී එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් රාජපක්ෂවරුන්ට වහකදුරු වුවත් තම පැවැත්ම සදහා එක්සත් ජනපදය හා යම් එකගතාවකට පැමිණ සිටින්නවා විය හැකිය. ඒ නිසා කොතෙක් කුමන්ත්‍රණ චෝදනා එල්ල කළ ද එක්සත් ජනපදය විසින් රළු ආකල්පයක් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් අනුගමනය නොකරනවා විය හැකිය. රාජපක්ෂවරුන්ගේ එක්සත් ජනපද සම්බන්ධය අතිශයෙන්ම වැදගත් වන්නේ මේ කරුණු කාරණා සලකා බලනවිට දී ය. බැසිල් රාජපක්ෂට ඒකාබද්ධ විපක්ෂය තුළ ඒකමිතික කැමැත්තක් නැත. බොහෝ කොටස් ඔහුට විරුද්ධ ය. බොහෝ දෙනකු සලකන්නේ බැසිල් මහජන විශ්වාසය අහිමි කරගත්තකු ලෙස ය. බැසිල් රාජපක්ෂ මහජන විශ්වාසය අහිමිකර ගත් අයකු ලෙස ඔහුට ඇඟිල්ල දිගු කරන කිසිවකු නොකියන්නේත් සඟවන්නේත් ප්‍රශ්න නොකරන්නේත් රාජපක්ෂලාට එක්සත් ජනපදය සමග ඇති සමීප සබදතා ය.

සම්මුතික ආණ්ඩුවට චෝදනා එල්ල කරන රාජපක්ෂවරුන් නිතරම පවසන්නේ රටේ ස්වෙරීභාවයට තර්ජනයක් වන පරිදි බටහිර රටවල් හැසුරුණත් ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගන්නා බවය. එසේම තමන් මහත් අභිමානයෙන් යුතුව රටේ ගෞරවය ආරක්ෂා කරන්නට පවත්වාගෙන ගිය විදේශ ප්‍රතිපත්තිය සම්මුතික ආණ්ඩුව විසින් පාවා දී ඇති බව ය. ජාතික දේශපාලනයේ දී එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලට කුමන්ත්‍රණ චෝදනා එල්ල කරන රාජපක්ෂවරුන් ඒ එක්සත් ජනපදය සමගම තම පෞද්ගලික ගනුදෙනු ගැටුමකින් තොරව විසදා ගැනීම දේශපාලන උභතෝකෝටිකයක් නිර්මාණය කරන බව සැලකිල්ලට ගත යුතුය. ජාතිකවාදී පදනමකින් ආණ්ඩු විරෝධී බලවේගයක් නිර්මාණය කරන්නට කැසකවන කිසිවෙක් රාජපක්ෂවරුන්ගේ දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තිය ප්‍රශ්න නොකරම පිළිගැනීම නින්දාසහගත ය.

2005 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සංධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන තුරු ඔහුගේ සහෝදරයන් වූ බැසිල් හා ගෝඨා වාසය කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ය. ඔවුන් එම රටේ පුරවැසිභාවය ලබා සිටි අතර ශ්‍රී ලංකාවට පැමිණියේ තම සහෝදරයා ජනාධිපති කරවීමට ය. එහෙත් මේ ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියේ හිස් අතින් ඉතා සත්භාවයෙන් තම සහෝදරයාට සහාය වන්නට යැයි පැවසිය නොහැක.

රාජපක්ෂ රෙජිමය

එහි කූට ප්‍රාප්තිය වූයේ එල්ටීටීඊ සංවිධානය හා යුද්දයකට යන්නට රාජපක්ෂ රෙජීමය තීරණය කිරීමත් සමග ය. ප්‍රභාකරන් කොහොමත් සිටියේ යුදමය විසදුමකින් ලබා ගන්නා ඊලාම් රාජ්‍යයේ සිහිනය තුළ ය. ලෝක ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීමට තීන්දුවක් ගෙන සිටි ඇමෙරිකා එක්සත් ජනපදය ඒ අනුව එල්ටීටීඊය ද සමූල ඝාතනය කළ යුතු බවට 2003 වර්ෂය වනවිටත් තීන්දුවක් ගෙන තිබුණි. දෙමළ අන්තවාදයේ යුද අවශ්‍යතාව වෙනුවෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් පෙනී සිටින විට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ඈලියේ යුද අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියේ රාජපක්ෂවරුන් ය. දශක දෙක තුනක භීෂණයේ අත්දැකීම් සමඟ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් අවශ්‍ය යැයි සිතන මනෝභාවයක සිටි සමාජය නැවත යුදවාදය කරා තල්ලු කළේ ප්‍රභාකරන් - රාජපක්ෂ සුසංයෝගය විසිනි. ඒ නිසා 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයත් ඒ සමගම ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියන් දෙදෙනෙකු මෙරට තීරාණාත්මක තනතුරු වලට පත්වීමත් අහඹුවක් විය නොහැක.

එහෙත් රාජපක්ෂවරුන් මතවාදයක් ලෙස ලාංකික සමාජය තුළ නිර්මාණය කළේ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලිය ශ්‍රී ලංකාවේ ස්වෙරීභාවය නොපිළිගනිමින් ජාතිකවාදී රාජපක්ෂ රෙජීමය බිදවැට්ටවීමට කුමන්ත්‍රණය කරන බවකි. එල්ටීටීඊය ඔබේ අගමැති රජීව් ගාන්ධි මහතා ඝාත්නය කළා. “එල්ටීටීඊය ඔබේ රටේ බොහෝ දෙනෙක් ඝාතනය කළා. එනිසා එය මගේ යුද්දයක් විතරක් නෙවෙයි. එය ඉන්දියාවේත් යුද්දයක්. එය මානුෂීය යුද්දයක්. චීනය පකිස්ථානය විතරක් නෙවෙයි අපට බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපදයත් උදවු කළා.”

මහින්ද රාජපක්ෂ, ඉන්දීය වයෝ නිවුස්/2017/04/18 එල්ටීටීඊය සමූලඝාතනය කිරීම ගෝලීය භූ දේශපාලන අවශ්‍යතාවකි. එහි දේශපාලන හස්තය වූයේ එක්සත් ජනපදය ප්‍රධාන බටහිර ඈලියයි. ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාව ඉෂ්ට කළේ රාජපක්ෂ රෙජීමයයි. එහි ප්රනධාන නියෝජිතයන් දෙදෙනකු වූයේ ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ අයියා මලෝ දෙදෙනායි. ඒ අනුව එක්සත් ජනපද අවශ්‍යතාවක් ඉෂ්ට කළ රාජපක්ෂවරුන්ට නිය පිටින් පහරක් ගැසීමට කවුරු පියවර ගනීද? ලෝක භූ දේශපාලනයට පිටු පා යෑමට ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඉතා අසීරුය. එනිසා රාජපක්ෂවරුන් ඉෂ්ට කළේ තාර්කික කොන්ත්‍රාත්තුවකි. ජාත්‍යන්තර දේශපාලන ප්‍රවනතා ගැන අවබෝධයකින් කටයුතු කරන්නන්ට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තේරුම් ගන්නට අපහසුවූවක් නොවේ. එහෙත් ගැටළුව පැන නගින්නේ තමන් එක්සත් ජනපදයට කොන්ත්‍රාත්තුවක් ඉටුකර දෙමින් තම ජාතික දේශපාලන පැවැත්ම සදහා එහි ප්‍රතිවිරුද්ධය දෝතට ගැනීමයි. එනම් මුළුමනින්ම එක්සත් ජනපදයේ නියෝජිතයන් වන රාජපක්ෂවරුන් "ලංකාවේ දේශපාලන දකුණ"ට කතා කරන්නේ ඇමෙරිකන් විරෝධයක් ගැනය. ඇමෙරිකන් කුමන්ත්‍රණ ගැනය. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලිය තමන්ගේ ආණ්ඩුව පෙරලීමට කටයුතු කළ බවය.

ලෝක භූ දේශපාලන අවශ්‍යතා තුළ ලංකාවේ පාලනය බලය ලැබිය යුත්තේ කාට ද යන්න තීරණාත්මක නොවේ. එහෙත් පාලකයා ඒ භූ දේශපාලන අවශ්‍යතා තෘප්ත කරන්නේ ද යන්න නම් අතිශය තීරණාත්මක ය. ලෝක භූ දේශපාලනය ඉක්මවා යන්නට තරම් ශ්‍රී ලංකාව ප්‍රබල රාජ්‍යයක් නොවේ. එය සැමවිටම ඉන්දියාව හා එක්සත් ජනපද දේශපාලන අවශ්‍යතා තුළ හැසිරෙන්නකි. සම්මුතික ආණ්ඩුවේ බලතුලනය ගිලිහී යන මොහොතක එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලිය රාජපක්ෂවරුන් හා යළි සම්මුති ගත වන්නට ද පවතින ඉඩ කඩ බැහැර කළ නොහැක. එය තේරුම්ගෙන දේශපාලනයේ යෙදීම සමාජය මත පැටවී ඇති බරපතළ වගකීමකි.

කේ.ජී.පිලිප් ශාන්ත

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.