කළු කොඩි උන්මාදය

 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලංකා ගමන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ වෛරය ඇවිස්සීමට හේතු වී තිබෙනු පෙනේ. මෝදි අගමැතිවරයා පැමිණෙන දින කළු කොඩි ඔසවන මෙන් විමල් වීරවංශ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. මීට ප්‍රතිවිරුද්ධ අදහසක් ඒකාබද්ධයේ කිසිදු නායකයකු ප්‍රකාශ නොකිරීමෙන් පෙනෙන්නේ ඔවුන් ද එය අනුමත කරන බව ය. නො එසේ නම් ඔවුන්ගේ සාමූහික අදහසක් එක් අයකු ප්‍රකාශ කර ඇති බව ය. පසුගිය පාලන සමයෙහි පළුදු ව තිබූ ඉන්දු ලංකා සබඳතා නැවත ශක්තිමත් වීම පිළිබඳ දේශපාලන ඉරිසියාවක් ද මෙහි පසුබිමෙහි තිබෙන්නට පුළුවන. කොන්දේසි රහිතව ම ශ්‍රී ලංකාවට දීර්ඝකාලීන අවාසි සිදු වන අයුරින් චීනය සමඟ විවිධ ගිවිසුම් අත්සන් කළ රාජපක්ෂ ආණ්ඩුව අසල්වැසි ඉන්දියාවේ ප්‍රසාදය දිනා ගත්තේ නැත.

එහෙත් වත්මන් ආණ්ඩුව රටට අවාසිදායක කොන්දේසි යළි සලකා බලමින් චීනය සමඟ සබඳතා පවත්වාගෙන යන අතර ඉන්දියාව සමඟ රටට වැඩදායි සම්මුතීන්වලට එලඹෙමින් සිටී. යහපාලන රජය කෙරෙහි ලෝක මට්ටමෙන් පළ වී ඇත්තේ සුබදායී ප්‍රතිචාරයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, යුරෝපා සංගමය යනාදී සංවිධාන දැනටමත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්ති ලිහිල් කරමින් සිටී. සාමාජික රටවල් බහුතරයකගේ සම්මතයෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමට යුරෝපා පාර්ලිමේන්තුව එකඟවීම මෑත ම සිදුවීම යි.

රටට ආර්ථික වාසි සැලසෙන පරිදි රටවල් අතර ගිවිසුම් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. එසේ වුව ද පරාජිත දේශපාලකයෝ මේ අවස්ථාවෙහි ඉන්දීය විරෝධී සටන්පාඨවලට බරවී සිටිති. ඉන්දියාව සමඟ ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින වෙළෙඳ ගිවිසුම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති අගමැතිවරයාගේ ලංකා ගමන පිළිබඳව විවේචන එල්ල වනුයේ දේශපාලන අවස්ථාවාදය නිසා ය. පරාජිත දේශපාලකයෝ මෙය ගොඩ ඒමේ මගක් කර ගැනීමට උත්සාහ කරති. ඉන්දියාව ගෝනි බිල්ලකු හැටියට මවා පෙන්වීම එම අරමුණ ඉෂ්ට කර ගැනීමේ අඩයාළමකි.

කළු කොඩි දැමීමේ තර්ජනය ඉදිරිපත් කර ඇති විමල් විරවංශ මන්ත්‍රීවරයා කතා බිනීමෙහි සූරයෙකු බව බොහෝ දෙනා දනිති. වරක් ඔහු සීගිරි ගල විකිණීමේ කුමන්ත්‍රණයක් ඇති බව කියා රට දෙවනත් කළේ ය. 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ව මහජනයා කුපිත කිරීම සඳහා රට විකුණන ප්‍රවාදය ඉදිරියට ගෙන ගියේ ය.

විචාර බුද්ධියෙන් කටයුතු නොකරන ජන තීරු ඇවිස්සීමේ මුඛරිකම ඔහු සතු ය. ඒ අනුව ජනතාව ඉදිරියෙහි ගෝනිබිල්ලන් මැවේ.

චන්ද්‍රිකා මැතිනියගේ රජයෙහි සංස්කෘතික ඇමතිවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් ජයකොඩි මහතා සීගිරි පර්වතය පාමුල පොකුණු ආශ්‍රය කර ගනිමින් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහනක් සැලසුම් කළේ ය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු ව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සැලසුම්වල දී පැරණි යෝජනාව ද යළි අවධානයට ලක් කෙරිණ. එවක ජවිපෙ මන්ත්‍රීවරකු වූ විමල් වීරවංශ මහතා සීගිරි ගල දෙවනත් වන අයුරින් බෙරිහන් දෙමින් රට වටා ගියේ එහි ප්‍රතිඵල ලෙස ය. මෙ බඳු චෝදනා සමඟ චරිත ඝාතනය කිරීම සඳහා අපහාස කිරීම් ද ඔහුට හොඳින් පුරුදු ය. මැතිවරණ වේදිකාවල දී ඒවා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හැටියට පත්වීමේදී ජවිපෙ සහයෝගය ද වැදගත් විය. ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිත ඝාතනය කෙරෙන අසභ්‍ය කතා කියමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට කර ගැසුවේ ය. ‍

ජයග්‍රහණයෙන් පසු ව මහින්දට විමලුත් විමල්ට මහින්දත් නැති ව ම බැරි විය. ජාඩියට මූඩිය මෙනි. ජාතිවාදය ආගම් වාදය, ඊනියා දේශප්‍රේමය ඇවිස්සීම අතින් එක් අයකුට අනෙකා දෙවැනි නොවේ. ‍

අධිකරණය ඉදිරියේ දිග හැරෙන නඩුවක චූදිතයකු හැටියට ද මහින්ද රාජපක්ෂ පාලන සමයෙහි තිබූ දේශපාලන බලපරාක්‍රමය අහිමි වූ අයකු හැටියට ද වීරවංශ වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් චරිත ඝාතන කිරීමෙන් වැළකී සිටී. එසේ වුව ද මේ නායකයන් දෙපළ පිළිබඳ මහජන සිත්හි සැකයක් ජනිත කිරීමේ රාජපක්ෂ අභිලාෂය අනුව කටයුතු කරන බව හැඟී යන්නේ කථා අසන විටයි.

ඉන්දියාව ගෝනි බිල්ලකු කිරීමේ උත්සාහයක් දියත් කෙරෙන්නේ ඒ අනු ව ය. ඉන්දියන් විරෝධය ඔහු පෙකණිවැල කපාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණෙන් උරුම වූවකි.

1986 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට ඔහු පාසල් සිසුවෙකි. ඔහු දේශපාලන අත්පොත් තැබුවේ ජවිපෙනි. “වඳුරු හමුදාව එළවා දමව් - ඉන්දියන් බඩු වර්ජනය කරව්” ජවිපෙ සටන් පාඨ ඔහුට ආස්වාදය සැපයූ බව පෙනේ. ශිෂ්‍යයකු ලෙස ජවිපෙට සම්බන්ධ වූ ඔහු කෙටි කලක් ජනමාධ්‍ය වෘත්තියෙහි නියැළුණේ ජවිපෙ ලෙයින් යකඩින් තළා දමා තිබූ මොහොතක ය.

ඔහු ජවිපෙ ප්‍රචාරක ලේකම් වනුයේ ඉන්පසු ව ය. රත්නපුර මහ ගංවතුරෙන් ජීවිත ගණනාවක් විනාශ වූ මොහොතෙදි මෙ රට සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක විය. උතුරේ දෙමළ ජනතාව එකතු කර දුන් සහනාධාර ‍ලොරි මඟින් දකුණෙන් අවතැන් ජනයා වෙත ගෙනෙන ලදි.

ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙය එල්ටීටී කුමන්ත්‍රණයක් හැටියට ප්‍රචාරය කරමින් උතුරෙහි සහෝදර දෑත්වලට ගොම රිටිවලින් දමා ගැසුවේ ය.

ජනවාරි 8 දේශපාලන පෙරළිය සම‍යෙහි මැතිවරණ වේදිකාව දෙවනත් කළ රට බෙදීමේ කුමන්ත්‍රණය රට වටා ගෙන යෑමේ ප්‍රධාන කථිකයා වූයේ විමල් වීරවංශ ය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුද්ධාගමට හිමි තැන අහිමි කරන රට බෙදන එකක් හැටියට චෝදනා කරමින් සිටින දේශපාලකයන් අතර ප්‍රමුඛයා ද ඔහු ය. පසු ගිය පාලන සමයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්තයන් කොන් කරමින් වීරවංශ වැනි පුද්ගලයන් මුදුන් අත්තේ තැබීම පක්ෂය දෙදරවන තැනකට ගෙන ගියේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු අන්තවාදයට නො ගිය පක්ෂයකි. විවිධ මත දරන පක්ෂ සමඟ සභාග ගත වෙමින් ආණ්ඩු හැදීමේ ඉතිහාසයක් එයට තිබේ. එසේ වුව ද, මහින්ද රාජපක්ෂ පාලන සමයෙහි දෙමළ හා මුස්ලිම් විරෝධී අන්තවාදී පක්ෂ විසින් එය තම ග්‍රහණයට ගනු ලැබී ය. මධ්‍යස්ථ ප්‍රතිපත්ති අන්තවාදයට බර විය. සිංහල බෞද්ධ බහුතරය ප්‍රමෝදයට පත් කරමින් එම ඡන්ද මතින් රාජ්‍ය බලය තහවුරු කර ගැනීම එම කණ්ඩායම්වල අපේක්ෂාව විය. එහෙත් ඒ උපාය වැරදී ගියේ ය.

ශ්‍රී ලංකාව යනු බහු වාර්ගික බහු ආගමික රටකි. සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වුව ද එම විවිධත්වය නොතකා කටයුතු කිරීම දේශපාලන මිනීවළ කපා ගැනීමකි. පසුගිය කාලයෙහි සිදු වූයේ එය යි. එයින් තවමත් පාඩම් ඉගෙන ගෙන නොමැත.

දූපත් මානසිකත්වයෙන් පෙළෙන්නෝ වීරවංශලාගේ සටන් පාඨවලින් ප්‍රමෝදයට පත් වෙති.

“ලොව සියලු රටවලට වඩා ලංකාව ශ්‍රේෂ්ඨ වන හෙයින් එය ගිල ගැනීම සඳහා එම රටවල් හැම දෙයක් ම කරති. එනිසා ඔවුන්ට එරෙහි විය යුතු ය.” දූපත් මානසිකත්වයෙහි චින්තනය එය යි. භාරත මාතාවගේ පි‍යොවුරෙන් වෑහුණු කිරි බිඳක් වන ශ්‍රී ලංකාවට තනි ගමනක් නැත.

ඉන්දියන් විරෝධය අවුළුවන හීනමානය සමාජය දවන ගින්දරක් බවට පත් කිරීම වැළැක්විය යුතු ය. ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන ඉවත් කරන්නේ යැයි චෝදනා කරන කටින් ම, ඉන්දීය අගමැති එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළේහි ප්‍රධාන අමුත්තා වශයෙන් මෙහි පැමිණීම හෙළා දැකීම තරම් විහිලුවක් තිබිය නොහැක. බුදුරජාණන් වහන්සේ දේශයේ ජන නායකයකුට ‍එරෙහිව කළු කොඩි දැමීමේ යෝජනාව දේශපාලන මරු විකල්ලෙන් පෙළෙන්නකුගේ හඬ ගෑමකි.

තිඹිරියාගම බණ්ඩාර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.