මූල්‍ය අපරධ පරීක්ෂණ ඇනහිටින්න ඉඩ නැහැ | Page 2 | සිළුමිණ

මූල්‍ය අපරධ පරීක්ෂණ ඇනහිටින්න ඉඩ නැහැ

 පසුගිය රජය සමයේ සිදුවූ බව පැවසෙන මුල්‍ය අපරාධ පරීක්ෂණය කරන්නට පත් කළ ආයතන අකර්මණ්‍ය‍වන තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තාවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

‍* පසුගිය රජය සමයේ සිදුවු බව කියන දුෂණ වංචා පිළිබඳ හෙළිදරව් කර අදාළ පාර්ශ්වයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරාවි කියා තැබූජනතාව විශ්වාසය කඩ වී ඇතැයි කියැවෙන කාරණාව සම්බන්ධයෙන් ඔ‍බේ අදහස?

සිදුවූ දුෂණ වංචා සම්බන්ධවයන් අදාළ පාර්ශ්වයන්ට විරුද්ධව නීතිමට පියවර ගතයුතුයි කියන ස්ථාවරයේ මා හැමදාම ඉන්නවා.

ඒත් යම් පුද්ග‍ලයෙක් යම් සිදුවීමකට සැකපිට අත්අඩංගුවට ගත් විට ඇප දීමේ හො‍් නොදිමේ නිත්‍යනුකූල පියවර ගැනෙන්නේ මහේස්ත්‍රාත්වරයා විසින්නුයි. ඇප ලබා දීමට අවශ්‍ය කටයුතු සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නිතිඥවරුන් හරහා සිදු කළ විට නිත්‍යනුකූලව ඇප ලබා දීමට අවශ්‍ය පියවර අදාල මහේස්ත්‍රාත්වරුන් විසින් සිදු කරනවා. ඊට අමතරව නඩු පැවැරීමෙන් අනතුරුව සිදු ‍කෙරෙන කටයුතු කෙරෙමින් පවතිනවා. බොහොම පැහැදිලිව වැඩපිළිවෙලක් මේ සම්බන්ධයෙන් කෙරීගෙන යනවා. නඩු කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාදයන් තිබෙනවා. ඒක අපි පිළිගන්නවා. රැයක් එළිවෙන විට කරන්න පුළුවන් දේවල් නොවෙයි මේ දේවල්. මෙවැනි දුෂණ වංචා සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් නැහැ. විශේෂයෙන් විය යුත්තේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු කටයුතු කඩිනම් කිරීමයි.

* මේ රටේ සිදුවෙලා තියෙන බරපතළ දුෂණ වංචා සේවීමට විශේෂ අධිකරණයක් නොමැති නිසා මේ අපරාධ කරුවන්ට දඩුවම් දීමට ප්‍රමාද වන බව ඔබ සඳහන් කරනවා. ඔබ එවැනි අධිකරණයක් පිහිටුවීමට අවශ්‍යයි කියා යෝජනා කරනවාද?

බරපතළ ගණයේ අපරාධ දුෂණ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක අවශ්‍යතාවය පිළිබදව දිගින් දිගටම යෝජනා තිබුණා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. මේ අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර පළමු වැනි පියවර ලෙස විශේෂ අධිකරණයක් පිහිටුවීම සුදුසු බව ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන් මෙවැනි කටයුතු සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් යටතේ නිත්‍යානුකූල පියවර ක්‍රියාත්මක කර ‍නියම වැරුදිකරුවන්ට කඩිනමින් දඩුවම් දීමට හැකිවේවි. කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් වෙලා තිබුණේ නැහැ නමුත් අපි බලනවා පුළුවන් තරම් ඉක්මනට මේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමේ වැඩපිලිවෙළ සකස් කරන්න. විශේෂ අධිකරණයක් පත් කිරිමේ අවශ්‍යතාව පිළිබදව ‍මා සදහන් කළේ අවම වශයෙන් මේ වංචා දුෂණ සම්බන්ධයෙන් වරදෙකරුවන් කවුරුන්ද ‍කියා හෙළිදරව් කරගැනීමවත් කඩිනම් වීමක් සිදුවේවි.

* මේ රජය බලයට පත් වීමට පෙර කිව්වේ දුෂණ වංචා වලට විරුද්ධව කාර්යංශයන් පිහිටුවා වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙනබවයි. එහෙත් මේ වන විට වංචා විමර්ශන කාර්යංශයට දෙන මුදල් පවා කප්පාදු කර ඇති බව සදහන් වෙනවා. මේ රටේ වංචා දුෂණ සෙවීමට පත් කළ එෆ්සිඅයිඩී වැනි ආයතනවලට ප්‍රතිපාදන වෙන් කෙ‍රෙන්නේ මේ කාර්යංශය මගින් නිසා එවැනි ආයතන අකර්මණ්‍ය වෙනවා නේද?

ඒ පිළිබදව මට පිළිතුරු දෙන්න අපහසුයි. මේ සම්බන්ධව වගකිව යුතු පාර්ශ­්වයන් ඉන්නවා. ඒවගේ ම අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ අයගෙන් අහන්න ‍එසේ සිදු වෙලා තියනවාද කියන කාරණාව.

අපි රජය බලයට පත් වීමට පෙර කිව්වා මේ රටේ සිදුවෙලා තියන බරපතළ දුෂණ හෙළිදරව් කළ යුතුයි කියා. ඒ වෙනුවෙන් අදත් පෙනී සිටිනවා. දුෂණ වංචා සම්බන්ධයෙන් නොයෙක් පාර්ශ්වයන් අත්අඩංගුවට ගත්තා. මේ වන විට නීත්‍යනුකූලව කටයුතු කෙරෙමින් පවතිනවා අපිට පක්ෂ භේදයක් නැහැ.

* දුෂණ වංචා සෙවීමට පිහිටුවූ ඇතැම් ආයතන ලබන අගෝස්තු මාසය වන විට වසා දැමීමට තීරණය කර තිබෙන බවට ආරංචි පැතිරෙනවා. ඔබ නිරන්තරයෙන් මේ දුෂණ වංචාවලට ‍එරෙහිව පෙනී සිටින ඇමැතිවරයෙක් විදිහට සිදුවෙලා තියෙන දුෂණ වංචාවලට ‍එරෙහිව පැමිණිලි ‍කිරීමට පිහිටුවූ ආයතන වසාදැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඔබේ අදහස?

මේ වන විටත් මේරටේ සිදුවෙලා තියෙන දුෂණ වංචා සෙවිම නතර වෙලා නැහැ. ජනතාවට තව පැමිණිලි ඉදිරිපත් කිරිමට‍ අවකාශය අවශ්‍යයි. තවමත් වංචාකාරයෝ හොරු ඉන්නවා. එවැනි ආයතන වසා දැමිම හෝ අකර්මණ්‍ය වීම සුදුසු නැහැ. ඒ සියල්ලම සෙවිය යුතුයි. මහජන මුදල් හොරාගත්ත හොරුන්ට අනිවාර්යෙන් දඩුවම් දිය යුතුයි. තවත් ඒ පිළිබද පැමිණිළි කිරීමට ජනතාවට ඉඩ ලබාදිය යුතුයි. ඒ නිසා මේ ආයතන අකර්මණ්‍ය වීම සුදුසු නැහැ.

‍* මේවන විට බරපතළ වංචා දුෂණ සෙවීමට පත් කළ ආයතන වලට ලැබෙන පැමිණලි අඩු වී ඇති බව පසුගිය දිනවල පුවත් පත් වල වාර්තා වී තිබෙනවා. ඇයි මෙවැනි තත්ත්වයක් උද්ගතවෙලා තියෙන්නෙ? ‍

පැමිණිලි අඩුවෙලාද වැඩිවෙලාද කියන්න මම දන්නේ නැහැ. ඒක අහන්න ඕන අදාල නිළධාරීන්ගෙන්. පැමිණිලි අඩු වෙලා තියෙනවා නම් අඩු වීමට හේතුව විශේෂයෙන් සොයා බැලිය යුතුයි. එසේ නම් වංචා දුෂණ අ‍ඩුවෙන්න ඕන. එසේත් නැතිනම් මේ රටේ ජනතාවට මෙවැනි ආයතන සම්බන්ධයෙන් විශ්වාසයක් නැතිවෙන්න ඕන. එයයි පැමිණිලි අඩුවිමට හේතුවිය යුත්තේ. පැමිණිලි අඩුවෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමත් අදාල නිළධාරීන්ගේ කටයුත්තක්. රජය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය අඩුවෙලා නැහැ. මේ රජය බලයට පත් වූ දවසේ සිට ජනාධිපතිතුමා වංචා දුෂණ සෙවීම සම්බන්ධයෙන් නොයෙක් පියවරයන් අරගෙන තිබෙනවා. අපරාධකරුවන් හොරු රටට හෙළිදරව් කළ යුතුයි කියන ස්ථාවරයේ අපි හැමදාම ඉන්නවා.

* මෙරට සිදුවෙලා තිබෙන දැවැන්තම මුල්‍ය අපරාධය ලෙස වාර්තාගත වූ බැදුම්කර ගනුදෙනුවට වගකිව යුතු පාර්ශ්වයන්ට දඩුවම් කිරීම ප්‍රමාදවීම ගැනත් ප්‍රශන කෙරෙනවා. කොප් කමිටු සාමාජිකයෙකු ලෙස ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

මම සම්පූර්ණයෙන්ම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරන කරනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට පැහැදිලි පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ ජනාධිපති කොමිෂන් සභාවක් මේවන විට පත් කර තිබෙනවා. එහි කටයුතු මේ වන මිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමගින් හෙළිදරව් කරන්නට හැකි වේවි මේ අය විසින් කර තිබෙන වංචා මොනවද? ඒව කුමන ආකාරයෙන්ද කර තිබෙන්නේ යන කාරණාවන් පිළිබදව. දිනපතා පැහැදිලි සාක්ෂි ‍හෙළිදරව් වෙමින් තිබෙනවා.

මෙවැනි බරපතළ කාරණා සම්බන්ධයෙන් එක දවසින් දෙකින් තීන්දු තීරණ ගන්න අපහසුයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා අදාළ නිලධාරින් මාස කිහිපයක් කල් ඉල්ලලා තියෙනවා. මේ රටේ සිදුවෙලා තියන දුෂණ වංචා සහ අපරාධයන් යට ගහන්න රජයට කිසිදු වුවමනාවක් නැහැ.ඒ නිසා වැඩිකල් යන්න කලින් බැදුම්කර හොරු කවුද කියලා මේ රටේ ජනතාවට හෙළිදරව් වේවි. ඉන් අනතුරුව නීතිමය පියවර ගන්න අදාළ අංශ කටයුතු කරයි කියා අපි විශ්වාස කරනවා.

* බැදුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවෙලා තියෙන මුල්‍ය අපරාධය මෙතෙක් ගණනය කිරීමට නොහැකි තරම් මෙරට සිදුවූ බරපතළම ආර්ථීක මුල්‍ය අපරාධය බව ආර්ථික විශේෂඥයන් සදහන් කරනවා?

ඒ සම්බන්ධයෙන් විවිධ මතවාදයන් තිබෙනවා. ඒ අතර ආර්ථික විශේෂඥයන් දරන මතවාදයන් තියෙන්නත් පුළුවන්. මා විශ්වාස කරන්නේ විගණකාධීපතිවරයා විසින් කරන ලද විගණන වාර්තාවේ සඳහන් වන සංඛ්‍යා‍ ලේඛනයන්. එහි පැහැදිලි ගණනයක් අපිට ලබාදීලා තියෙනවා. ඒ අනුව තමයි අපි කෝප් කමිටු සමාජිකයන් ලෙස මේ සම්බන්ධයෙන් යම් පියවරයන් ගනු ලැබුවේ‍.

ඒ වාර්තාව අනුව මේ පිළිබද ඉදිරි පියවර ගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා‍. මෙම බැදුම්කර ගනුදෙනුව මගින් රටට සිදුවෙලා තියන පාඩුව පිළිබඳව කෝප් වාර්තාවේ සඳහන්, විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන ලද මුල්‍යමය වටිනාකම් වලට අමතරව තවත් පාර්ශ­්වයන් විසින් විවිධ ආකාරයෙන් ගණනය කරන ලද ප්‍රමාණයන් පිළිබදව වෙනස් මත තිබිය හැකියි. කෙසේ වෙතත් ‍විගනකාධිපතිවරයා විසින් ලබා දෙන වාර්තාවේ සදහන් පාඩු ලාබ මතයි අපි මේ මුල්‍ය අපරාධය ගණනය කළ යුතු වන්නේ.

සුභද්‍රා දේශප්‍රිය

Comments