රජයේ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික සේවය ගැන රජය තීන්දුවක් ගත යුතුයි | සිළුමිණ

රජයේ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික සේවය ගැන රජය තීන්දුවක් ගත යුතුයි

පෞද්ගලික විශ්ව විද්‍යාල ලෝකෙ වෙන කොහේවත් නැද්ද? මොකක්ද සයිටම් එකේ තියෙන වෙනස?

අපි නූතන ලෝකය දිහාට හැරුණොත් අපිට පේනවා මේ පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යන රටවල්වල කවුරුවත් පෞද්ගලික මුදලාලි කෙනෙක් ආයොජකයෙක් ලාබ ලබන ව්‍යාපාරයක් හැටියට පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වගෙන යන්නේ නැහැ. එහෙම තියෙනව කියනව නම් අපි අහනවා ඒ කොහේද? එහෙම කොහේවත් නැහැ. කිසිම පෞද්ගලික ව්‍යාපාරිකයකුට ලාභ උපයා ගැනීමේ පරමාර්ථයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වගෙන යන්න ලෝකේ කිසිම රටක් ඉඩදී නැහැ. ඒවා පවත්වාගෙන යන්නේ පුද්ගලික අරමුදල් මත. මේවා සමාජ සේවය අරමුණු කරගත් පුණ්‍ය ආයතන හැටියට තමයි පවත්වාගෙන යන්නේ. ඔක්සෆර්ඩ් , හාවර්ඩ්, කේන්බ්‍රිරිජ් ආදී විශ්වවිද්‍යාල ගත්තත් එහෙම තමයි. මේවා පෞද්ගලික ව්‍යාපාර නෙමෙයි. මේ බෝහෝ විශ්වවිද්‍යාල පවුල් කිහිපයක් හරි, තමන්ගෙ දේපළ, වත්කම්, ධනය පරිත්‍යාග කරලා හරි තමයි පවත්වාගෙන යන්නේ. මුදලක් අය කළත් ඒක යන්නෙ අරමුදලට මිසක් කිසියම් කෙනෙකුගේ සාක්කුවට නෙවෙයි. විශ්ව විද්‍යාලවලින් ලාභ ලබන්න බැහැ. නමුත් මෙතන වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. තනිකරම ලාභය අරමුණු කරගත්ත ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධවෙන්නේ. ඒ නිසා සයිටම් කියන්නේ අධ්‍යාපන කඩයක්. මේ දෙක අතර තියෙන වෙනස ඒකයි. අපි ඊට විරුද්දයි.

පොදු අර්ථයෙන් ගත්තහම අධ්‍යාපනය මුදලට විකිණීමට අපි එකඟ නැහැ. අධ්‍යාපනය කියලා කියන්නේ සමාජ ඉතිහාස දැනුමේ එකතුවක්. මම ඉගෙනගෙන තියෙන අධ්‍යාපනය මගේ තාත්තා වියදම් කරපු නිසා ලැබුණ දැනුමක් නෙමෙයි. ඇරිස්ටෝටල්, පයිතගරස් ඔක්කෝමල එකතුවෙලා හොයා ගත්ත දැනුම තමයි මම දැනුම විදියට අරන් තියෙන්නේ. සමාජ ඉතිහාසය පිළිබඳ මේ දැනුම සල්ලි තියෙන අයට මුදලට ගන්නයි, සල්ලි නැති කෙනෙක්ට අහිමිවෙන්නයි කියලා පදනමක් හැදුවොත් එහෙම ඒක සාධාරණද?. ඒක සාධාරණ නැහැ. ඒ පදනමින්ම අපි අධ්‍යාපනය මුදලට විකිණීමට එකඟ නැහැ. සමහරු තර්ක කරනවනෙ, වෙන රටවල තියෙනවා කියලා. නමුත් ඒ තියෙන රටවල්වල අධ්‍යාපනයට මුදල් අයකරන්නෙ ආදායම් බෙදීයාමේ විෂමතාව ඒ මට්ටමින් නැති රටවල්වල. වඩා සරලව කිව්වොත් දුප්පත් පොහොසත් බෙදීම මත ඒ රටවල්වල අධ්‍යාපනය අහිමි වෙන්නේ නැහැ. ජනගහනයෙන් 43% ක් දවසකට රුපියල් 300ක්වත් උපයන්නේ නැහැ. ඒ සීයට හතළිස් තුනට ඔය සයිටම් හරි වෙන මොකක්හරි එකක අධාපනික අවස්ථා හිමිවෙන්නේ නැහැ. ඒක එක කාරණාවක්. අනෙක් කාරණාව තමයි, සයිටම් කියන්නෙ කඩයක්. මුදලාලි කෙනෙක් දාපු වෙළෙඳපොළක්. එහෙම මුදලට අධ්‍යාපනය විකුණන්න කඩදාන්න කාටවක්වත් බැහැ.

එතකොට අපි ටියුෂන් යන්නේ සල්ලි ගෙවලා නෙමෙයිද?

ඒ තත්ත්වය ඇති කළේ කවුද? ඒ තත්ත්වය ඇති කරලා ඒක යථාර්ථය ලෙස පිළිගන්න කියන එකට අපි එකඟ නැහැ. පෞද්ගලික අධ්‍යාපනය හරි, පෞද්ගලික රෝහල් ක්‍රමය හරි පෞද්ගලික ක්‍රියාවලිය ගේන කොටම අපි ඒකට විරුද්ධ වුණා. එදා විරුද්ධ වෙච්ච පදනමම තමයි අදත් තියෙන්නේ. ඒකෙ වෙනසක් නැහැ. දැන් ඔය ගොඩ නගන තර්කය පදනමින් කාටද යහපතක්වෙලා තියෙන්නේ.

නමුත් ඔවුන්ගේ තර්කය වන්නේ සැමටම විශ්ව විද්‍යාල ඉඩ ප්‍රස්තාව නොලැබෙන නිසා, මෙවැනි පෞද්ගලික අධාපන අවස්ථාවන් ඇති කිරීම යෝග්‍ය බවයි.

ඉඩ පහසු කම් නැති එක නම් ප්‍රශ්නය, කරන්න ඕන ඕක නෙවෙයිනෙ. එතකොට පදනම තියෙන්නේ, උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන ශිෂ්‍යයන්ට විශවිද්‍යාලයට යන්න අයිතිය හිමියි. හැබැයි ඒ අයිතිය දෙන්න බැරි ඉඩ නැති නිසා. ඊට අදාළ යටිතල පහසුකම් නැති නිසා. එහෙම යටිතල පහසුකම් සංවර්ධනය කරලා නැත්තෙ ඇයි. නැත්තේ ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරලා දීලා නැති නිසා. ඉතිං අපි කියන්නේ ඒ ප්‍රතිපාදන වෙන් කරන්න. සමස්ත අධ්‍යාපනයටම 2% ක් වෙන් කරලා, මහලොකුවට පම්පෝරි ගහලා වැඩක් නැහැ. ඒකට අවශ්‍ය අවම ප්‍රතිපාදන හරි වෙන් කරන්න. 06%ක් වෙන් කරන්න. යුනෙස්කොව විසින් සම්මත ප්‍රතිපාදන වෙන්කරන්න.

විදේශ ණය මත යැපෙන රටක් විදියට එහෙම වෙන් කරන්න ප්‍රමාණවත් මුදලක් රජයට ලැබෙනවද?

ඒ කියන්නේ ආණ්ඩුව වියදම් කරන්න කැමතියි. ඒත් සල්ලි නැහැ, ඕකනේ ප්‍රශ්නෙ. හොරකම් කරන සල්ලි, සැප වාහන ගෙන්නන්න වෙන් කරන සල්ලි, කොමිස් ගහන සල්ලි, නාස්ති කරන සල්ලි, කෝටි ගණනින් බිල්ඩින් ගන්න වෙන් කරන සල්ලි, ඇමතිවරු මාරු වෙන කොට බුමුතුරුණු මාරු කරන්න වියදම් කරන සල්ලි, කාර්යාල හැඩ කරන්න වෙන්කරන සල්ලි... අවුරුද්දක් ඉතිරි කරලා බලන්නකෝ මොකද වෙන්නෙ කියලා. මේ නාස්ති කරන මුදල්වලින් 30%ක් ඉතිරි කළොත් අධ්‍යාපනයයි සෞඛ්‍යයයි නිකන් දෙන්න පුළුවන්. ලංකාවේ තමයි විශ්වවිද්‍යාල තාප්පවලින් වටකරලා හිරගෙවල්වගේ තියෙන්නේ. ලෝකෙ අනිත් රටවල්වල විශ්වවිද්‍යාල මෙහෙම නැහැ. විශ්ව විද්‍යාල ගම්මාන (university village) තියෙන්නේ.

අපේ රටේ බොහෝදෙනා තුළ මතයක් තියෙනවා ශිෂ්‍යයො ඉගෙන ගන්නවට වඩා වැඩි කාලයක් අරගලවලට යොදවනවයි කියලා.

දැන් මොනවටද මේ ශිෂ්‍යයො අරගල කරන්නේ. මහාචාර්යවරු ඉල්ලල අරගල කරනවා, විද්‍යාගාර ඉල්ලල අරගල කරනවා, පර්යේෂණවලට පහසුකම් ඉල්ලල අරගල කරනවා, නවීන තාක්ෂණය ඉල්ලල අරගල කරනවා ඒව තමයි ඉල්ලන්නේ. ඉගෙන ගන්න කලින් ගුරුවරු ඉන්න ඕන නේ. අංශ ප්‍රධනියෙක් නැත්නම්, විෂය භාර ආචාර්යවරයෙක් නැත්නම් ශිෂ්‍යයො ඒ වෙනුවෙන් අරගල කරන එක වැරදියිද? උදාහරණයකට සබරගමුව විශ්වවිද්‍යාලයට මහාචාර්යවරු කණ්ඩායමක් නැහැ. ගුරුවරු නැතුව ශිෂ්‍යයන් ඉගෙන ගන්නේ කාගෙන්ද.

එහෙම නම් වැරැද්ද තියෙන්නේ කොහේද?

මූලිකම වැරුද්ද තියෙන්නේ රජයේ ප්‍රතිපත්තිවල. ඉගෙන ගන්න ශිෂ්‍යයො ආණ්ඩුවට බරක්, වදයක් කියලා සලකල කටයුතු කරන ප්‍රතිපත්තිය. දෙක මේ ගෙනයන ආර්ථික ක්‍රමය. ඉගෙන ගන්න වුන් මේ ආර්ථික ක්‍රමයට වහකදුරු වගේනෙ පෙන්නේ. මේ ආර්ථික ක්‍රමයට ඕන කිසිවක් ප්‍රශ්න නොකර රොබෝලවගේ වැඩ කරන යටත් වැසියොවගේ ඉන්න නිර්මාණශීලීව දෙවල් ඉදිරිපත් නොකරන යන්ත්‍ර සූත්‍රවගේ මිනිස්සු ටිකක් හිටියොත් ඇති.

ඒ වගේ අයත් එක්ක රටකට ඉස්සරහට යන්න පුලුවන්ද? රටවල් ඒ විදියට දියුනු වෙනවද?

කොහොමද එහෙම රටවල් ඉස්සරහට යන්නේ, එහෙම රටවල් දියුණු වෙන්නේ නැහැ. මේ තත්ත්වයෙ මේ රට තියෙන්නෙ ඒ නිසා නෙ. අපිට වඩා පසු පසින් හිටපු රටවල් නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ඉදිරියට ඇවිත් තියෙන්නේ ඒ රටවල් තමන්ගෙ රටේ මානව සම්පත මනාව කළමනාකරණය කරමින් ඔවුන්ගේ ශ්‍රමය යොදාගත් නිසා. අපේ රටේ ඵලදායි ශ්‍රමයෙන් වැඩක් ගන්නේ නැහැ. විශේෂයෙන්ම මානසික ශ්‍රමිකයන්ගෙන්. එනිසා ඔවුන්ට සිදුව තිබෙනවා වෙනත් විදේශ රටවල ඒ ශ්‍රමය ආයෝජනය කරන්න. රටකට උගත් ශිෂ්‍යප්‍රජාව කියන්නේ ආයෝජනයක් මිසක් බරක් නෙමෙයි. නමුත් ඒ ශ්‍රමය ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආර්ථික ක්‍රමයක් අපට නැහැ. ඒ නිසා ඔවුන් මේ රටට බරක් වී තිබෙනවා

මේ කාරණයත් එක්ක පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවෙන අන්තරයෙ අදහසත් ඔබලාගෙත් අදහසත් එකයි නේද?

ඇත්ත දෙකක් නැහැනෙ. ඇත්ත තියෙන්නේ එක නම් ඒක කවුරු කිව්වත් එකයි.

සයිටම් ගැටලුවත් එක්ක නිර්මාණය වෙමින් තිබෙන වෛද්‍ය ඒකාධිකාරිය ඔබලා අනුමත කරනවද? ඒ තුළ වෙනත් දේශපාලනික අරමුණක් නොමැතිද?

ඒක ජනතාවට පීඩාවක් වෙන්න පුළුවන්. ඒ අය දේශපාලනික අරමුණු වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්. ඒක වෙන ප්‍රශ්නයක්. නමුත් ඒකේ වගකීමත් අවසාන විග්‍රහයෙදි පැවරෙන්නෙ ආණ්ඩුවට. මොකද මෙවැනි වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙන්නේ ආණ්ඩුවේ කටයුතු නිසා. එහෙම නම් ඒ සදහා පියවර ගන්න ඕන රජය. වෛද්‍ය සංගමය දේශපාලනික අරමුණකින් කටයුතු කරනවයි කියලා කරන චෝදනාවෙන් විතරක් වැඩක් නැහැ. වෘත්තීය සමිති හැටියට ඔවුන්ගේ අයිතියක් ඒක. කරන්න ඕන මෙවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑ හේතු හොයල, ඒ හේතුවලට උත්තර දෙන එකයි ආණ්ඩුව කළ යුත්තේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්ෂයේ දේශපාලන වුවමනාවක් ඉෂ්ට කරනවයි කියලා නම් ආණ්ඩුව චෝදනා කරන්නේ, ඔවුන්ට එතෙන්ට එන්න පාර කැපුවෙත් ආණ්ඩුව කියල පිළිගන්න වෙනවා. සයිටම් ප්‍රශ්නයටම ආවොත් කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා අටවපු උගුලක්නෙ ඕක. එස් බී දිසානායක නෙවිල් ප්‍රනාන්දුලා කරපු ගනුදෙනුවක අතුරු ප්‍රතිඵලයක්. ඒක දැන් මේ ආණ්ඩුවත් කරේ තියාගෙන යනවා. ඒකට හේතුව තමයි මේ ආණුඩුවේ බොහෝ දෙනෙක්ගෙ පුතාල දුවලා, මුනුබුරාල- මිනිබිරීලා, ලේලිලා, ඥාතින්ගෙ දරුවො ඉගෙන ගන්නෙ සයිටම් එකේ. නැතිව මේ මහ දේශපාලන ප්‍රතිපත්ති කාරණා මත සිදුවන දෙයක් නෙවෙයි. පෞද්ගලික යාළු මිත්‍රකම් ආරක්ෂා කරගන්න ආණ්ඩුවක්ම බිලි දෙනවා. ඒක තමයි වත්මන් ආණ්ඩුවේ ස්වභාවය. ඒ නිසා අරයට මෙයාට ඇඟිල්ල දික්කර කර ඉඳල හරියන්නේ නැහැ. මෙහි වගකීම ආණ්ඩුව භාරගන්න ඕන.

පෞද්ගලික වෛද්‍ය සායන වෙත යන වෛද්‍යවරුන්ට, අහිංසක රෝගී ජනතාව පීඩාවට පත්කරමින් මේ විදියට කටයුතු කරන්න සදාචාරාත්මක අයිතියක් තියනවද?

රාජයේ ලියාපදිංචි වෛද්‍යවරු පෞද්ගලික සායනවලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? ඒකනේ මෙතන තියෙ ප්‍රශ්නය. කැබිනට් මණ්ඩලය තුළ ඉන්න ආණ්ඩුවේ ඇමතිවරු වෛද්‍යවරු පෞද්ගලික සායනවලට යනව කියලා කෑගැහුව්වට වැඩක් නැහැ. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා කියන්න ඕන. රජයේ වෛද්‍යවරු පෞද්ගලික සේවාවන් සිදු කිරීම සඳහා අවසර දිය යුතුද නැද්ද කියලා ප්‍රතිපත්ති තීන්දුවකට ආණ්ඩුව එන්න ඕන. රජයේ ප්‍රතිපත්තිය මොකක්ද ඊට අනුව ඔවුන් ක්‍රියා කරාවි. ආණ්ඩුවට විරුද්ධ තනි තනි පුද්ගලයින්ට එරෙහි කටයුතු කරන්නේ නැතිව රජයේ වෛද්‍යවරු ප්‍රයිවට් චැනල් නොකළ යුතුයි කියලා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕන.

සයිටම් වෙනුවෙන් ඔබලා යොජනා කරන විසඳුම කුමක්ද?

සයිටම් වහන්න ඕන. සයිටම් වහන්න බැරිනම් ආණ්ඩුව ගෙදර යන්න ඕන. සයිටම් එක වහලා ඊට පස්සෙ කල්පනා කරන්න පුළුවන් ඒ ළමයින්ට මොකද කරන්නේ කියලා. හැබැයි සයිටම් මුදලාලි කියන විදියට එයාගෙ කඩය රජයට පවරගෙන ඒකෙ ඉන්න ළමයින්ට රජයේ උපාධිය පිරිනමන ක්‍රමයකට මං නම් හිතන්නේ නැහැ කවුරුත් එකඟවෙයි කියල.

ඔබේ පක්ෂය, ක්‍රමය වෙනස් කිරීමට අරගල නොකරන ජනප්‍රිය සටන්පාඨවලට සීමා වුණු වාමාංශික යැයි කියාගන්නා වූ සුළු ධනේශ්වර පක්ෂයක් නේද?

අපි කොහෙත්ම සුළු ධනේශ්වර පක්ෂයක් නෙවෙයි. සුළු ධනේශ්වර කියන්නේ ඕකට නෙමෙයි. සුළුධනේශ්වර කියන්නේ වෙනින් අදහසක්. ඔබ කියන අදහස තව අදහසක්. ධනේශ්වර පන්තියේ අවශ්‍යතා නියෝජනය කරනව නම් ඒක තමයි සුළුධනේශ්වර වුවමනාව. අපි ධනේශ්වර පන්තියේ වුවමණාව නියෝජනය කරන්නේ නැහැ. ගොවියගෙ වතුර ප්‍රශ්නය, කම්කරුවගෙ වැටුප් ප්‍රශ්නය, ශිෂ්‍යයින්ගෙ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම, සෞඛ්‍ය පහසුකම්, විශ්‍රාමික වැටුප් ප්‍රශ්න, ධීවරයින්ගෙ ධීවර ආම්පන්න...ආදී දේවල් දිනාගැනීම වෙන්වෙන් අරගල කරනව කියන්නෙ ධනේශ්වර වුවමනාව නියෝජනය කිරීමක් නෙමෙයි. එතකොට ඒක කොහොමද සුළු ධනේශ්වර වෙන්නෙ?

රසික කොටුදුරගේ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.