සමයං ඝාතනයෙන් හෙළිවන හිරගෙදර සෙල්ලං

පාතාලය ,පොලිසිය හා හිරගෙදර එකට බැඳී ඇත්තේය. මොවුන් හොඳ කරන්නේද වැරැදි කරන්නේද නිතියේ කනින් රිංගාය. පොලිසිය සිටින්නේ නීතිය හා සාමය රැකීමටය. බන්ධනාගාරය තිබෙන්නේ වැරැදිකරුවන් පුනරුත්ථාපනය කිරිමටය. එවිට පාතාලය සිටින්නේ වැරැදි කිරීමට ද කෙනෙකුට එසේ තර්ක කිරීමට පුළුවන.කෙසේ වෙතත් කලින් කල හිස ඔසවන පාතාලය අද වන විට රටට මහත් හිරිහැරයක් වී ඇත්තේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මිනීමරුවන් නීතියේ රැහැනට හසුවීමෙන් පසුව ඔවුනට නීතියෙන් විසඳුම් ලැබෙන තුරු රැක බලා ගැනීමේ වගකීම ඇත්තේ බන්ධනාගාරයටය. නමුදු බන්ධනාගාරය සතු එම වගකීම පැහැරහැරියේ පරිස්සමට තිබු දේ ඈලියාවට ගිය පරිද්දෙනි. මේ සියලු කතන්දර පැවසීමට මතක් වූයේ ඉකුත් පෙබරවාරියේ පාතාල නායක සමයං ඝාතන සිද්ධිය පිළිබඳ වාර්තාව නිකුත් වීමත් සමඟය.

ඉකුත් පෙබරවාරි මස විසි හත් වැනිදා උදෑසන කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සමයං ඇතුළු කිහිප දෙනෙකු කඩුවෙල උසාවිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පොලිසියට හසුවීමෙන් පසු සමයං ඇතුළු පාතාල කල්ලිය මුලින්ම රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. නමුදු වැඩි ආරක්ෂාව සඳහා පසුව මොවුන් කළුතර බන්ධනාගාරය වෙත මාරුකර යවන ලදී. එමෙන්ම සමයං කළුතරට මාරුකර යැවීමට තවත් හේතුවක් වුයේ කලක් අංගොඩ ලොක්කා ද වැලිකඩ රඳවා තැබිමය .මොවුන් අතර ගැටුමක් පැවතීම මේ දෙපිරිස වෙන් කර තැබීමේ හේතුවක් විය. අංගොඩ ලොක්කා හා සමයං අතර ගැටුමට විසඳුම් සෙවිමක් ලෙස අධිකරණය විසින් ද මොවුන් වෙන් වෙන්ව තැබිමට අවසර දී තිබිණි.

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සමයං ඇතුළු පිරිස සෑම වරෙකම බන්ධනාගාරයේ සිට උසාවි ගෙන යන්නේ දැඩි පොලිස් ආරක්ෂාව සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිවය. පෙබරවාරි 27 වැනිදාද සමයං ඇතුළු කිහිපදෙනෙකු කඩුවෙල උසාවියේ පෙනී සිටීමට නියමිතව තිබුණේ අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයන් කිහිප දෙනෙකුට වෙඩි තැබිමේ සිද්ධය සම්බන්ධ නඩුවකටය. කෙසේ හෝ නඩුවට ඉදිරිපත් වීම සඳහා සමයං ඇතුළු පිරිස විසි හත් වැනිදා උදෑසන 7.20 පමණ කඩුවෙල යෑමට සුදානම් වුයේය. සමයං ඇතුළු පිරිස අධිකරණයට ගෙන යෑමේදී සිරිතක් ලෙස උතුරු කළුතර පොලිසියෙන් අවි ආයුද සහිත නිලධාරින් දෙදෙනෙකු යෙදවුවද එදින එම නිලධාරින් යොදවා නොතිබිණි. පොලිසිය පවසන පරිදි එදින බන්ධනාගාර බස්රථවලට යෙදවීමට නිලධාරින්ගේ අඩුවක් තිබී ඇත. එදින බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ පමණක් රැඳවියන් පිටතට යැවිණි. කෙසේ හෝ උදෑසන 7.20ට පිටත්වීමට නියමිතව තිබූ බස් රථය බන්ධනාගාරයේ ප්‍රධාන ‍ගේට්ටුවෙන් පිටත් වුයේ උදෑසන 8.20ටය. බන්ධනාගාරයෙන් පිටත් වී බස් රථයට මීටර් දෙසියක පමණ දුරක් වත් යෑමට නොලැබුණේය. උතුරු කළුතර පොලිස් බල ප්‍රදේශයට අයත් ජන ශුන්‍ය ප්‍රදේශයකදි බන්ධනාගාර බස් රථය හරස් කරමින් ඩබල් කැබ් රථයක් හා වැන් රථයක් ඉතා සෙමින් ගමන් ගත්තේය. ඩබල් කැබ් රථය මාර්ගය හරස් කර නැවතුණු අතර ඉන් බැසගත් පොලිස් ඇඳුමෙන් සැරසී සිටි පිරිස බස් රථ දෙකට වෙඩි ප්‍රහාර එල්ල කළේය. මේ ප්‍රහාරයේදි සමයං ඇතුළු හය දෙනෙක් මිය ගියහ. සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ සිතන්නට බොහෝ දේ තිබියදි අවසානයේ මෙහි වරද කෙළින්ම එල්ල වී ඇත්තේ බන්ධනාගාරය දෙසටය. එම සැකය එසේ එල්ල වුවාට වරදක් ද නැත. හේතුව නම් ඇතැම් බන්ධනාගාර නිලධාරින් මුදලට ලොල් වී නිතිය අකුරට ක්‍රියාත්මක නොකිරීමය.

කළුතර එතනමඩල ප්‍රදේශයේදි සිදුවූ සමයං ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් පත් කළ කමිටුව පසුගිය දා තම නිර්දේශය ඉදිරිපත් කරන ලද්දේය. එහිදි පරික්ෂණ කමිටුව විසින් මතු කරනු ලබන ප්‍රශ්න කිහිපයකි. ඉන් එක් ප්‍රශ්නයක් වන්නේ සිද්ධිය වු දා උදෑසන 7.20ට කඩුවෙලට යෑමට පිටත්වීමට නියමිතව තිබූ බස් රථය එදින උදෑසන 8.20 වනතුරුත් ප්‍රමාද වූයේ ඇයිද යන්නය. බස්රථය පිටත් වු වේලාව සහ එය වෙඩිතැබීම සිදුකළ ස්ථානයට ළඟාවීමට ගතවූ කාලය පිළිබඳ සැක සහිත බවක් පෙන්නුම් කරන බැවින් බන්ධනාගාර නිලධාරීන්හෝ යම් කණ්ඩායමක් මෙයට සම්බන්ධද යන්න පිළිබඳ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය අවධානය යොමු කළ යුතුය යන්න කමිටුව ගෙන ආ එක් යෝජනාවක් වේ. එමෙන්ම එදින ප්‍රහාරයට ලක්වූ සිරකරුවන්ට අත්මාංචු දමා නොතිබුණේ මන්ද යන්න පිළිබඳ කමිටුව සිය විශේෂ අවධානය යොමු කර ඇත.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ස්වාමිනාදන් මහතා පවසන්නේ රැඳවියන් අධිකරණය වෙත ගෙන යෑම සඳහා කෑගල්ලේ බන්ධනාගාරයේ නිපදවා ඇති වෙඩි නොවදින බස්රථ මෙන් බස් රථයක් සංවර්ධනය කර අනෙකුත් බන්ධනාගාර සඳහා යොදා ගත යුතු බවය. එමෙන්ම මෙම සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරින්ට හා මියගිය රැඳවියන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවිමට කටයුතු කරන බවද ඇමැතිවරයා පවසන්නේය. කමිටු පරීක්ෂණ හා අමාත්‍යංශයේ යෝජනා එසේ වුවද වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරය ඇතුළත නොවිසුඳුණු ප්‍රශ්න බොහෝය.

අනාදිමත් කාලයක සිට රැඳවියන්ගෙන් හම්බකරගෙන ජීවත් වීමට මාන බලන ඇතැම් නිලධාරින් නිසා දැන් දැන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කුණු වී ගඳ ගසන තත්වයට පත් වී ඇත්තේය. කාලයක සිටම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නිලධාරීන් පත් කෙරුණේ දෙපාර්තමේන්තුවට පිටිනි. බොහෝ විට එය දේශපාලන පත්වීමකි. නමුදු පසුගිය කාලයේ බන්ධනාගාර කොමසාරිස්වරයා පත්කෙරුණේ දෙපාර්තමේන්තුව ඇතුළතින්මය. මේ පත්වීමත් සමඟ බන්ධනාගාර නිලධාරීන් මෙන්ම බාහිර සමාජයද බලාපොරොත්තු වුයේ දැන් ඉතින් බන්ධනාගාරය පිරිසුදු ආයතනයක් වනු ඇත කියාය. නමුදු සිදු වුයේ අනෙකකි. කොමසාරිස්වරයාට තම අභිමතය පරිදි නිදහසේ ආයතනයේ කටයුතු කරගෙන යෑමට තරම් වාතාවරණයක් නොමැතිබව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඒකතාව එසේ තිබියදි තවත් කතාවක් පැවසීමට ඇත. එනම් බන්ධනාගාරය තුළ ඇතැම් නිලධාරින්සිරකරුවන්ගේ හා අපරාධකරුවන්ගේ මුදලට වහල්වී සිටීමය. සිරකරුවාට සිරගෙදරදි තමන්ට රිසි ලෙස හැසිරීමට නිදහස ලැබෙන්නේ මුදල් බලයෙනි. රැඳවියා වියදම් කරන මුදල අනුව ඔවු උසාවි ගෙන යෑමේදි ඔවුන්ට අවශ්‍ය නිදහස ලැබේ. සමයං ඝාතන සිද්ධිය දා ඔවුන් අත් මාංචු නොදා සිටියේද මෙනිසා විය හැකිය .

රැඳවියන්ට රන් රිදී පැලඳීම තහනම්ය. සිරගෙදරට පැමිණිදා රැඳවියන් ඔවුන් සතු‍ සියල්ල බන්ධනාගාර නිලධාරියාට බාර දිය යුතුය. නමුදු සමයං සිර ගෙදරදී ආභරණ පැලඳ සිටියේය. සමයං පමණක් නොව බොහෝ පාතාල ලොක්කෝ සිර ගෙදර දි රන් රිදී ආභරණ පලඳිති. එසේම ඇතැම් රැඳවියෝ සිරගෙදරදී ජංගම දුරකථන හා ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරති. මත්ද්‍රව්‍ය අලෙවි කරති. මුදල් හුවමාරු කරති. සිම් කාඩ් පාවිච්චි කරති. තව තවත් බොහෝදෑ පාවිච්චි කරති . මේ සියල්ල සිදු වන්නේ බලධාරින්ගේ ඇස්වලට පෙනි පෙනීය . අැතැම් බන්ධනාගාර ලොක්කන් මුළුමනින්ම යැපෙන්නේ රැඳවියන්ගෙන් බවට තොරතුරු ඇත්තේය. කනගාටුවට කරුණ නම් මෙවන් දුෂිත නිලධාරීන් කිසිදා හෙළි නොවීමය. ‍

සමයං නඩුව එසේ පවතිද්දී ඒ ඔස්සේ මතු කර ඇති ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලැබී ඒවාට නිසි පිළියම් ලැබෙන්නේ නම් මින් ඉදිරියටවත් බන්ධනාගාරයෙන් මෙවැනි අතපසුවීමි හා නොසලකා හැරීම් සිදුනොවනු ඇත. දැන්වත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ මීට වඩා විධිමත් ලෙසින් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇත. එවිට බන්ධනාගාරවලින් ඉන් බලාපොරොත්තු වන උපරිම ඵලය ලබා ගත හැකිවනු ඇත්තේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.