ජයග්‍රහණය සමඟ නිකීට අපූරු යෝජනාවක් | Page 2 | සිළුමිණ

ජයග්‍රහණය සමඟ නිකීට අපූරු යෝජනාවක්

ප්‍රශාන්ත ඇල්පිටිය

අමෙරිකානු වෘත්තීයමය මල්ලවපොර හෙවත් ඩබ්. ඩබ්. ඊ. (වර්ල්ඩ් රෙස්ලිං එන්ටර්ටේන්මන්ට්) ක්‍රීඩාවේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ශූරතාවලියක් වේ. එය හැඳින්වෙන්නේ රෙසල්මේනියා නමිනි. මෙම රෙසල්මේනියා ශූරතාවලිය මෙවර පැවැත්වූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලැන්ඩෝ නුවර කෑම්පින් වර්ල්ඩ් ක්‍රීඩාංගණයේදීය. 75,000 කට වැඩි පිරිසක් එහිදී මෙවර රෙසල්මේනියා ශූරතාවලිය නැරැඹූහ.

එහිදී පැවැති එක් තරග ඉසව්වක් වූයේ මිශ්‍ර කණ්ඩායම් ශූරතාවයයි. ඊට සහභාගි වූයේ සැබෑ ජීවිතයේදීත් යුවළ ලෙස ජීවත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සතරදෙනෙකි. ඒ ජෝන් සීනා - නිකී බෙලා සහ ද මිෂ් - මරීස්ය. ද මිෂ් හෙවත් මයිකල් මිෂානින් 36 හැවිරිදිය. ඔහුගේ සහකාරිය වූයේ 34 හැවිරිදි මරීස් ඩුලෙට්ය.

ඉහත තරගයෙන් ජය ගනු ලැබුවේ සීනා සහ නිකී යුවළයි. ඉන් අනතුරුව සීනා ඉතා අපූරු දෙයක් කළේය. එනම් නිකීට විවාහ යෝජනාවක් කිරීමයි. එයට නිකී කැමැති වූවාය. මෙම වසර තුළදී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබේ. වත්මන් අමෙරිකානු වෘත්තීයමය මල්ලවපොර ක්‍රීඩාවේ ජනප්‍රියතම යුවළ ලෙසටත් සීනා සහ නිකී බෙලා හැඳින්විය හැකිය.

සීනා සහ නිකී මෙසේ විවාහ වනුයේ ඔවුන්ගේ ජීවිතවල දෙවන වතාවටය. 40 හැවිරිදි සීනා 2009 සිට 12 වසර දක්වා විවාහ වී සිටියේ එළිසබෙත් හියුබර්ඩියු සමඟිනි. ඇය සීනාගේ උසස් පාසල් පෙම්වතියයි. සීනා මේ වන විට ඩබ්. ඩබ්. ඊ. මුළු ලෝක ශූරතා 16 ක හිමිකරුවෙකි. 33 හැවිරිදි නිකී තෙවසරක පමණ කාලයක් විවාහ වී සිටියේ උසස් පාසලේ පෙම්වතා සමඟිනි. නිකී විවාහ වන විට 20 හැවිරිදිය.

සීනා සහ නිකී 2012 වසරේ සිට යුවළක් ලෙසට ජීවත් වෙති. සීනාට පෙර ඇගේ පෙම්වතා වූයේ ඩොල්ෆ් ෂිග්ලර්ය. 1980 ජූලි 27 උපන් ෂිග්ලර් ද අමෙරිකානු වෘත්තීයමය මල්ලවපොර ශුරයෙකි. ඔහුගේ සැබෑ නම වනුයේ නික් නෙමෙත්ය. ඔහුත් අමෙරිකානුවෙකි.

නිකී බෙලා 1983 වසරේ නොවැම්බර් 21 වැනිදා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සැන් දියාගෝ නුවරදී උපත ලැබුවාය. ඇගේ සැබෑ නම වනුයේ ස්ටෙෆනි නිකොල් ගාර්ෂියා කොලාස්ය. නිකී මේ වන විට වෘත්තීයමය මල්ලවපොර ක්‍රීඩිකාවක්, නිළියක් සහ නිරූපිකාවක් ලෙසටත් කටයුතු කරන්නීය. මීට අමතරව ඇය රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීමත් විධායක නිෂ්පාදකවරියක් ලෙසටත් ක්‍රියා කරමින් සිටින්නීය.

නිකීගේ නිවුන් සොහොයුරිය වන බ්‍රී බෙලාත් හිටපු වෘත්තීයමය මල්ලවපොර ක්‍රීඩිකාවකි. ඇගේ සැබෑ නම වනුයේ බ්‍රියානා මොනික්ය. බ්‍රී බෙලා මේ වන විට විවාහ වී සිටින්නේ හිටපු වෘත්තීයමය මල්ලවපොර ශුරයෙක් වූ ඩැනියෙල් බ්‍රයන් සමඟිනි.

මෙම බෙලා සොහොයුරියන් මෙක්සිකන් සහ ඉතාලි සම්භවයක් සහිතය. නිකී කලක් පාපන්දු ක්‍රීඩිකාවකි. එමෙන්ම දෙවතාවක්ම ඩබ්. ඩබ්. ඊ. ශූරියකි. ඇය සුදුසුකම් ලත් වතුපිටි නියෝජිතවරියකි. මේ අතර ඇය කාලයක් එරටේ ජනප්‍රිය මොන්ඩ්‍රියන් හෝටල්වල වේටර්වරියක් වශයෙනුත් රැකියාව කර තිබේ.

 

Comments