ආලින්දය

නොසිතන ප්‍රතිචාර ලැබෙන ප්‍රේක්ෂක මනෝ විද්‍යාව

 

‘විනෝද සමය’ ගුවන්විදුලි විකට වැඩසටහනේ හාමු මහත්තයා (ඇනස්ලි ඩයස්) අමාරිස්ගෙන් (සැමුවෙල් රුද්‍රිගු) පෙරදා නැරඹූ චිත්‍රපටයක් ගැන ප්‍රශ්න කරනවා.

හාමු මහත්තයා - කොහොමද අමාරිස් පික්චර් එක?

අමාරිස් - හොඳයි ඒත් එකම දේ තියෙන්නේ හරියටම පික්චර් එක පටන්ගන්න යනකොටම ලයිට් ගියා.

හාමු මහත්තයා - ලයිට් ගියා? ඒ කිව්වේ?

අමාරිස් - පටන් ගද්දිම හෝල් එකේ ඔක්කොම ලයිට් නිවුණා. පස්සේ ඉතිං කළුවරේ තමයි පික්චර් එක බැලුවේ.

ඕනෑම චිත්‍රපටයක් තිරගත කරන්න පටන් ගන්නේ සිනමාහලේ සියලු විදුලි පහන් නිවා දැමුවයින් පස්සේ. ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් එන ආලෝක ධාරාවත් EXIT යනුවෙන් සිනමාහල දොරටුවලට ඉහළින් රතුපාටැති නියොන් එළි පුවරුවත් හැරුණුකොට අන් සියල්ල කළුවරයි.

මේ අවස්ථාවේ මට ප්‍රසිද්ධ කවියකු වන රත්න ශ්‍රී විජේසිංහ ප්‍රථම වතාවට චිත්‍රපටයක් බලන්න සිනමාහලකට ගොස් ලද අත්දැකීමක් මතකයට ආවා. ඔහු ලයිට් නිවුවට පස්සේ කරලා තියෙන්නේ තමන් හැඳ සිටි ජංගි කොටය ගලවා දැමීමයි. ඊට හේතුව සාමාන්‍යයෙන් ඔහු ගෙදරදි රෑට කුප්පි ලාම්පුව නිවුවම ජංගි කොටය ගලවා පැදුරෙ වැතිරීමේ පුරුද්ද.

සිනමාව අපි අඳුරේම දකින නිසා එතැනම කිසියම් මායාවක් තිබෙනවා. චිත්‍රපටයක් නැරැඹීම ගැන නොයෙක් සිනමාකරුවන් නොයෙක් අයුරින් අපූරු අදහස් දක්වා තිබෙනවා. අවට වූ කෑලි කැපිය හැකි මහ අඳුරට තම දෑස් කෙමෙන් පදම් වෙත්ම අඳුර කපාගෙන ඉහළ සිට තිරය වෙතට විහිදුණු ආලෝක කදම්බය තමා තුළ ඇතිකළ චමත්කාරය පසු කලෙක සිරිපාද කඳු මුදුන සිට ඉර සේවය නැරැඹීමෙන්වත් තමා තුළ ඇති නොවූ බව තිස්ස අබේසේකර සිනමාකරුවා වරක් ප්‍රකාශ කර තිබෙනවා.

‘සිනමාව හා ප්‍රේක්ෂක මනෝ් විද්‍යාව’ කියලා විෂයයක් ලෝකයේ තිබෙනවා. ඒත් අපේ රටේ එවැනි විෂය ක්ෂේත්‍රයක් ගැන කිසිම කතිකාවක් නැහැ. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ ක්‍රියාකාරී ප්‍රේක්ෂකයන් හා ක්‍රියාකාරී නොවන, අක්‍රීය ප්‍රේක්ෂකයන් යනාදි වශයෙන්. ඒ වගේම සිනමා න්‍යායාචාර්යවරුන් ප්‍රේක්ෂකයන්ගේ කියැවීම කොටස් තුනකට බෙදා දක්වනවා. (1) අනුමැතික කියැවීම. මෙහි දී ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ එන චරිත සමඟ ඍජුව බැ‍ඳෙමින්, එකඟ වෙමින් යනවා. මෙහිදී අවිශ්වසනියත්වය ඔහුට ප්‍රශ්නයක් නොවේ. ඔහු කරන්නේ කෘතියට ආශක්ත වීමයි.

(2) විරෝධි කියවීම ප්‍රේක්ෂකයාගේ පුද්ගල මනෝභාවය හා කලා කෘතිය එකිනෙකට නොපෑහීම හේතුවෙන් චිත්‍රපටයේ සියලු සන්දර්භයන් ඔහුගේ විවේචනයට හසු කෙරෙනවා.

(3) ගනුදෙනු කියැවීම - කලා කෘතියට එකඟ වෙමින් හෝ විරුද්ධ වීමෙන් තොරව කෘතිය සමඟ සාකච්ඡාවකට ප්‍රවේශ වීමයි. චිත්‍රපටයේ අරුත් පුළුල්ව අත්දැක ගත හැක්කේ එවිටයි.

වරක් ඉන්දියාවේ එක්තරා විද්වතුන් පිරිසක් සිනමා හලක්වත් නැති ඈත පිටිසර දුෂ්කර ගම්මානයකට ගොස් සම්භාව්‍ය චිත්‍රපට දැක්මක් සංවිධානය කළා. ඔවුන්ගේ අධ්‍යාශය වුණේ සම්භාව්‍ය චිත්‍රපට කෙරෙහි නූගත් ගැමියන්ගේ ප්‍රතිචාර, ආකල්ප විමසා බැලීම. එහිදී ඔවුන් ‘බැට්ල්ෂිප් පොටෙම්කිං’, ‘බයිසිකල් තීෆ්’, ‘ගෝල්ඩ් රෂ්’, ‘වේජස් ඔෆ් ෆියර්’ වැනි චිත්‍රපට මහත් සේ ප්‍රිය කළ බව සඳහන් වෙනවා. එහෙත් නැනක් ඔෆ් ද නෝර්ත්’ වැනි වාර්තා චිත්‍රපටයක් ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“අපෝ ඒ චිත්‍රපටයේ කතාවකුත් නැහැ. ඔහේ නිකං හැම තැනම පෙන්නගෙන යනවා. කවුද ඔය චිත්‍රපටයට කැමැති වෙන්නෙ?

ඒ එක් ගැමියකුගේ අදහසක්. සංකීර්ණ කතා සන්දර්භයක් තිබුණත් ඔවුන් ‘රෂොමොන්’ චිත්‍රපටයට කැමැති වී තිබෙන්නේ විශේෂයෙන් එහි තොෂිරෝ මිෆුදේගේ රංගනය නිසායි.

මෙයට සමාන සමීක්ෂණයක් ලංකාවේ සිදුකළ අවස්ථාවක් ගැන වරක් ‘මාවත’ සඟරාව වාර්තා කර තිබුණා. ඒ ‘නිධානය’ චිත්‍රපටය බැලු ගැමියෙක් මෙසේ කියා සිටියාලු.

“කිසි තේරුමක් නැති කතාව. අන්තිමේ ගෑනිට පිහියෙනුත් අනිනවා. කතාබහ කරන්නෙත් නැහැ, වැඩිපුර. ඔහේ නිකං ඇස් කරකව බලා ඉන්නවා. සින්දුත් නැහැ.

පාසල් සිසුවකු ‘නිධානය’ ගැන කියා ඇත්තේ “ෆයිට් එකක්වත් නැහැ. හොඳ කතාවකුත් නැහැ. මට නින්ද ගියා” කියායි.

අපේ රටේ ප්‍රේක්ෂක මනෝ විද්‍යාව මෙයට වඩා දියුණුවේ නම් එය සිනමාව දිහා අලුත් දෘෂ්ටිකෝණයකින් බලන්න ඉවහල් වේවි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.