සතර සවිය සහ නෙළුම 3

ගෝලයා ගුරුවරයා වී ගුරුවරයා ගෝලයා වීම

 කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ

කැලණිය වරාගොඩ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමේ (1957) භාග්‍යය මට ලැබිණි. එවකට මා පූර්ව ජ්‍යෙෂ්ඨ පංතියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකි. රංගනය නිසා ජනප්‍රිය භාවයක් ද තිබිණි. අප විද්‍යාලයේ ශිෂ්‍ය සමිතියේ සභාපති ධුරය දරුවේ මා විසිනි. සමිතියේ ඇතැම් සභිකයින්ගේ වුවමනාවට ගුරු භවතුන් කිහිප දෙනකුගේ ක්‍රියාකලාපයන් ගැන විදුහල්පති තුමන්ට වාර්තා කළෙමි. වාචිකව ප්‍රකාශ කළ දෑ පෙත්සමක් ලෙසින් ලිඛිතව තමා වෙත භාර දෙන මෙන් කළ ඉල්ලීම අප හට ඉටු කිරීමට සිදු විය. මේ ශිෂ්‍ය ප්‍රකාශනය අධ්‍යාපන ඇමැතිවරයා වූ ඩබ්ලිව්. දහනායක මහතාට විදුහල්පති විසින් යවන්නට යෙදිණි. ගත වූයේ දින තුනකි. ගුරුවරු දෙදෙනකුගේ වැඩ තහනම් කොට පස්දෙනකුට ස්ථාන මාරුවීම් ලැබුණේ විදුලි පණිවිඩ මඟිනි. (ටෙලිග්‍රෑම්) දෙබරයට ගල් ගැසුවා වැනි තත්ත්වයක් උදා විය. ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති මා නිසා ඒ ගුරු භවතුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝ වැළ නොකැඩි සවස අපේ නිවසට පැමිණියේය.

ගුරු භවතුන් වෙනුවෙන් මා පෙනී සිටිය යුතු ය යන්න අපේ පවුලේ සියලුම දෙනාගේ ඉල්ලීම විය. පසු දින අම්මා සමඟ එවකට කැලණි රාජමහා විහාරයේ විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් හමු වී කළ ආයාචනය නිසා ස්ථාන මාරුවීම සහ වැඩ තහනම තාවකාලිකව නවතා ඒ චෝදනා සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට නියම විය. ශිෂ්‍ය බල මණ්ඩලයේ මා පමණක් ගුරුවරුන්ගේ පැත්ත ගත් අතර අනෙක් සාමාජිකයන් විදුහල්පතිවරයාගේ පැත්ත ගත්තේය. පරීක්ෂණය නිම විය. කලින් දුන් තීන්දු ලිහිල් විය. මා විදුහල්පතිවරයාගේ පැත්ත නොගත් නිසා මට පාසලෙන් වෙනත් පාසලකට යාමට සිදු විය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මට ලබා දුන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයයි. එහෙත් අපේ තාත්තා මා කැඳවාගෙන ගියේ ඇල්පිටියේ කුරුඳුගහහැතැප්මේ ශාන්ත මරියා කතෝලික විද්‍යාලය වෙතය. නේවාසික ශිෂ්‍යයකු ලෙසින් අ.පො.ස. (සාමාන්‍ය) පෙළට ඉගෙන ගෙන සමත් වූයේ එහිදීය. ධර්මාලෝක විද්‍යාලයේ මා ඉගෙන ගත් කාලය 1947 - 1957 සුන්දර අතීතයකි. අද ධර්මාලෝක විද්‍යාලයේ එක ගොඩනැඟිල්ලක් නම් කර ඇත්තේ මගේ නමිනි. අනෙක් ගොඩනැඟිල්ල නම් කර ඇත්තේ ඔලිම්පික් මැරතන් ශූර පී. ඒ. විමලසේන ආදි ශිෂ්‍යයා නමිනි.

මගේ නාට්‍ය හා රංගන ජීවිතයේ දෙවැනි කොටස ආරම්භ වන්නේ ඇල්පිටියේ ශාන්ත මරියා විද්‍යාලයෙනි. මාටින් වික්‍රමසිංහ සූරින්ගේ රෝහිණි නවකතාව ඇසුරින් වේදිකා නාට්‍යයක් ආචාර්ය මණ්ඩලයේ ඇන්ටන් වර්ණකුල මහතා විසින් නිෂ්පාදනය කළේය. එහි මිත්‍ර සෙනෙවියාගේ චරිතයට පණ දුන්නේ මා විසිනි. ඉන් පසුව වර්ණකුල සර් ප්‍රංශ දෘශ්‍ය කාව්‍ය කර්තෘ වොලියර්ගේ ටාටූෆ් ඇසුරින් “වෙස් මුහුණු” නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්නට විය. එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කළේ ම විසිනි. ඉන් පසුව ඇන්ටන් චෙකොෆ්ගේ The Proporsal මඟුල් ප්‍රස්ථාව කෙටි ඉංග්‍රීසි නාට්‍ය ගාලු දිස්ත්‍රික් පාසල් නාට්‍ය තරගය සඳහා නිෂ්පාදනය කළේ අපේ ගුරුවරයකු වූ වර්ණන් ගුණරත්න මහතාය. එම නාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව තෝරා ගන්නා ලදී. ඉංග්‍රීසි වචන නිවැරැදි හා පැහැදිලි ලෙස ඉගැන්වූයේ ගුණරත්න සර් විසිනි. එදා ඉගෙන ගත්ත දේ අද එම ගුරුවරුන්ට උගන්වන තත්ත්වයට පත්ව සිටිමි. මා ඉගෙන ගත් පාසල් දෙකේම මට හමු වූ ගුරුවරුන්ගේ උපදේසය හා අදහස් මාව ජීවත් කරන්නේය. “ඔබට දෙවියකු වීමට නොහැකිනම් හොඳ ගුරුවරයකු වන්න” යන ප්‍රකට පාඨය අනුව මගේ ගුරු භවතුන් හොඳ ගුරුවරු පමණක් නොව ඔවුහු ගුරු දෙවිවරුන් වෙති.

රංගන ශිල්පියකුට ප්‍රධාන කාරණා තුනක් තිබිය යුතුය. ඒවා ඉතා වැදගත්ය. එක හඬ, දෙක හඬ, තුන ද හඬය. voice, voice and again voice. සාර්ථක රංගන ශිල්පියකු ලෙසින් විවිධ භූමිකාවන් නිරූපණය කිරීමට දේශකයකු ලෙසින් කටයුතු කිරීමටත් පාසල් නාට්‍යවල කළ රඟපෑම මහා අනර්ඝ පදනමකි.

අද වර්තමාන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය හා දක්ෂ නළු නිළියන් සියල්ලන්ගේම තිඹිරිගෙය පාසල් වේදිකාවයි. කලා ක්ෂේත්‍රය තුළින් කලාකරුවන් ජනතාවට කරනු ලබන සේවයේ අභිමානවත් ගෞරවය යා යුත්තේ ඒ ඒ කලා ශිල්පීන්ගේ හා ශිල්පිනියන්ගේ ගුරු භවතුන් වෙතය.

ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කළ ඇන්ටන් චෙකොෆ්ගේ මඟුල් ප්‍රස්ථාව නාට්‍ය විශිෂ්ට රඟපෑම උදෙසා ගාලු දිස්ත්‍රික්කයේ හොඳම පාසල් නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වීම මගේ රංගන ජීවිතයේ පළමුවන ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණයේ රහස කිසිවක් නොවේ. මා ගුරු උපදෙස් පිළිගෙන පිළිපදිමින් කටයුතු කිරීමය. සතර සවියේ පළමු වන සවිය බුද්ධියයි. කුඩා කල සිට මට එය තිබිණි. මම ලබා ගතිමි. සතර වන සවිය විනයයි. ඒ විනය මට තිබිණි. අදත් ඒ විනය මම ආරක්ෂා කරමි.

ශාන්ත මරියා විදුහලේ මගේ නාට්‍ය ගුරුවරයකු වූ ඇන්ටන් වර්ණකුල සර් පාණදුරේ නල්ලුරුවේ අදත් ජීවත් වන්නෙකි. මගේ කලා කටයුතුවලට එතුමාගේ දායකත්වය ලබා ගත්තෙමි. මා විසින් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කරන ලද අධිෂ්ඨානය චිත්‍රපටයේ සහ ම විසින් අධ්‍යක්ෂණය කළ වදුල චිත්‍රපටයේ ද එතුමා චරිතයන් නිරූපණය කළේය. වර්ණකුල මහතා මගේ පාසල් ගුරුතුමා නිසා මම එතුමාට කථා කරන්නේ “සර්” යනුවෙනි. ඔබතුමා මගේ සිනමා අධ්‍යක්ෂවරයා නිසා මම ඔබ ද අමතන්නේ සර් යනුවෙනි යනුවෙන් පැවසුවේය. සර්ට මම සර් කියනවා, සර් මට සර් කියනවා. ගෝලයා ගුරුවරයා වී ගුරුවරයා ගෝලයා වීම මොන තරම් සුන්දර ද? නියම උගතා ගුණ යහපත්ය. කාරුණිකය. නිහතමානියයි. උණ ගස් බට ගස් උස යන්න යන්න කරටිය නැවෙන්නාක් මෙන්ම වී කරල මෝරන්න, මෝරන්න බිමට නැවෙන්නාක් මෙන් මගේ ගුරුතුමා මට නිහඬව ඉගැන්වූ පාඩම මා මගේ ගෝලයන්ට එසේම සලකන්නේය. අවවාදයට වඩා ආදර්ශය මොන තරම් උසස් ද? උතුම් ද?

අද වර්තමානයේ විශේෂයෙන් කලා ක්ෂේත්‍රයේ නැත්තේ ද එයයි. මා ඇල්පිටියේ ශාන්ත මරියා විදුහලේ ඉගෙන ගන්නා කාලයේ එය කතෝලික සභාවට අයත් පාසලකි. රජයට පවරා ගැනීමෙන් පසු විද්‍යාලයේ දියුණුව පිරිහීමට ලක් විය. එම විද්‍යාලය පරිහරණය කළ දේවාස්ථානයට අයත් ඉඩම් කොටස අහිමි විය. මෙම විද්‍යාලයේ දී මා සමඟ ඉගෙන ගත් අයෙකි. ඒ. එස්. ජී. වික්‍රමරත්න ඔහු ව්‍යාපාරිකයකු විය. ආදායම් වාර්තා තැබු අජාසත්ත චිත්‍රපටය නිෂ්පාදනය කළ ඔහු ඉතා පොහොසත් අයෙකු විය. ඔහුගේ ධනවත්කම අපේ ඇසුරට බාධාවක් විය. ඔහු මීට කලකට පෙර දැයෙන් සමුගත්තේ අකාලයේය.

පාසලේ සිදුවන බොහෝ බාහිර කටයුතුවලදී මා පෙරමුණ ගත්තේ ඉතා කැමැත්තෙනි. දරුවකු පූර්ණ රටවැසියකු වන්නට පාසල් ජීවිතයේ අත්දැකීම් බෙහෙවින් ඉවහල් වන්නේය. ශාන්ත මරියාවේ නේවාසිකාගාරයේ දී ලද අත්දැකීම් එනම් අවදි වීම, සූදානම් වීම, පාසල් යාම, පාඩම් කිරීම, ක්‍රීඩා කිරීම සහ රාත්‍රී කාලයේ ගීත ගායනා කරමින් ගෙවූ මිහිරි යාවේ චමත්කාර තවමත් මගේ සිත තුළ රඟ දෙන්නේය. මිනිසකු ජීවත්වන කාලය අවුරුදු 80ක් නම් එම කාලය හතරෙන් බෙදු විට එක් කොටසක් අවුරුදු 20 කි. මෙන්න මේ අවුරුදු විස්ස අපගේ ජීවිතය නමැති මහා මන්දිරය ගොඩනඟන අත්තිවාරමයි. ඒ අත්තිවාරම, පදනම මම නිසි ලෙස දමා ගත්තෙමි. ජිවිත මන්දිරය අලංකාර වී ඇත්තේ ඒ නිසාය.

 

ලබන සතියට...

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.