'සප් තරංග' ප්‍රසං­ගය ජීවි­ත­යම වෙනස් කළා | සිළුමිණ

'සප් තරංග' ප්‍රසං­ගය ජීවි­ත­යම වෙනස් කළා

අමතක මතක

පුංචි තිර‍යට දවසෙන් දවස පායන තරු විවිධාකාරයි. සමහර තරු ටික දවසක් යනකොට බැස යන්නේ කවුරුත් නොදැනමයි. එහෙත් ඇතැම් තරුවල දීප්තිය දවසෙන් දවස වැඩි වනවා. එවන් ටෙලි තාරකාවක් තමයි චම්පා ශ්‍රියානි. කොතරම් අලුත් නිර්මාණ බිහි වුවත් චමිපා රංගනයෙන් දායක වු නිර්මාණ අතලොස්ස රසික සිත්වල සදා අමරණීයයි. ඒ මතක සටහන් එක්ක මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙමින් චම්පා මෙසේ මතකයන් අවදිකළා.

 පාසල් ප්‍රේමය සුන්දරම කාලයයි

පාසල් කාලය කියන්නේ ඕනෑම කෙනකුගේ ජීවිතයේ ගෙවෙන සුන්දරම අවදියක්. මගේ ජීවිතේත් ඒ සුන්දර කාලය ගෙවුණේ හරිම නිදහසේ සතුටෙන්. වයස අවුරුදු 15, 16 කාලෙදි පාසල, දහම් පාසල , සර්වෝදය සමිතිය තමයි ජීවිතය වුණේ. මට මතකයි දහම් පාසලේ ඉගෙන ගන්න සියලුම ළමයි සර්වෝදය සමිතිය සමග බැඳී සිටියා. අපි සංවිධානය කළා 'සප් තරංග ' නමින් ප්‍රසංගයක්. ටිකට් පත් මුද්‍රණය කර විකුණා ලබා ගත් මුදලින් තමයි මේ ප්‍රසංගය කරන්න මුදල් සොයා ගත්තෙ. මමත් එහි නර්තනය හා ගායනය සඳහා ඉදිරිපත් වුණා. ඔය කාලයේදි තමයි එහිම සාමාජිකයකුව සිටි අයියා කෙනකුට ටික ටික මගේ හිත ගියේ. ඔහුත් ප්‍රසංගයේ ගායනය සඳහා ඉදිරිපත් වුණා. එම ප්‍රසංගය තමයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවකට ගොඩවු මුල්ම දවස. අපි මාස 6 ක් පෙර පුහුණුවීම් කළා. අදටත් මතක්වන විට ඒ කාලයට සිතින් පියමං කරන වාර අනන්තයි. මොකද මගේ කුළුදුල් ප්‍රේමයට මුල පිරුණෙත් ඔය කාලෙදි නිසා. ඒ නිසාම වන්න ඇති සර්වෝදය සමිතියත් සමග බැඳී වැඩකළ කාලය ඒ තරම්ම සුන්දර.

 වසර විසි ගණනක් ආදරෙන්

සර්වෝදය සමිතියේදි දැන හඳුනාගත් ඔහු සොයා බලද්දි මගේ පාසලේම අයියා කෙනෙක්. අපි පාසලේදිත්, සර්වෝදය සමිතියේදිත් නිතර නිතර මුණ ගැසෙනවා. ටික දිනක් යද්දි ඔහු මගේ පෙම්වතා වුණා. අප දෙදෙනා හරිම ආද‍රයෙන් බැඳුණා. ඕක අපේ ගෙදරට ආරංචි වුණා. මම තමයි දෙමවුපියන්ට සිටින එකම දුව. ඒ නිසාම වන්න ඇති ඒ අය මේ ගැන කලබල වී අපේ සම්බන්ධය ගැන සොයා බැලුවේ. කොල්ලා ගැන නරකක් කියන්න බෑ ඒ නිසා කැමැත්ත දෙමු කියා ගෙදර කතාවුණා. ඒ අනුව තමයි පෙම්වතා පසුව සැමියා බවට පත්වන්නේ. අද අප දෙදෙනා දරු දෙදෙනකුගේ මවුපියන්. බෞද්ධ කාන්තාවක් විදිහට මට වෙලාවකට හිතෙනවා මෙවැනි සැමියන් ලැබෙන්නේ පෙර පිනට කියා. මොකද අවුරුදු 15දි පෙම්වතාව සිටි ඔහු වසර විසි ගණනක් ගතවී අදත් ඒ ලෙසම ආද‍රයෙන් සිටිනවා. ඔහු හා බැඳුණු පසුගිය මතකයන් හැම එකක්ම අපේ සිහිවටන. අප දෙදෙනා කතා කරමින් සිටින අතරෙදි ඔය දේවල් මතක් කරමින් සතුටුවනවා.

 ප්‍රීතිමාලි අදත් ජනප්‍රියයි

උසස්පෙළ හදාරන්න පාසල් ගිය කාලයේ අපේ පාසලට පැමිණියා තිමති වීරරත්න කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා. ඒකාංගික ටෙලිනාට්‍යකට අලුත් රංගන ශිල්පිනියක් තෝරා ගන්නයි එතුමා ආවෙ. අපේ පන්තියටත් ඇවිත් තිරයට හරියන මුහුණක් සොයන අතරෙදි මාව දුටුවා. මට මතකයි ඔහු හරිම සතුටුවුණා මගේ පෙනුමට. ඒ චරිතයට ගැළපෙන රුව මට තිබෙනවා කියා. 'කඳුළක හසරැලි 'ඒකාංගික නාට්‍යයට සම්බන්ධ වන්නෙ එහෙමයි. ඉන් පසුව සෙනරත් ජයවර්ධනගේ පියා (මහේල ජයවර්ධන) මහතාගේ ප්‍රාසාංගික ටෙලි නාට්‍යක් වන 'හිමි අහිමි' ටෙලි නාට්‍යයේ රංගනයට එක් වනවා. එවකට සිනමාවේ සිටි ප්‍රවීණයන්වන ටෝනි රණසිංහ, ලීනා ද සිල්වා, යන අයගේ දියණියටයි රඟපාන්න ලැබුණේ. එය විකාශය වුයේ ජාතික රූපවාහිනියේ බ්‍රහස්පතින්දා දවසක. සුනිල් එදිරිසිංහ මහතා තමයි එහි තේමා ගීතය ගායනා කළේ. අදටත් කොහේදි හෝ එම ගීතය ඇසෙන විට දැනෙන හැගීම වචනයෙන් කියන්න බැරි තරම්. එදා දැනුණ සතුට ම අදටත් දැනෙනවා.

මට මතකයි 'ගංගා හා නිශ්ශංක', 'හිරුට මුවාවෙන්' ආදි හර්බට් රංජිත් පීරිස් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය රූපගත කිරීම් කළේ 1990දි. කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස් එහි මා සමග රඟපෑවා. අදටත් මග තොටේදි හමුවන ප්‍රේක්ෂකයන් මට කතාකරන්නේ ප්‍රීතිමාලි නමින්. එදා නවක නිළියක වු මට අනෙකුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් සහයෝගය දී මග පෙන්වු හැටි අදත් මතකයි. ඔවුන් ගැන අදත් මගේ සිතේ තියෙන්නේ පැහැදීමක්. එම කලාකරුවන් නොසිටින්න චම්පා ශ්‍රියානි කියන රංගන ශිල්පිනිය මේ තරම් දුරක් ක්ෂේත්‍රයේ නොහිටින්න පුළුවන්.

 'අඹු දරුවෝ' ට කොන්ඩය දන් දුන්නා

1995 සුදත් රෝහණ මහතා අධ්‍යක්ෂණය කළ 'වන වදුලේ වසන්තය' ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් කළේ බලංගොඩ ප්‍රදේශයේයි. එහි දර්ශන කිහිපයක් දුවිලි ඇල්ල ප්‍රදේශයේ සිදු කළා. සොබා දහම මොනතරම් සුන්දරද, අලංකාරද යන්න හොඳටම දැනුණෙ ඒ කාලයේදියි. එවැනි අත්දැකීම් ජීවිතේ මැරෙන තාක්කල් අමතක වෙන්නෙ නැහැ. පසුව 2000 දි සුදත් රෝහණ මහතාගේ දීර්ඝ ටෙලි නාට්‍යයක් වන 'අඹු දරුවෝ' ටෙලිනාට්‍යයේ මුල පටන් අග දක්වාම ගලාගෙන යන චරිතයක් කළා. ඒ සඳහා කොණ්ඩය වෙනස් කරන්න දාපු කෙමිකල් එකකට දිගට ලස්සනට තිබුණු කොණ්ඩය නැතිවුණා. අඹු දරුවෝ වෙනුවෙන් මගේ දිග කොණ්ඩය දන් දුන්නා. ඒ ගැන මතකයට එනකොට පොඩි දුකකුත් තියෙනවා. 'බැද්දෙ ගෙදර' ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකට සම්මාන ලැබී තිබෙනවා. ඇතැම් ටෙලි නාට්‍ය වලට සම්මාන ලැබෙන්න නිර්දේශිත වුණා. සම්මාන ලැබුණත් නොලැබුණත් චරිත තෝරා බේරාගෙන රඟපෑම මගේ සිරිතක්.

 සඳලි ගීතයක්ම වුණා

හැම ගැහැනියකටම වාගේ මටත් ජීවිතයේ අමතක නොවන සිදුවීම් අතර මූලිකම එකක් තමයි මවු පදවිය ලබපු දවස. දුවකුට ආසාවෙන් සිටිය මට දුවෙක් ලැබුණහම දැනුණු සතුට දරා ගන්න බැරි තරම්. රෝස මලක් වගේ ඇයට සඳලි ගීත්මා කියල නම දැම්මෙත් දරුවා ලැබෙන කාලේ ඇය කුසදරාගෙන සඳලී කියන ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වු නිසා. මවට ගීතයක් බඳු ඈ වසර 25ක්ම මගේ ජීවිතයට ගීතයක් වී අද වෙනත් පවුලක ලේලිය වෙලා. ඊට වසර 10 කට පසුව ඉපදුණු පොඩි දුව සියුමි දිනෙත්මා මෙවර සා.පෙ සඳහා පෙනී සිටිනවා. මගේම ගතිගුණ ඇති ඇයට මගේම රූපය නොඅඩුව පිහිටලා. සුජාතා විදුහලේ අවුරුදු කුමරිය ලෙසද ඇය කිරුළු පැළදුවා.

 තාත්තාගේ වියෝව දුකක්

මගේ ජීවිතයේ කනගාටුවෙලා හඬාවැලපෙන්න සිදුවු සිදුවීම් ඇත්තේම නැති තරම්. ඒත් තාත්තාගේ වියෝව මතක්වනවිට අදටත් දුකයි. අප දෙදෙනා ඇසුරුකළේ හරියට යාළුවන් වගේ. පිළිකා රෝගය වැළඳී ඔහු මෙයට වසර 2කට පෙර මියගියා. මිය යන විට තාත්තාගේ වයස 85ක්. මට මතකයි තාත්තා නිතරම ආනන්ද මෛත්‍රෙය හිමිගේ පොත පත කියවනවා. ඒ නිසා වන්න ඇති ඔහුට ධර්මාවබෝධය ගැන හොඳ දැනුමක් තිබුණේ. සමහරු කියනවා චම්පාට මෙයට වඩා ක්ෂේත්‍රයේ තැනකට යන්න තිබුණා කියලා. ඒත් මම විශ්වාස කරන්නේ

අපි පොඩිකාලෙකට ආපු නවාතැන්පොළක තමයි මේ නැවතිලා ඉන්නේ. ඒ ඉන්නටික කාලෙ ධාර්මිකව, සතුටින් ගත කිරීමයි අප කළයුත්තේ කියා. ඒ නිසා ජීවිතේ ඉදිරි ටික කාලයත් හොඳින් ගෙවීම තමයි බලාපොරොත්තුව. 

 

Comments