ආදරයේ උල්පත වූ අම්මා
අම්මාවරුන්ගේ දින තිළිණය වික්ටර් - ප්‍රේමකීර්තිගෙන්
ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර අම්මාවරුන්ගේ මුහුණු රාශියක් ඇෙඳනවා. අම්මා කෙනකුගේ මතකය හදිසියේ ඇඳෙන සමීප රූපයකඩ සීමා වෙන්නෙ නැති බව ඉන්ද්‍රචාප හොඳින් ම දන්නවා. ඒ වුණත්, ලෝකය පුරාම ජීවත් වෙන අම්මලා වෙනුවෙන් පහුගිය ඉරිදා මැයි 14 දා දිනයක් වෙන් කළ නිසාදෝ කාට කාටත් අම්මලාගේ ආදෙර් මතක් වෙලා, මව් ගුණ ගීත, මව්ගුණ කවි, කතා, මුහුණු පොත පුරා ආදරේ හිතෙන පින්තූර.
ඉන්ද්‍රචාප කල්පනා කරන්නෙ, මොකටද මේ එක දවසක් විතරක් අම්මලා වෙනුවෙන් වෙන් කරන්නෙ කියලා. ජීවිතේ තියෙන තාක් කල් ම, අපි ඉපදුණ දා ඉඳලා, ජීවිතෙන් සමුගන්න දා තෙක් ම අපි ළඟ, දුකේදිත් සැපේදිත්, හැම මොහොතක ම ළඟින් ඉන්නව නම් කවුරු හරි ඒ අම්මා විතරක් නේද කියල ඉන්ද්‍රචාප ප්‍රශ්න නරකවා. ඉතින් ඒ වගේ උත්තම චරිතයක් වෙනුවෙන් එක දවසක්, නම් කරන්නෙ මොකට ද? අවුරුද්දෙ දවස් 365 ම අම්මාවරුන්ට වෙන්වෙච්ච දවස්. ඒක තමයි පරම සත්‍යය. විශ්ව සත්‍ය ය.
අපේ ජනකවියෙ, ජනකතාවල ඉඳල නවීන කවිය, ගීතය, කතාව ආදී හැම සාහිත්‍ය කලා මාධ්‍යයක ම අම්මා ගැන ලියැවුණු නිර්මාණ නිමක් නෑ. අම්මලා වෙනුවෙන් අවුරුද්දකට එක දවසක් වෙන් කරන්න කලින් ඉඳලත් අපේ නිර්මාණවලින් අම්මාගෙ ගුණ සුවඳ පැතිරුණා. අම්මාවරුන්ගේ ආදරය ජනකවියා දැක්ක අපූරුවට සාක්ෂි ඇති කවි රාශියක් ඉන්ද්‍රචාප දකිනවා.
ඇතින්නියක් ලත් දරු පෙම්බරේ යා
ඇතිනි රැලේ සැමට ම කිරි එරේයා
අතින් අතට දුන් මුදුවත් පිරේයා
ඉතින් පුතුට මවුගේ ආදරේයා
ආර පුරන්දරෙන් බැසා - චෝල මණ්ඩලෙන් එපිටා
මා තනියම යන කලටා - දෙවියන් දුන් පුතෙකි මටා
පාට වරුණ පුත පරමන්ඩල් පුත දොයිය රිදී පුත දොයි දොයියේ
රන්ද පසිඳු පුත පරමන්ඩල් පුත දොයි පුත
දොයි පුත දොයි දොය්යේ”
එදා ඉඳන් අද වෙන තෙක්, හෙටත්, අනිද්දත්, ලෝකය පවතිනා තාක් කල් අම්මාවරුන්ගේ දරු සෙනෙහස ගැන කවි ලියැවෙයි. සින්දු ලියැවෙයි, කතා ලියැවෙයි. උදේට ඉර පායනව වගේ හවසට හඳ පායනවා වගේ ඒක ද සත්ත.
අම්මාවරුන්ට විශේෂ දිනයක් තිබුණත් නැතත්, කළ ගුණ දන්නා කිසිම දරුවකුට අම්මගෙ ආදරේ අමතක වෙන්නෙ නෑ. අමතක කරන්න බෑ අම්මගෙන් වෙන් වෙලා බිරියත් එක්ක ජීවිතේ පටන් ගත්තත්. බිරිය දෙවැනි අම්මා මිසක් කවදාවත් ම අම්මා වෙන්නෙ නෑ. අම්මාවරුන් ගෙ ආදරේ ගැන මෑත කාලයේ ඉන්ද්‍රචාපට දකින්න, අහන්න, කියවන්න ලැබුණ මේ නිර්මාණය නම් සදාතනික අගයකින් පිරුණු එකක් විදියට ඉන්ද්‍රචාප දකිනවා. ප්‍රේමකීර්ති ද අල්විස්ගෙ වචන, වික්ටර් රත්නායක, එයාගෙම තනුවෙන්, සංගීතයෙන් ගායනා කරන මධුර ස්වරය, වැරැදීමකින් හෝ අම්මා කෙනෙක් පිළිබඳ වෛරී සිතක් ඇති පුතකුගේ නැත්නම් දුවකගේ වුවත් හදවත සනහාලනව කියලයි ඉන්ද්‍රචාප දැනෙන්නෙ.
පිඬු සිඟා වඩින බුදු හිමයන් දකින යසෝදරාව උඩු මහලේ සඳලු තලයේ සිට රාහුල පොඩි පුතුට පවසන්නී, පුත, තොපගේ පියාණන් පහළ මඟ පිඬු සිඟා වඩින්නේය. ගොස් ඔහුගෙන් දායාද ඉල්ලව කියායි. ප්‍රේමකීර්ති, අපට හුරු පුරුදු යසෝදරා, රාහුල පුවතට නව අරුත් සපයන’යුරු විස්මිත ය.
‘ආදරේය උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී
ප්‍රේමකීර්තිගේ පුතු මව සොයා යන්නේ, රාහුල කුමරු බුදුහිමි සුළැඟිල්ලේ එල්ලී ගිය ලෙසිනි. එදා පිය සෙනෙහස, අද මව් සෙනෙහස බවට පත්කරන ප්‍රේමකීර්ති ගේ වදන් පෙළ, වික්ටර්, අපගේ ජන නාද මාලාවෙහි නැළැවිලි ගීයක තනුව ආභාසයෙන්, ප්‍රතිනිර්මාණය කරන්නේ අප හදවත් හි කරුණා රසය ඉහවහා යන සේ උතුරවමිනි. සඳදිය කොට කිරි වතුරෙන්, ඒ දියරෙන් මුව දෝවා
අපගේ මතකයට නංවන්නේ දොයි දොයි දොය්ය පුතා යන අප හදවත්හි රැඳී ඇති නැළවිලි ගීයේ රිද්මය ම නොවන්නේ ද? ප්‍රේමකීර්ති තෝරාගෙන ඇති එකදු වචනයක් හෝ ඉවතලිය නොහෙන තරමට මව් ගුණය, ස්නේහය, ආදරය ශ්‍රාවක සිතට සමීප කරවන්නේ, ඒ වචන අපට සිහිපත් කොට දෙන මව් ගුණයේ මුදු බව, දයාර්ද බව දැනෙන බැවිනි.
සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා....
මවුවරුන් වෙනුවෙන් වෙන් කළ එක් දිනයකදී පමණක් නොව සදාකල්හි ම මව් සෙනෙහස සිහිපත් කෙරෙන මේ ගීයේ අයිතිකරුවන්ට, වික්ටර් හා ප්‍රේමකීර්තිට පින්.