සාගර ජලය මදි හැඬුවා චිත්‍රපටයේ රඟපෑ සම්මානනීය පුංචි නිළිය දැන් විද්‍යා ගුරුවරියක් | Page 2 | සිළුමිණ

සාගර ජලය මදි හැඬුවා චිත්‍රපටයේ රඟපෑ සම්මානනීය පුංචි නිළිය දැන් විද්‍යා ගුරුවරියක්

අසූව දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා සිනමාවේ පෙරළියක් ඇති කළ චිත්‍රපට අතරින් අපේ මතකයට නැගෙන්නේ සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ “සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා....“ සිනමා පටයයි. එම රූපරාමුවල රවීන්ද්‍ර රන්දෙණිය සහ සුනේත්‍රා සරත්චන්ද්‍ර යන ප්‍රවීණයන්ගේ හුරතලයට මැදිවී සිනමා පටය ආලෝකමත් කළ පුංචි කෙල්ල ඔබට මතකද. ඇය රසිකා වික්‍රමසිංහ. අද වන විට රජයේ පාසලක උසස් පෙළ රසායන විද්‍යා ගුරුවරියක් ලෙසින් සිසු සිසුවියන්ගේ නැණස පාදන ඇය අපට පසුගිය දිනක මුණ ගැසුණි. මෙහිදී “රසදුන“ සමග දොඩමළුවීමට අමතක නොකළ ඇය හෙළිකළ ඇගේ නවතම තොරතුරු මේ.

ඔබේ අතීත මතකයන් පිළිබඳව කතා කරමු...

අතීතය කියනකොට මතක් වෙන්නේ මගේ ළමා කාලයේ මම රඟපෑ චිත්‍රපටය සහ එහි රූගත කිරීම් වල සිද්ධීන් තමයි. අපි හරිම විනෝදෙන් ඒ කාලේ ඈත ගම් වල ෂූටිං වලට සම්බන්ධවුණේ. ඒ කාලේ අපිට ප්‍රවීණ රංගන ශිල්පීන් හරිම ආදරෙයි. ඒ වගේම තමයි අපට සැලසු ආරක්ෂාව... විනාඩියක් පෙනෙන්න නැතිනම් කෑ ගහල අහනවා කොහෙද ඉන්නේ... මොනවද කරන්නේ.. කියලා... සුමිත්‍රා මිස්, ලෙස්ටස් සර්, රවින්ද්‍ර රන්දෙණිය, ස්වර්ණා මල්ලවාරච්චි, සුනේත්‍රා සරත්චන්ද්‍රයන් සමඟ ගතකළ ඒ කාලය තවමත් සිහිවෙනකොට හරිම සුන්දරයි.

මොකක්ද ඔබ මුලින්ම රඟපෑ චිත්‍රපටය.

සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා. චිත්‍රපටයයි.

ඒ සඳහා සම්බන්ධවීමට අවස්ථාව උදාවුණේ කොහොමද?.

ඩොනල් කරුණාරත්න මහත්තයා අපේ පවුලේ අය සමඟ හරිම හිතවත්... ඒ දවස්වල ඔහු මගේ ෆොටෝ එකක් අරගෙන ගිහිල්ලා සුමිත්‍රා පීරිස් මහත්මියට පෙන්නලා තියෙනවා. ඉතින් මට පණිවිඩයක් එවලා තිබුණා ඇවිත් හම්බවෙන්න කියලා...අම්මයි මමයි දෙන්න ඇය හමුවන්න යනකොට තවත් පුංචි ළමයින් විශාල පිරිසක් එහි ඇවිත් සිටියා. එතැන සම්මුඛ පරික්ෂණයක් තියෙන බව අපි දැන ගත්තේ ඒ අවස්ථාවෙයි. අම්මා මට කිව්වා “ඔයා බය වෙන්න එපා.... හොඳට හිනාවෙලා කතා කරන්න“ කියලා... වාසනාවට එදා මම එම පරික්ෂණයෙන් සමත් වුණා..

ඉන් අනතුරුව...

ඊට පස්සේ චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගත්තෙ. වසර 1983. ලංකාවේ ඈත දුෂ්කර ගම්මාන වුණු ඔයාමඩුව, රඹෑව, ගල්කුලම වැනි ප්‍රදේශවල තමයි රූගත කිරීම් සිදු කළේ. මගේ මතකයේ හැටියට එතකොට මට අවුරුදු 6-7ක් විතර ඇති.

මට එම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් OCIC සම්මානය ලබා ගැනීමටත් හැකිවුණා.

ඉන් අනතුරුව ඔබ රඟපෑමෙන් ඉවත් වුණාද?

නැහැ. විශේෂයෙන්ම මගේ අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන්න තමයි මම හැම බාහිර වැඩක්ම කළේ. ඒ දවස්වල මම ජාතික රූපවාහිනියේ මුතුහර වැඩසටහන සඳහා සම්බන්ධ වුණා. ඒ අතරම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සහන නිවේදිකාවක් විදිහට කටයුතු කිරීමට ද අවස්ථාව ලැබුණා. උසස් පෙළ සමත්වී සරසවියට යනතුරුත්, ඉන් අනතුරුවත් මම ලැබුණු අවස්ථාවලදී ටෙලිනාට්‍ය සහ වෙ‍ෙළඳ දැන්වීම් වල නිරූපණයන්ට එක් වුණා.

මොනවද එම නිර්මාණ?

තිලක් ගුණවර්ධනගේ චරිත තුනක් ටෙලි නාට්‍ය. දයාරත්න රටගෙදර “දාසියකගේ රාත්‍රිය“. අශෝක හදගමගේ අටඅවුරුද්ද පොතින් නිර්මාණය කළ “ප්‍රභාතය“. රුක්මල් නිරෝෂ්ගේ “සුභ සිහින“ ටෙලිනාට්‍යවලට රංගනයෙන් එක්වුණා. ඊට අමතරව සෙලාන් බැංකුවේ සහ ටොෆි දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා.

ඔබ මේ වන විට සුමිත්‍රා පීරිස් සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග ඉස්සර වගේම සම්බන්ධකම් පවත්වාගෙන යනවාද?

අනේ ඔව්. මමයි මහත්තයයි කොළඹ යන දිනවලට නොවරදවාම ගිහින් එතුමියව බලලා එනවා. එහෙම අවස්ථාවක් ආවේ නැතිනම් දුරකතනය මගින් හෝ ඔවුන්ගේ දුක සැප විමසා බලනවා. ඒ වගේම තමයි රවීන්ද්‍ර රන්දෙණිය මහතා. එතුමා මාව දකින ඕනෑම තැනක දී “හා... කොහොමද?“ කියලා මගේ දුක සැප අහන්න අමතක කරන්නේ නැහැ. චිත්‍රපට සම්මාන උළෙලවලදී ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය හමුවෙනවා. ඇයත් ඉතාමත් කාරුණිකව මගේ තොරතුරු විමසනවා...

දැනට ජීවිතය ගෙවෙන්නේ...

මගේ වෘත්තීය උසස් පෙළ රසායන විද්‍යාව විෂය ඉගැන්වීමයි. නමුත් මෑතක දී මට කිරිබත්ගොඩට ආසන්න විදුහලකට මාරුවීමක් ලැබුණා. ඒ පාසලේ උසස් පෙළ රසායන විද්‍යාව පවත්වාගෙන නොයන නිසා දැනට සාමාන්‍ය පෙළ විද්‍යාව උගන්වනවා.

පවුලේ තොරතුරු මොනවද?

මගේ මහත්තයා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. සේවය කරන්නේ බදුල්ල දිසා රෝහලේ. දුව 9 වසරේත්, පුතා 5 වසරේත් ඉගෙන ගන්නවා.. මගේ සැමියා, දරුවන්, අම්මා තාත්තා සමඟ තමයි ජීවිතය ගෙවී යන්නේ.

අනාගතයේදී නැවත රංගනය සදහා අවස්ථාවක් ලැබුණොත්....

ම්... වෙලාව තමයි ප්‍රශ්නය. මොකද ඉස්කෝලේ වැඩයි... බාබාල දෙන්නගේ වැඩයි... ගෙදර වැඩයි අතර තුර විවේක වෙලාවක් ලැබෙනවා අඩුයි. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත්, වෙලාවක් වෙන්කර ගන්න හැකි වුණොත් බලමු.

මේ ආ ගමනට අතහිත දුන් අය මතක් කරමු...

ඔව්... මම මේ තත්ත්වයට පත්කිරීමට මූලික වුණේ මගේ අම්මා. අම්මා තමයි මගේ හැම දෙයක් ගැනම හොයලා බලන්නේ... එදත් එහෙමයි අදත් එහෙමයි... මගේ තාත්තා... මගේ පාසල් කාලයේ ගුරුවරු..මගේ මහත්තයා සහ වචනයකින් හරි උදව් කරපු සියලු දෙනාම ඉතා ආදරයෙන් මතක් කරනවා... මා ලැබූ එළියෙන් සිසුදරුවන්ගේ නැනපහන් දල්වමින් අද සතුටින් කාලය ගතකරනවා.

Comments