අහස යට

 ආණ්ඩුවෙන් හම්බවුණ මොකක්දෝ අමුතුම පාට මෝටර් බයිසිකලේ ඇවිත් ගෙදර ඉස්සරහ නතර කළා. එතකොට මම එල් හැඩේට තියෙන ඉස්තෝප්පු කෑල්ලෙ වම් පැත්තට වෙන්න තියෙන ලී පටි ගහපු හාන්සි පුටුවෙ වාඩිවෙලා අතේ තිබුන පත්තර පිටුව අනිත් පැත්තෙ පුටුව උඩට විසිකරල හරිබැරි ගැහිල මමත් වාඩි වුණා.

වම් කකුලෙන් ස්ටෑන්ඩ් එක පහතට දාල ,හෙල්මට් එක ඔළුවෙන් ගලවල, බයිසිකලේ පැත්තෙ කණ්නාඩියෙ එල්ලුව. බොහොම සීරුවට දකුණු කකුල බයිසිකලේට උඩින් අරගෙන වම් කකුලට බර දීල හෙමින් ඇවිත් අල්ලපු ඇඳි පුටුවෙන් හාන්සිවුණා.

එතකොටයි මම දැක්කෙ තඩිස්සිවෙලා තියෙන දකුණු කකුලෙ වළලුකර.

“මොනව වෙලාද මේ කකුල” මම හදිස්සියෙන් වගේ ඇහුව.

කවදාවත් උත්තරයක් දෙන්න හදිස්සි නොවන එයා. වට පිට බලල, සරම දණහිස ලඟටම උස්සල

“ පොඩි තුවාලයක් හැදුණ” කීව

“ පොඩි නැහැනෙ , මුළු කකුලම ඉදිමිලා තියෙන්නෙ” කියල මම කියද්දි ආයිත් ඉදිමිච්චි කකුල දිහා බලල“ ඔව් දැන්නම් ටිකක් ඉදිමලා තමයි” කියල මගෙ මුහුණ

දිහා බැලුව.

හැමදාම එයාගෙ මූණට අවලස්සන ගේන ලොකු උඩු රැවුල වගේම දවස් ගානකින් කපල නැති ඉදුණු සුදුපාට රැවුලෙන් මුහුණ තවත් අවලස්සන වෙලා පෙනුන.

“ඇයි, බෙහෙතක් ගත්තෙ නැත්තෙ” කියල මම අහද්දි හාන්සි පුටුවෙ දිග ඇදිල දිග හුස්මක් ඉහලට ඇද ගත්ත.

“ මම ඩොක්ටර්ව හම්බවුණා.”

“ඉතින් මොනවද කීවෙ”

“එයා බලල , ලේ රිපෝට් වගයක් අරගෙන , සර්ජන්ට් මහත්තයෙකුට පෙන්නන්න කීව”

“ පෙන්නුවෙ නැද්ද”

කැරලි ගැහුණු හිතුවක්කාර කොන්ඩෙ අස්සෙන් ඇගිළිතුඩු යවල

“හන්දියෙ තියෙන ලැබ් එකට ඩොක්ටර්ගෙ චිට් එක දුන්න, ඒ රිපෝට් ටික ගන්න මහ බර ගානක් යනවනෙ. අනික ඩොක්ටර්ව චැනල් කරන්නත් එක්ක මහ වියදමක්නෙ”

“ඇයි අතේ සල්ලි තිබු‍ෙණ නැද්ද?” කියල මම අහද්දි උත්තර දුන්නෙ මෙහෙමයි,.

“අප්‍රේල් මාසෙ පඩිය වේලපහින් අරගෙන අවුරුදු කාපුවම, මැයි මාසේ පඩිය ගන්නකන් ආණ්ඩුවෙ පඩි කාරයින්ට වෙන දේ දැන ගන්න, ඔයා ඉතින් කවදාවත්

ආණ්ඩුවෙ රස්සාවක් කරල තියෙන එකක් යැ”. කියල පොඩි හිනාවකුත් දැම්ම.

සල්ලි නැහැ කියල ලෙඩේට බෙහෙත් නොකර හිටියාම හරියනවද කියල අහන්න හිතුනත් මම නිහඬව උන්නා.

“මම අද උදේ ස්පිරිතාලෙ ඇඩ්මිට් වුණා. රිපෝට් ටිකත් ස්පිරිතාලෙන්ම අරගෙන සර්ජන්ට් වාට්ටුවට ආපුවම පෙන්න ගන්න හිතාගෙන”

“ඉතින්”

“වාට්ටුවෙ හිටපු නර්ස්ල දෙතුන් දෙනාම මම අදුරන අය. අර උඩ ගෙදර නංගිත් වැඩ කරන්නෙ ඒ වාට්ටුවෙමයි.”

“උදේ දහයට විතර සර්ජන්ට් මහත්තයා වාට්ටුවට ආව. අනික් ලෙඩ්ඩු බලන අතරේ උඩ ගෙදර නංගි මාව පෙන්නල සර්ජන්ට් මහත්තයට මොනවද කීව. මම

හිතන්නෙ මගෙ රස්සාව ගැන වෙන්න ඇති. මගෙ අල්ලපු ඇඳේ ලෙඩාවත් බැලුවෙ, මම හිතුව ඊඟෙට මාව බලයි කිය‍ල, දුර ඉඳල කණ්ණාඩිය යටින් මා දිහා බලල නලාව කරට දාගෙන හදිස්සියෙන් වගේ වාට්ටුවෙන් පිට වෙලා ගියා.”

“පස්සෙ මම නර්ස් කෙනෙක්ගෙන් ඇහුව ආයිත් සර්ජන්ට් මහත්තයා වාට්ටුවට එනවද” කියල.

“එයා කීවෙ ආයිත් වාට්ටුවට එන්නෙ හෙට, ඇයි ඩොක්ටර්ට චැනල් එකක් දාල පෙන්නල ආවෙ නැත්තෙ කියල”

“එහෙනම්, හවසට චැනල් එකක්වත් දාල පෙන්නමු නේද?” කියල මම ඇහුව.

එතකොට, එයාගෙ කතාව කියන්න පටන් ගත්ත.

“මම එ‍ෙවලෙම ටිකට් කපාගෙන ගෙදර ආව, මට දැන් තියෙන්නෙ තුවලෙ වේදනාව නෙමෙයි”, කියල පොඩ්ඩක් වෙලා නිහඬ වුණා.

“මම රස්සාවට ගිහිල්ල දැන් අවුරුදු තිස් තුනක් වෙනව. අව්ව වැස්ස ගැන හිතල නැහැ. සෙනසුරාදා, ඉරිද කියල වෙනසක් නැතිව වැඩකලා. ඒ අනිත් රස්සාවල් වගේ ඕවර් ටයිම් ගන්න නෙමෙයි. මේ දවස්වල හැම තැනම ඩෙංගු පැතිරිලා. රෑ දවල් නැතිව ගෙවල් ගානෙ ඇවිද්ද ඩෙංගු මර්ධන වැඩ සටහන්වලට. උගුර ලේ රහ

වෙනකම් මිනිස්සුන්ට දේශන තිබ්බ.”

“ පුංචියට හැදුණ තුවාලෙ වැඩිවු­‍ෙණත්, ඒකට විෂ බීජයක් ඇතුළු වෙන්න ඇත්තෙත්, මගෙ දේට වැඩිය මිනිස්සු ගැන හිතන්න ගිය හින්ද වෙන්න ඇති.

“තව මට අවුරුදු දෙක තුනක් රස්සාව කරන්න පුළුවන් ඒත් , මට හිතෙනව මොකටද මේ රස්සාව තවත් කරල කියල”

“සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙ ඉන්න අනික් අයට රස්සාවෙන් අස්වෙලා කරන්න ඕනැ තරම් රස්සාවල් තියෙනව, අඩුම ගානේ ප්‍රයිවට් හොස්පිට්ල් එකකවත් ,ඒත් ,අපි මේකෙන් අස්වෙලා මොනවා කරන්නද” කියල අත දිග ඇරල අනික් පුටුවෙ තිබුණ පත්තර පිටුව අතට ගන්න ගමන්

“රටේම වෙන දේවල්වලට සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නවයි කියන දොස්තරල එකම දෙපාර්තුමේන්තුවෙ කාකි ඇදුම අඳින අපි ගැන සංවේදී වෙන්නෙත්

සල්ලිවලට නම් තව මොන කතාවක්ද” කියල ඇස් කොනක කදුළු පුරවගෙන වේදනාවෙන් දකුණු කකුලෙ තුවාලෙ දිහා බැලුව.

චන්දන ගුණසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.