මාධ්‍යයෙන් ජනතා නිදහස රැකගැනීම | සිළුමිණ

මාධ්‍යයෙන් ජනතා නිදහස රැකගැනීම

 රටක ප්‍රජාතන්ත්‍රවාදය රැඳී පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ මාධ්‍යය යන බලකණු සතර මතය. ඒවායෙන් මාධ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කිරීමේලා සුවිශේෂ වගකීමක් පැවරෙන්නේ එයට අනෙක් ආයතන තුන යහමඟට ගැනීමේ ශක්තියක් ඇති බැවිනි. මාධ්‍ය සතු මේ ශක්තිය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැත හොත් ජනතා නිදහස වෙනුවෙන් නියමාකාරයෙන් භාවිත කිරීම මාධ්‍යයේ වගකීමකි.

2015 ජනවාරි 08 දිනට පෙර ශ්‍රී ලංකාවේ මාධ්‍යයට හා මාධ්‍යකරුවන්ට එල්ල වූ මර්දනයට එරෙහිව එදා පැවති රජයට පැනනැගුණ වි‍‍‍රෝධතා, චෝදනා තවමත් අවසන් නැත. එසේ වුවද යහපාලන රජය යටතේ අද මාධ්‍ය අසීමිත නිදහසක් භුක්ති විඳින බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මේ අසීමිත නිදහස අවභාවිතය පිළිබඳවද විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වන අතර, මාධ්‍යයට ස්වයං වාරණයක අවශ්‍යතාව මෙන්ම ස්වාධීන නියාමනයක අවශ්‍යතාවද ප්‍රකාශ වන්නේ ඒ විවේචනවලට සමගාමීවය. මාධ්‍ය මඟින් අනුගමනය කරනු ලබන ඇතැම් ක්‍රියාමාර්ග නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපැවැත්මට නැත හොත් ජනතා නිදහසට බාධා පැනනැඟී ඇති බව මේ විවේචනවලට පදනම වී ඇත.‍

දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධයකින් භේදභින්න වූ ජාතියක් එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස සහජීවනයෙන් හා සමඟියෙන් ජීවත් වන පරසරයක් ගොඩනැඟීමට ප්‍රයත්න දරන සමයක මාධ්‍යය මඟින් ජනතාව පක්ෂ වශයෙන් පමණක් නොව, ජාති-ආගම් වශයෙන්ද තවදුරටත් භේදභින්න වීමට හේතු වන ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව මාධ්‍යයට එල්ල වන ප්‍රධාන චෝදනාවකි. ඇතැම් සංවාදශීලී වැඩසටහන් මෙන්ම මාධ්‍ය මඟින් voice cut ප්‍රචාරයද ඊට නිදසුන් ලෙස විචාරකයෝ පෙන්වා දෙති. මේ වැඩසටහන්වලදී බොහෝ දේශපාලකයන් ප්‍රකාශ කරන්නේ වැදගත් කරුණු නොව ඕපාදූප, බොළඳ පිළිතුරු, දෙපිට කැපෙන අසභ්‍ය වදන් බව පෙන්වා දෙති. මාධ්‍යයේ මේ ක්‍රියාමාර්ගය ජනතාවගේ දේශපාලන ඥානය මොට කරනසුලු මෙන්ම ජනතාවට දේශපාලනයද දේශපාලකයන්ද එපා කරවීමට හේතු වී තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්මට බෙහෙවින් හානිදායකය.

තැන නොතැන නොබලා දේශපාලකයන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමේ මේ අවිචාරවත් මාධ්‍ය මෙහෙයුම ජනතාවගේ ආගමික නිදහසටද බලවත් තර්ජනයක් එල්ල කරන බව විචාරකයෝ පවසති.

රජය, දේශපාලන පක්ෂ හා විවිධ මහජන සංවිධාන මඟින් පවත්වනු ලබන මාධ්‍ය හමුවලදී ඇතැම් මාධ්‍යවේදීන්ගේ අවිචාරවත් හැසිරීමද විචාරකයන්ගේ විවේචනවලට ලක් වී තිබේ. මාධ්‍ය හමුවේ කරුණු දක්වන මාතෘකාව හෝ විෂයට අදාළව ප්‍රශ්න නගනු වෙනුවට එයට කිසි සේත් අදාළ නොවන ප්‍රශ්න අසමින් මාධ්‍ය සාකච්ඡාව අවුල් කිරීමට ඇතැම් මාධ්‍යවේදීන් උත්සාහ දරන බවත්, සමහර මාධ්‍යවේදීන් ආවේගශීලීව උස් හඬින් ප්‍රශ්න නගමින් තමන්ට ඕනෑ පිළිතුර ලබාගැනීමට වැර දරන බවත් පෙන්වා දෙති. මෙවැනි අවස්ථාවලදී මාධ්‍ය හමු අතරමඟ නවතා දමන්නට සිදු වූ බවද දක්නට ලැබිණි. මේ තත්ත්වය ජනතාවට නිවැරැදිව හා අපක්ෂපාතීව තොරතුරු දැනගැනීමට ඇති අවස්ථා වැළැක්වීමක් වන බැවින් එය ජනතා නිදහසට හානිකරය.

පුවත්පත් කීපයක් මිල දී ගෙන තොරතුරු දැනගැනීමට තරම් හැකියාවක් ‍බොහෝ දෙ‍නකුට නැති නිසා සෑම විද්යුත් නාළිකාවක්ම වාගේ එදිනෙදා පාන්දරම පත්තරවල පළ වන තොරතුරු ජනතාවට අසා දැකගැනීමට අවස්ථාව උදා කර දී තිබීම කාගේත් ප්‍රශංසාව හිමි වූ පියවරකි. එහෙත් පොල්ගෙඩි අකුරින් තිබෙන ප්‍රධාන මාතෘකාව තිබියදී මාධ්‍යෙව්දියා තෝරාගන්නේ ඔහුට ඕනෑ තොරතුරුයි. ඔහු ඒ තොරතුරු ඉදිරිපත් කරන්නට පෙර පූර්විකාවක් කියයි; ඉන් පසුව තමන්ගේ විශේෂඥතාව හෙළි කරන විවරණයක් දෙයි. ප්‍රවෘත්ති අසා දැන ඒ පිළිබඳව අපක්ෂපාතීව නිවැරැදිව හා නිදහස්ව තීරණයකට ඒමට ප්‍රේක්ෂකයාට තිබිය යුතු නිදහස මාධ්‍යවේදියාගේ ඒ අවිචාරවත් ක්‍රියා කලාපය විසින් උදුරාගෙන ප්‍රේක්ෂකයා වහලකු බවට පත් කරන බව විවේචකයන්ගේ මතයයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා රැසක් බිහි වී තිබීම ප්‍රජාතන්ත්‍රවාදී යහපත් ප්‍රවණතාවකි. ප්‍රේක්ෂකයාට තමන් කැමති වැඩසටහන් තෝරාබේරාගෙන නරඹන්නට හා සවන් දෙන්න හැකියාවක් ලැබී තිබේ. මේ ප්‍රේක්ෂක ජනතාව තම නාළිකාවේ වැඩසටහන්වලට ඇදගැනීමේ තරගයක විද්යුත් මාධ්‍ය නියැළී සිටී. මෙවැනි වාතාවරණයක් යටතේ ප්‍රේක්ෂක ජනතාව තම නාළිකා‍වේ වැඩසටහන්වලට ඇදගැනීම සඳහා මාධ්‍ය විසින් කළ යුතු වන්නේ වඩාත් නව්‍ය ගුණාත්මක හා රසාඥතාවෙන් උසස් මට්ටමේ වැඩසටහන් ප්‍රචාරය කිරීමයි. එහෙත් ඒ වෙනුවට සමහර නාළිකා හන්දි ගානේ නිවෙස් ගානේ යමින් ජනතාවට මුදල් දෙයි. සමහර නාළිකා රාත්‍රි කාලයේ පැය ගණන් ප්‍රචාරය කරන ටෙලිනාට්‍ය නැරඹීමට ප්‍රේක්ෂකයන් පොලඹවාගන්නේ තෑගි පිරිනැමීමෙනි. මේ අල්ලස් දී අගහිඟකම්වලින් පෙළෙන ජනතාව තම නාළිකාවේ වැඩසටහන් ශ්‍රවණය හා නැරඹීමට පොලඹවාගැනීම මඟින් සිදු කරන්නේ ජනතාවගේ බුද්ධිය, රසඥතාව මොට කරන බරපතළ අපරාධයකි.

මෙහිදී පැහැදිලි කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍යවල ක්‍රියාකාරිත්වය පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන විවේචන කිහිපයකි. එසේම එම ක්‍රියාමාර්ග නිසා ජනතා නිදහසට නොයෙක් අයුරින් බාධා පැනනැඟී ඇති ආකාරයද එම විචාරයන්ගෙන් පැහැදිලි වේ. ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක අවශ්‍යතාව මතු කරන මේ වකවානුවේ ඉහත කී විවේචන පිළිබඳ මාධ්‍ය තම අවධානය යොමු කර, මාධ්‍ය විසින්ම ගොඩනගාගන්නා ස්වයං වාරණයක් නැත හොත් සුදුසු ආචාරධර්ම පද්ධතියක් මඟින් නිවැරදි මාධ්‍ය සංස්කෘතිකයක් පවත්වාගැනීම මාධ්‍යයන්හිදී සහ මාධ්‍යවේදීන්ගේ නිදහසටත් යහ පැවැත්මටත් හේතු වන වැදගත් පියවරක් වනු ඇත.

ආර්. එම්. මුදලිගේ - හෝකන්දර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.