රටට ගෞරවය හා අභිමානය ගෙනා ජගත් වෙසක් දින උලෙළ

 ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ආරාධනයක් අනුව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු 14 වැනි අන්තර්ජාතික වෙසක් උලෙළට සහභාගි වීමට පැමිණීම දේශපාලනිකව උණුසුම් සිද්ධියක් වී තිබිණි. ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණ අන්තර්ජාතික වෙසක් උලෙළට සහභාගි වීම ඉන්දියාවේ හින්දු මක්කල් පක්ෂයේද විරෝධයට හේතු වූවකි. ශ්‍රී ලංකාවේද ඉන්දීය විරෝධය දේශපාලන විලාසිතාවක් බවට පත් කරගත් පිරිසක්, අගමැති මෝදිගේ සංචාරයට එරෙහි වූවා පමණක් නොව, ඒ පිළිබඳ අභූත මුසාවාද ගොන්නක්ද පතුරුවා හැර තිබිණි. අගමැති මෝදි මේ සියල්ල නොදැන සිටි බවක් සිතිය නොහැකිය. එහෙත් විරෝධතා කිසිවක් තඹයකට මායිම් නොකළ අගමැති මෝදි මෙරටට පැමිණ, ඒ සියලු කටයුතුවලටද දායකත්වය දුනි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අපේ කලාපයේ බලවත් රාජ්‍ය තාන්ත්‍රිකයා පිළිගත් ආකාරයත්, ඔහු සමග සංස්කෘතික හා මිතුරු සබඳතා අලුත් කරගත් ආකාරයත් ප්‍රශංසනීය විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා උණුසුම් අයුරින් ඉන්දීය අගමැතිවරයා පිළිගත් අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්ද පවත්වා තිබිණි.‍

අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ මෑත ඉතිහාසය විචිත්‍රවත් කළ ජනප්‍රිය නායකයකු පමණක් නොව, ඉන්දියාව පෙරදිග සංස්කෘතියේ සාරභූමියක් කළ යුතුය යන සමාජ දැක්මෙන්ද පිරිපුන් නායකයෙකි. ජාතිවාදීන් හා අන්තවාදීන් විසින් ඉන්දියාවට කරන ලද විනාශය පිළිබඳ ඉතිහාසයෙන් පාඩම් උගත් අගමැති මෝදි මේ කලාපය තුළ සහයෝගයෙන් ක්‍රියා කිරීමේ දේශපාලන අගය වටාගත් නායකයෙක්ද වේ.

ඉන්දියාව විසින් නොබෝදා ගුවන්ගත කරන ලද දකුණු ආසියානු සන්නිවේදන චන්ද්‍රිකාව සාක් කලාපීය රටවල යහපත සඳහා වූවක් බවද අගමැති මෝදි පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. පාකිස්තානය හැර කලාපීය රටවල එයට ප්‍රසාදය පළ කළ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එයට සිය සුබපැතුම් එක් කර තිබිණි.

ඉන්දියාවේ විශිෂ්ටතම අධිරාජයකු ලෙස ලෝක ඉතිහාසයට එක්ව සිටින අශෝක හෙවත් ධර්මාශෝක ශ්‍රී ලංකාවට දුන් විශිෂ්ටතම දායාදය බුදුදහම බව ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකික ඉතිහාසඥයෝ හා සමාජ විද්‍යාඥයෝද තහවුරු කරති. ක්‍රිපූ 3 වන සියවසේ මෙරටේ ඇරඹුණු සමාජ සංස්කෘතික බලශක්තිය හා පදනම වූයේ බුදු දහම හා බෞද්ධ සංස්කෘතියයි.

ඉන්දියාවේ නූතන ඉතිහාසඥයකු ලෙස ගෞරවයට පාත්‍ර වූ රොමිලා තාපර් අශෝක අධිරාජයා හා බුදුදහම අතර වූ ආකර්ෂණය හා සබඳතාව සිය පර්යේෂණ මඟින් තහවුරු කර තිබේ. ඉන්දියාවේ කුල පීඩනයට එරෙහිව බුදුන් වහන්සේ විසින් සමාජගත කරන ලද ධර්මය ඉන්දියාවට බලපෑ ආකාරය ආචාර්ය අම්බෙක්කාර් පඬිවරයා පසක් කරගෙන තිබිණි. බුදුදහම හින්දු දහමට වඩා වෙනස් සාරධර්ම හා සංකල්පවලින් යුතු වුවද හින්දූන් සමඟ ගැටුමකට මැදි නොවීය. එය බ්‍රාහ්මණ ධර්මය නොපිළිගත් මානව නිදහස හා සමාජ සාධාරණත්වය මත පදනම් වූ ධර්මයක්ද විය. අශෝක මේ ධර්ම පිළිවෙත ව්‍යාප්ත කිරීමට කැප වූවෙකි.

මේ අනුව අශෝක හින්දු සමය මෙන්ම බුදු සමයද අනුව සිය රාජ්‍ය ප්‍රතිපත්ති ගොඩනඟාගත් බව ඉතිහාසඥයන්ගේ අදහසයි. අශෝක විසින් එදා පනවන ලද ආඥාවක් වූයේ බිලි පූජා සඳහා සතුන් ඝාතනය‍ නොකළ යුතු බවය. එබඳු පූජා ප්‍රාථමික හා නොදියුණු සංස්කෘතික ලකුණු බවද ඔහුගේ අදහස විය.

බෞද්ධ ධර්මය සදාචාර සම්මුතීන් හා මානව නිදහස පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළත් ඉන්දියාව බුදදහම අත්හැර හින්දු දහම වෙත ඇදගැනීම සඳහා නොයෙක් ව්‍යාපාර දියත් වූ බවද පිළිගනු ලැබේ. ඉන්දියාවේ කීර්තිමත් විද්වතකු ද ජනාධිපතිවරයකුද වූ සර්වපිල්ලෙයි රාධක්‍රිෂ්ණන් මහතාද බුදුදහම එරටින් ඈත් වූ ආකාරය සඳහන් කර තිබේ. එහෙත් ලාංකික සමාජය තුළ එය දැඩිව මුල් බැසගෙන ජන ජීවිතයෙහි අංගයක් බවටද පත් විය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ සියලු කාරණ හොඳින් දන්නා රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ශ්‍රී ලංකාවට තිබෙන ගෞරවය ප්‍රකාශ කිරීමක් ලෙසද මේ අන්තර්ජාතික වෙසක් උලෙළට එක් වීම හැඳින්විය හැකිය. බුදුදහම ලෝක දායාදයක් වනු දැකීමට මේ හින්දු රාජ්‍ය නායකයා අවංකවම තම සුබපැතුම් එක් කරන්නේද ඒ පසුබිමේය. ඉන්දියාවේ ඉතිහාසය මෙන්ම ලංකාවේ ඉතිහාසය දන්නා අගමැති මෝදි සුහද මිතුරකු ලෙස පිළිගැනීමට ඒ ඓතිහාසික බැඳීම් හොඳින් දන්නා මෛත්‍රී ජනපතිට හා රනිල් අගමැතිටද බාධාවක් නොවීය.

අද මේ රටේ පවතින දේශපාලන පරිහානිය හා දේශපාලන සදාචාරය නොහඳුනන අවස්ථාවාදීන්ට ඉන්දීය අගමැති මෝදිගේ සංචාරය ඉහිලුම් නොදෙන දෙයක් වීම පුදුමයක්ද නොවේ. අනුරාධපුර, පොලොන්නරු ශිෂ්ටාචාරයේ සාධනීය ලකුණු නූතන දේශපාලනය සමඟ මුසු කිරීමේ අපේක්ෂාවෙන් සිටින මෛත්‍රීපාල සිරිසේන වැනි රාජ්‍ය නායකයකුට දේශපාලන අවලාද නඟන බොහෝ දෙනකු සිංහල බෞද්ධ සංස්කෘතියේ හරය නොහඳුනන විකටයන් බවද පෙනේ.

බුදුදහමෙන් පෝෂණය වූ සංස්කෘතිය සමඟ මුල්බැසගත් වටිනාකම් පද්ධතියක් අපට තිබිණි. එහෙත් ආක්‍රමණිකයන් හා යටත්විජිතවාදි පාලකයන් විසින් ශ්‍රී ලාංකික සමාජයට ආරෝපණය කරන ලද වටිනාකම් පද්ධතිය අපගේ හර පද්ධතිය සමඟ ගැටෙන බව පැහැදිලිය. අද අප මුහුණදී සිටින ව්‍යවස්ථා අර්බුදය විසඳාගැනීමට බාධාවක් වී ඇත්තේද බෞද්ධ සංස්කෘතික හර පද්ධතියට සමහරුන් තුළ තිබෙන විරෝධය විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව බන්ධුත්වය යනු නීතිය හා බලය යොදා තහවුරු කළ හැකි දෙයක් නොව, ගැඹුරු ආධ්‍යාත්මික එකඟතාවක ප්‍රතිඵලයක් බවද අප තේරුම්ගත යුතුය.

බුදුන් වහන්සේගේ සමාජ පදනම වසල සූත්‍රයෙන් හා අග්ගඤ්ඤ සූත්‍රයෙන් මෙන්ම කාලාම සූත්‍රයෙන්ද පැහැදිලි වේ. දේශපාලනයේදී ජාතිවාදය හා ආගම්වාදය අවියක් ලෙස යොදාගැනීමට මේ සූත්‍ර මතුපිටින් වත් කියවා තිබෙන කිසිවකුට නොහැකි බව පැහැදිලිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලද ජනවරමින් කියැවෙන්නේද මේ පටු භේදවලට අවකාශ නොදිය යුතු බවයි.

බුදුන් උපන් දේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා විවිධ ආගම්, විවිධ භාෂා හා ජනවර්ගද සහිත රටක පාලනය භාරව සිටින රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම සරල චාම් නායකයෙක්ද වේ. ඉන්දියාව දූෂණයෙන් තොර රටක් බවට පත් කිරීමට මෙන්ම ඉන්දියාවේ දේශපාලන ප්‍රභූ සංකල්පය දුරලීමටද අගමැති මෝදි මහතාට වුවමනා වී තිබේ. ඇමතිවරුන්ගේ නිල රථවල තිබෙන විශේෂිත විදුලිබල පද්ධතිය ඉවත් කර ඔවුන්ද සාමාන්‍ය මහජනයා ලෙස ජනතාවට හැ‍ඟෙන පරිදි ක්‍රියා කළ යුතු බවද අගමැති මෝදි ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාද තමන් රජෙකු නොව පළමු මහජන සේවකයා ලෙස හැඳින්වීමටත් ව්‍යාජ සාටෝපවලින් දුරු වන ලෙස සිය ඇමතිවරුන්ට උපදෙස් දීමටත් පසුබට නොවීය. එහෙත් මේ 'ප්‍රභූ උණ' වැලඳුණු දේශපාලන රෝගීහුද අපට අඩුවක් නැතිව සිටිති.

මෛත්‍රී- රනිල් සම්මුති ආණ්ඩුව හැම දෙයක්ම කරන්නේද මේ වර්ගයේ දේශපාලන ආතුරයන්ද නඩත්තු කරමිනි. අනෙක් පැත්තෙන් ආණ්ඩු විරෝධී හා ජාතිවාදී ගිනි පුපුරු දැල්වීමට ඉඩ නොදෙමිනි. දේශපාලන බලය සඳහා රට පාවා දෙන බවට හා මේ රට චීන කොලනියක් බවට පත් කිරීමට යන බවට ගද්‍රභ ඝෝෂා නඟන අය රට පාලනය කරද්දී අනුගමනය කළ පිළිවෙත කුමක්දැයි ඇසිය යුත්තේ ඒ පාලකයන්ගේ හෘදයසාක්ෂියෙනි. තෙල් සංචිත අඩංගු මන්නාරමෙන් ඉන්දියාවට තෑගි දෙන විට ඉන්දියාව හොඳය. පෝට් සිටිය චීනයට දෙන විට චීනයත් හොඳය. එහෙත් අද මේ ඉන්දු-චීන සබඳතා ඇදය.

ඉන්දියාවේ සංචාරක ආකර්ෂණයේ එක් සම්පතක් වී තිබෙන්නේද බෞද්ධ පුරාවස්තු හා බුදුන් වහන්සේ වැඩවිසූ භූමි ප්‍රදේශයන්ය. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් 'දඹදිව වන්දනාව' ලෙස හඳුන්වන ඒ සංචාරක ගමන සඳහා වැය කරන මුදලද ඉන්දියාවට හොඳ ආදායමකි. එසේම ශ්‍රී ලංකාවේ තිබෙන්නේද ඒ බෞද්ධ උරුමය හා බැඳුණු සාඩම්බර මතක සටහන්ය. ලෝකයම විස්මයට පත් කළ වාරි තාක්ෂණය මෙන්ම බෞද්ධ ප්‍රතිමා හා කලා ශිල්පද ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ජාතික උරුමයන්ය. අනුරාධපුර මහමෙවුනා උයනට යන කවර ජාතිකයකුට වුවද ඇති වන මානසික සුවය කෙබඳුද? ඉන්දියාවේ විශිෂ්ට නායකයකු වූ ශ්‍රී නේරු අපේ සමාධි පිළිමය දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටි ආකාරය කවුරුත් දනිති.

ඉන්දියාවත් අපත් සියවස් ගණනක් මුළුල්ලේ ආ සංස්කෘතික හා ශිෂ්ටාචාර ගමන නොනවත්වා නොබිඳ යා යුතු බව මෛත්‍රී ජනාධිපති මෙන්ම මෝදි අගමැතිවරයාද ඉඳුරා දනී. අශෝක අධිරාජයාගේ සදහම් මඟ ඔස්සේ ඉන්දියාව යා යුතු බවද මෝදි අගමැතිවරයා වටහාගෙන සිටියි. ඔහු අන්තර්ජාතික වෙසක් උලෙළට පැමිණියේ එබඳු දැනුවත්භාවයකින්ද යුතුවය. දකුණු ආසියාව තුළ සුහදතාව හා සංහිඳියාව ගොඩනැගීම සඳහා බුදු දහමෙන් ලද හැකි ආභාසය ගැනද අගමැති මෝදි ඉඳුරා දනී.

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අගමැති මෝදි සිය නිල ෆේස් බුක් පිටුවෙහි සඳහන් කර තිබුණේ, වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවේ දෙවන වරට සංචාරය කිරීමට ලැබීම තම භාග්‍යයක් බවත්, මේ සංචාරයේදී අන්තර්ජාතික වෙසක් උලෙළට සහභාගි වීමට ලැබෙන අවස්ථාව හා අන්තර්ජාතික විද්වතුන් හා ආගමික නායකයන් හමු වීමද අසිරිමත් අත්දැකීමක් බවත්ය. මේවා හදවතින් ප්‍රකාශ වන අව්‍යාජ අදහස් මිස ව්‍යාජ ප්‍රශස්ති නොවන බව සුපැහැදිලිය. පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ලෝක බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වන අනුරාධපුරයේ කළ සංචාරය ගැනද අගමැති මෝදි සිහිපත් කර තිබිණි. ‍

කෙසේ හෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සුවිශේෂ සහභාගිත්වයෙන් යුතු ලෝක රාජ්‍ය නියෝජිතයන් හා විද්වතුන් සමූහයකින්ද ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍ය ආගමික පූජකයන් වහන්සේලාගෙන්ද ප්‍රභාවත් වූ අන්තර්ජාතික වෙසක් උලෙළේ සාර්ථකත්වය පිළිබඳ අපට ආඩම්බර විය හැකිය. කහ පැහැයෙන් බැබළුණු ඇසළ මල් ගොමුවක් සේ දිස් වූ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව 'මෝදි භීතිකාවෙන්' පීඩිත වූවන්ට ප්‍රබල පිළිතුරක් වූ බවද නිසැකය. මේ සමුළුවට රැස් වූ සියල්ලෝම බුදු දහමත්, ඉන් සංකේතවත් වූ මානව හිතවාදි සාරධර්ම පද්ධතියත් අගයන්නෝය. ගිනි ගත් ලොව සදහම් සිසිලෙන් නිවා ලීම ඒ සියල්ලන්ගේම ආධ්‍යාත්මික අපේක්ෂාව විය. භාරතයේ උපත ලද ලෝකයට අගපත් මහාදාර්ශනිකයාණන් මෙන්ම මිනිස් දුක්වේදනාවන්ට සනාතන ඔසු සොයා දුන් මුනිවරයාණන්ද වූ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මෙහිදී සිහිපත් කරනු ලැබිණි. අවිද්‍යාවෙන් විද්‍යාවටද අසත්‍යයෙන් සත්‍යයටද යන මාර්ගය ලොවට හෙළි කළ බුදුන් වහන්සේගේ ධර්මය ලෝක යහපත සඳහා යොදාගත යුතුය යන උතුම් පණිවිඩයද මේ ජගත් වෙසත් සමුළුවෙන් ලබාදීමට හැකි විය. බලය, ධනය උදෙසා ඇදී යන ලෝකයක එයින් මිදී ජිවිත සාර්ථක කර ගන්නා ආධයාත්මික දර්ශනයක ශාන්ත සුවය බුදුදහමෙන් ලද හැකි බවද සමුළුව ඇමතූ විද්වත් රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් අවධාරණය විය.

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේද ආසියාවේ ආලෝකය වූ බුදුදහම අද ලෝකයම නිවා සුවපත් කරවන පොදු ආධ්‍යාත්මික දහම බවට පත් වෙමින් තිබෙන බවයි. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ආරාධනය අනුව පැමිණි ඉන්දීය අගමැති මෝදි මහතාට පැලඳවූ ප්‍රශංසනාත්මක වචන නමැති මල්දමට අමුණා තිබුණේ අශෝක යුගයේ සිට අනුරාධපුරයෙන් ඇරඹුණු බෞද්ධ හා සංස්කෘතික උරුමයේ සාඩම්බර මතක සටහන්ය. ඉන්දීය අගමැතිවරයා ඒ ආගමික සංස්කෘතික පණිවිඩය මෙරට යළිත් රැගෙන සිටින විශිෂ්ට පුරුෂයකු රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙසද මෛත්‍රී ජනාධිපතිවරයා සඳහන් කළේය. අන්තර්ජාතික වෙසක් උලෙළ විචිත්‍රවත් කිරීමට පැමිණි මෝදි අගමැතිවරයා ප්‍රමුඛ රාජ්‍ය දූත පිරිසටද ජනාධිපතිවරයාගේ ගෞරවය පුද කෙරිණි.

අන්තර්ජාතික වෙසක් උලෙළේ සුවිශේෂ ආරාධිත නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සඳහන් කළේ, බුදුන් වහන්සේගේ අමිල සදහම් පඬුර ලෝකයට ලබාදීමේ භාග්‍යය මේ කලාපයට හිමිව තිබෙන බවයි. බුදුදහමේ දිව්‍යමය සුගන්ධය ඉන්දියාවේ සිට ලෝකයටම ඇදී යන බවද ඔහු ප්‍රකාශ කළේ අභිමානයෙන් යුතුවය. ශ්‍රී ලංකාවට එම පණිවිඩය දුන් අශෝක රජුගේ පුත් මහින්ද හිමියන් මෙන්ම එහි සාධනීය භූමිකාවක් ඉටු කළ දියණිය වූ සංඝමිත්තා තෙරණියද තමන්ගේ මතකයට නැ‍ෙඟන බවද ඔහු කියා සිටියේය. 'සබ්බදානං ධම්මදානං ජිනාති' යන බුද්ධභාෂිතය අනුව අපට ලෝකයට දිය හැකි උතුම් ධනය එම දහම බවද ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව එම ධර්ම කේන්ද්‍රය ලෙස තම ගෞරවයට හේතු වී තිබෙන බවද අගමැති මෝදි අවධාරණය කළේය.

මේ නිසා ජගත් වෙසක් දින උලෙළ නිම වූයේ, ශ්‍රී ලංකාවට අභිමානයක් හා ගෞරවයක් එක් කරමිනි. බෙදී වෙන් වී යන ගෝත්‍රික මනසින් යුතු ස්වල්ප දෙනකු හැර සෙසු ජනතාවගෙන් බහුතරය මෙම විශිෂ්ට අවස්ථාව සිහිපත් කරන්නේ පහන් සංවේගයෙන් බවද නිසැකය. ඉන්දීය අගමැති මෝදිත් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රී ප්‍රමුඛ රජයත් එදා බුදුන් වහන්සේ ලොවට දුන් ආධ්‍යාත්මික ශාන්තියේ පණිවිඩය සිහිපත් කරද්දී එදෙස නොබලා, එයට ආක්‍රෝශ පරිභව කරන පව්කාරයන්ට ගල් ගැසීමට අපට වුවමනා නැත. අප ඔවුන්ට සිහිපත් කර දෙන්නේ 'ඉඳ ඉඳ එක වෙහෙර, විඳ විඳ දහම් මනහර, සිඳ බිඳ දුක් සසර, අහෝ දෙව්දත් නොදුටි මොක් පුර' යන ගුත්තිල කවියාගේ සුභාෂිතයයි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.