රණවිරුවන් සැමරීම සියලු ජාතීන්ගේ අභිමානය රැකීමකි | සිළුමිණ

රණවිරුවන් සැමරීම සියලු ජාතීන්ගේ අභිමානය රැකීමකි

 කොළඹ කොටුව දුම්රිය පොළට මා කඩිනමින් පැමිණියේ දුම්රිය පිටත්වීමට තිබුණේ ඉතා සුළු වේලාවක් වූ බැවිනි. මා නෙත ගැටුණේ මා හොඳින් දන්නා අඳුනන මිතුරෙකු දෙසය. ඔහු දුම්රිය පාපුවරුව අසලට වී දුම්රියේ ඉදිරිය දෙස බලා ගෙන සිටියේය. කර උස්සා බැලූ මා දුටුවේ ඔහුගේ භාර්යාව ඉදිරියට ගමන් කර දුම්රියට ගොඩ වූ ආකාරයයි. මා දුටු මිතුරා මා සමඟම අප අසල තිබූ දුම්රිය මැදිරියට ගොඩ විය

‘වයිෆ් නේද ඉස්සරහ පෙට්ටියට නැග්ගේ?‘

‘ඔව්‘

‘ඒ මොකද එයා වෙනම ගියේ?‘

‘අද රටේ තියෙන තත්ත්වය දන්නවනේ, හදිසියේ කෝච්චියේ බෝම්බයක් පිපුරුණොත් දෙන්න පෙට්ටි දෙකක ගියොත් අඩුම ගානේඑක්කෙනක් හරි දරුවන්ට ඉඳියි‘

ඒ මීට වසර 10කට පමණ පෙර මා මුහුණ දුන් අත්දැකීමකි. ඇත්තෙන්ම රටේ ජනතාවගේ මනස එදා තිබුණේ එවන් සංකල්පයකය. බෝම්බයෙන් අනුකම්පාවක් නැති බව දැන සිටි අය එවන් ක්‍රමවේදයන් සොයා ගත්හ. උදේ වැඩට ගොස් හවසට එන්නට ලැබේදෝ යන සැකය සැම දෙනාගේ සිත් තුළම විය. අයිතිකරුවකු නොමැති පාර්සෙලයක් දුටු සැණින් තැති ගත් උදවිය හිස් ලූ ලූ අත දිව ගොස් තුවාල පවා සිදු කර ගත්තේ බෝම්බයට ඇති බිය නිසාය.

මේ අපේ රටේ වසර 25ක් පමණ ජනතාව දිවි ගෙවූ ආකාරයයි. උතුරු නැඟෙනහිර වෙනම රාජ්‍යයක් ඉල්ලමින් සටන් වැදුණු ත්‍රස්තවාදීහු රටේ ආර්ථිකය අඩ පණ කළහ. ජනතාව ඝාතනය කළහ. මේ හරහා ඔවුන් සෙවූ විමුක්තිය කුමක්දැයි යන්න තේරුම් ගත නොහැකිය.

ඔවුන්ගේ ප්‍රහාරයන්ට අසු වූයේ සිංහල ජාතිකයන් පමණක් නොවේ. දෙමළ මුස්ලිම් ජනතාවද මේ ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක බවට පත් විය.

1975 වසරේ ජූලි මස 25 වැනිදා එවකට යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා මහතා ඝාතනයෙන් ආරම්භ කළ ත්‍රස්තවාදීන්ගේ මේ ම්ලේච්ඡ මිනිස් ඝාතන ලෝකයම පිළිකුල් කරන්නට විය. එසේ වුවත් ජනතා රුධිරය හරහා තමන් පමණක් ජීවත් විය යුතුයි යන සංකල්පය මත කටයුතු කළ ත්‍රස්තවාදීන් සිදු කෙළේ තම අභිමතය පරිදි කටයුතු කිරීම පමණකි.

මේ තත්ත්වය නිසා අසරණ බවට පත් වූයේ සිංහල ජනතාව පමණක් නොවේ. දෙමළ මුස්ලිම් ජනතාවත් දැඩි බියෙන් සැකෙන් යුතු දිවියකට හුරු විය.

තමන්ගේ අභිමතය පරිදි පිහිටුවා ගන්නට යන ‘වෙනම රාජ්‍යය‘ යන සංකල්පයට එකඟ නොවන ඕනෑම අයෙකු ඝාතනය කරන්නට තරම් ත්‍රස්තවාදීහු කුරිරු වූහ. ප්ලොට් සංවිධානයේ නායක උමා මහේශ්වරන් ඝාතනය කරන ලද්දේ වැල්ලවත්තේදීය. සියලු ජාතීන් සමඟිව එක්ම දිවි ගෙවිය යුතුයි යන සංකල්පය මත සිටි හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ඝාතනය කෙළේද ත්‍රස්තවාදීන් විසින් කලින් කළ සැලසුමකට අනුවය. එසේම ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනයකටද කළුතර බන්ධනාගාරයේදී සැලසුමක් තිබුණු බව අනාවරණය වූයේ ඒ මහතා බන්ධනාගාරයේ එල්ටීටීඊ රැදවියන් බැලීමට ගිය අවස්ථාවකදී කළ පහර දීම් හා ඒ මහතා ඝාතනයට උත්සාහ කළ අවස්ථාවේදීය. එපමණක් නොවේ. සාමාන්‍ය දෙමළ සිවිල් ජනතාව ප්‍රවාහනය කළ ලයන් එයාර් යානයට ප්‍රහාරයක් එල්ල කර එහි ගමන් ගත් සාමාන්‍ය සිවිල් දෙමළ ජාතිකයන් සියලු දෙනාම ඝාතනය කරන්නට තරම් මේ ත්‍රස්තවාදීහූ කුරිරු වූහ. මේ අනුව දෙමළ ජාතික නායකයන් සහ සාමාන්‍ය දෙමළ ජනතාව පවා ඝාතනය කරමින් තමන් පමණක් රජ වීමේ සංකල්පයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අනුගමනය කළ බව පැහැදිලිය.

කාන්තාන්කුඩි මුස්ලිම් දේවස්ථානයක යාඥා කරමින් සිටි මුසිලිම් ජාතික භක්තිකයන් 108 දෙනකු ත්‍රස්තවාදීන් විසින් දිගට හරහට පල්ලියට වෙඩි තබමින් ඝාතනය කරන ලද්දේද මේ ම්ලේච්ඡත්වයේ තවත් අවස්ථාවක් පෙන්නුම් කරමිනි. මීට අමතරව පල්ලිය ගොඩැල්ල, පොලොන්නරුවේ පුදුර් - මුස්ලිම්ගම මෙන්ම මන්නාරමේ නානාට්ටාන් ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට ත්‍රස්තවාදීන් පහර දුන්නේ වරක් දෙවරක් නොවේ.

සාමාන්‍ය සිංහල ජනතාව ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද ඝාතන මෙන්ම බෝම්බ ප්‍රහාරද සංඛ්‍යාත්මකව අති විශාලය.

පිටකොටුවේ බෝම්බයත්, මරදානේ බෝම්බයත් ඒ අතර මුල් තැනක් ගනී. ඊට අමතරව රටේ තවත් ස්ථාන රැසක සිදු වූ බෝම්බ පිපිරීම් මෙන්ම බස් රථවල හා දුම්රියවල පුපුරවන ලද බෝම්බ සංඛ්‍යාවද සුළු පටු නොවේ. මේ අතුරින් යාල්දේවි දුම්රිය කොකාවිල්හිදී පුපුරවා හැරීම මෙන්ම තවත් අවස්ථාවකදී එහි බෝම්බ අටවා වේයන්ගොඩදී දුම්රිය මැදිරියක් පුපුරුවාහැරීම සිදුවීම් දෙකක් පමණකි.

එසේම කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය මෙන්ම කන්තලේ සේරුවිල මාර්ගයේ සේරුවිල සිටි කොළඹ බලා පැමිණි අංගොඩ ඩිපෝවේ බස් රථයක් ඉලක්ක කර බිම් බෝම්බයක් තැබීම නිසා මඟීන් 50කට ආසන්න සංඛ්‍යාවකට දිවි අහිමි විය.

මීට අමතරව සිදු කරන ලද බෝම්බ පිපිරවීම් සංඛ්‍යාව අති විශාලය. මේ සියල්ලෙන්ම සිදු වූයේ ජනාතාව දැඩි අසීරුතාවන්ට පත් වීම මෙන්ම ජනතාවට තම ඥාතීන් අහිමි වීමය.

 

රටේ ආර්ථිකයට ඔවුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරද සුළු පටු නොවේ. එයින් මුල් තැනක් ගෙන සැලකිය හැකි ස්ථාන දෙකක් වන්නේ මහ බැංකුවට එල්ල කරන ලද ප්‍රහාරය සහ කටුනායක ගුවන් තොටුපළට එල්ල කරන ලද ප්‍රහාරයයි. මීට අමතරව කොලොන්නාව හා ඔරුගොඩවත්ත තෙල් ටැංකි සංකීර්ණ ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයන් නිසා මෙරට ආර්ථිකයට දැඩි ලෙසින් කඩා වැටෙන්නට විය. ජාතික ආරක්ෂක බද්දක් ජනතාව පිට වැටුණේ මේ තත්ත්වය නිසාය.

කන්තලේ වැව් බැම්ම පුපුරා හැරීම නිසා අසීරුතාවට පත් වූයේ ද සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජනතාවන්ය.

සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් සේ සලකන දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිඟාවට එල්ල කරන ලද ප්‍රහාරය සහ ශ්‍රී මහා බෝධින් වහනසේ අභියස සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට වෙඩි ප්‍රහාර එල්ල කරමින් ඔවුන් ඝාතනය කිරීම මඟින් ත්‍රස්තවාදීන් පෙන්නුම් කෙළේ ඔවුන්ගේ ම්ලේච්ඡත්වය බව අමුතු වෙන් පෙන්වා දිය යුතු නොවේ.

සිංහල ජනතාව පදිංචිව සිටි ගම්මාන වෙත රාත්‍රියේ ගොස් ඔවුන් කපා කොටා මරා දැමීමේ තිරස්චීන ක්‍රියාදාමයක්ද ඔවුන් විසින් ආරම්භ කරන ලදී. මේ අතුරින් අම්පාර ගෝනගල ගමට එල්ල කරන ලද ප්‍රහාරයත් පොලොන්නරුව තඩවත්මඩුව හා දම්මින්න ගම්වලටත් මොනරාගල නියදැල්ල ගම්මානයටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේරුණෑවගමට එල්ල කරන ලද ප්‍රහාරයන් ඉතාම නින්දිතය.

එමෙන්ම උත්සව සමයේ සටන් විරාමයක් ප්‍රකාශ කළ අවස්ථාවේදී ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා පැමිණි බස් රථයක් ඇතුළු බස් රථ හා ලොරි රථවල සිටි මඟීන් 120ක් පමණ කිතුල්උතුව ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද්දේ ඉතාම ම්ලේච්ඡ අයුරිනි. එහිදී බස් රථයක සිටි හමුදා නිලධාරියකුට තම ඇඳුම් සියල්ල ප්‍රසිද්ධියේ ගලවන ලෙස අණ කිරීමෙන් පසුව ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමත් කුඩා දරුවන්ගේ හුස්ම යනතුරු බෙල්ල පාගාගෙන සිටීමත් සිදු කරන ලද්දේ අන්තර්ජාතික මානුෂීය අයිතීන් ප්‍රසිද්ධියේම කඩ කර දමමිනි. එම බස් රථවල සිටි තරුණියන් ම්ලේච්ඡ ලෙස දූෂණය කර ඝාතනය කිරීමත් ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද අමානුෂික ක්‍රියාවන් අතරට එක්ව ඇත.

එසේම අරංතලාවේදී මහනුවර උපසම්පාදව පිණිස බස් රථයකින් වැඩම කරමින් සිටි භික්ෂූන් වහන්සේ 32 නමක් අමානුෂික ලෙස ඝාතනය කරන ලද බව අප කාහටත් අමතක නැත. ඒ අමානුෂික ප්‍රහාරයෙන් හෑගොඩ ඉන්ද්‍රසාර හිමියෝද අපවත් වූහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ඝාන්ධි මහතා ඝාතනය සම්බන්දයෙන්ද එල්ටීටීඊ ත්‍රස්තවාදීන් වගකිව යුතු වු අතර අන්තර්ජාතික අවධානය ත්‍රස්තවාදීන් මැඬලීම පිණිස වඩාත්ම යොමුවුණේ ඉන් පසුවය.

බටහිර රටවල් රැසකින්ම එල්ටීටීඊ සංවිධානය තහනම් කරන්නට තීරණය කරන ලද්දේ ඔවුන්ගේ මේ ම්ලේච්ඡත්වය නිසාමය. එසේ වුවත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අවසන් වූයේ නැත. දිගින් දිගටම ජනතාවට පීඩන එල්ල කරන්නට විය. 2006 වසරේ ජූනි මස 21 වැනිදා මාවිල් ආරු සොරොව්ව වසා ගොවි ජනතාවට වතුර ලබා ගැනීමට ත්‍රස්තවාදීහු බාධා කළහ. මේ නිසා දහස් ගණන් ජනතාවට තම ගොවිතැන් බත් කර ගන්නට නොහැකි විය. ගොවිතැන් පාළු වී ගියේය. මේ අවස්ථාවේදී මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට එවකට හමුදාපති ධුරය දැරූ වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් පියවර ගන්නා ලදී. මාවිල් ආරු ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්නා ලදී. ඒ හරහා නැඟෙනහිර පළාතේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට යළිත් වගා බිම් සකස් කර ගන්නට හැකි විය. 2007 වසරේදී නැඟෙනහිර සම්පූර්ණයෙන්ම පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්නට හමුදාවෝ සමත් වූහ.

එමෙන්ම අවසන් සටනටද ඒ සමඟම ත්‍රිවිධ හමුදාවම ආරම්භ කරන ලද්දේ ත්‍රස්තවාදීන් කිසිදු ලෙසකින් හෝ ජනතා මතයට හිස නොනමන බව තේරුම් ගත් නිසාය. කිසිදු ආකාරයක දේශපාලන විසැඳුමකට ඔවුන් එකඟ නොවන බවට ඒ අවස්ථාව වන විට පැහැදිලි ලකුණු පහළව තිබුණි. හමුදාව මේ තුන් ජාතියටම සමඟිව විසීමේ පරිසරයක් ලංකාව ත්‍රළ ඇති කිරිමේ අරමුණින් අවසන් සටන අරඹන ලදී. අවසන් සටන නිමා කරන ලද්දේ ජයග්‍රාහීවය. ත්‍රස්තවාදීන් පරාජය කරමින් තම සටන් ජය ගන්නට ශ්‍රී ලාංකීය වීර හමුදාවෝ සමත් වූහ.

උතුරේ කිළිනොච්චියේ සිට ධර්ම පුරම් දක්වා එක රැයින් ගමන් කළ අපේ හමුදාව ජනතාවට හානි නොවන සේ ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව මුදා ගත්හ.

අවසන් සටන සිදු වූයේ මුලතිව් නන්දිකඩාල් කළපුව අසලදීය. වෙල්ලමුල්ලි වයික්කාල් අසලදී එල්ටීටීඊ සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් තම ම්ලේච්ඡත්වය නිමා කරමින් අවසන් ගමන් ගියේය.

මේ අවසන් සටනට සම්බන්ධ වු ත්‍රිවිධ හමුදාව මානුෂීය ලෙසින් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ලෝකයේම අවාධානය යොමුව තිබුණි. තම බත් පත අසරණ වූ දෙමළ ජාතික වැසියනට ලබා දෙමින් තනිවම යාමට නොහැකි වයෝවාද්ධ වැඩිහිටියන් තම දෝතින් ඔසවා ගනිමින් රණවිරුවන් මේ මානුෂීය ජයග්‍රහණය ලබා ගත්තේ ‘මානුෂීය මෙහෙයුම ‘ යන්න වචනයට සීමා නොකරමිනි.

එම ජයග්‍රහණය සිංහල හෝ එක් ජාතියක් විසින් ලබා නොගත් ජයග්‍රහණයක් බව පෙන්වමින් සියලු ජනතාවට සමඟිව සිටීමට ලබා දුන් ජයක් බව එදා රණවිරුවන් පෙන්නුම් කළේය.

මේ රණවිරුවන් සමරමින් එදා සිට අද දක්වාම රණවිරු සැමරුම මහත් වූ අභිමාන උත්සවයක් ලෙසින් පැවැත්වේ. උතුරේත් දකුණේත් අද සියලු දෙනා දේශපාලනය කරන්නේ රණවිරුවන් විසින් එදා ලබා දුන් නිදහස නිසා බව අද ඇතැමුන්ට අමතකව තිබෙන්නට පුළුවන. උතුරේ සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා විසින් සිවිල් ජනතා සංහාරය සැමරුම් උත්සවයක් සමරන්නට මුලතිව් හිදී උත්සාහ කළත් අවසානයේ ඔහුට සිදුවූයේ තමන්ට හිතවත් කිහිප දෙනකු සමඟ පහන් දල්වා උත්සවය සැමරීමට පමණකි. මේ නිසා රණවිරු සැමරුම නැත්නම් රණවිරුවන් එදා ලබා දී ඇත්තේ සැමට උරුම වූ නිදහසක් බව එයින්ම පෙනී යනු ඇත. සිවාජිලිංගම් සමඟ ජනතාව එක් නොවුණේ එහෙයිනි.

මෙවර රණවිරු සැමරුම උත්සව සංස්කෘතික සංදර්ශනවලින් තොරව පැවැත්වීමට රජය තීරණය කර ඇත. එයද එක් අතකින් අනවශ්‍ය වියදමකින් තොරව රණවිරුවන් සැමරුමට ගත් කාලෝචිත පියවරකි. නිවාස අහිමි රණවිරුවන් 3600කට ඉදිරි වසර 4 තුළදී නිවාස ලබා දීමට කටයුතු කරන බව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් පොරොන්දු දී අවසානය.

ඇත්තෙන්ම අප කළ යුත්තේ රණවිරුවන් නැරඹීම නොව ඔවුන් සැමරීමය. ඒ සඳහා මිය ගිය හෝ ආබාධිත හෝ එසේත් නැත්නම් අසරණ රණවිරුවන්ට අපට කළ හැකි උපරිම සේවාව උපහාරය කළ යුතුය. නිවාස අහිමි අයට නිවාස ලබා දීම මෙන්ම අනෙකුත් අවශ්‍යතා සොයා බලා ඒවා ඉටු කිරීමට කටයුතු කිරීමෙන් එය සිදු කළ හැකිය.

යළිත් උතුරු නැඟෙනහිර යුද්ධයක් හට නොඟන්නා බවට ත්‍රිවිද හමුදා නායකයෝ ප්‍රතිඥා දෙති. අපට ජීවත් වන්නට නිදහස උරුම කර දුන් බව පමණක් ඔවුහු පවසති.

එහෙත් ඒ නිදහස අපේ ලක් මව අපට උදරුමකර දීමට ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ 27937කගේ ජීවිත පුජා කර තිබේ. එසේම 20242 පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව ඇත.

මෙරටට දෙවන වරට නිදහස උරුම කර දුන් සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට තම දිවි පූජා කර රට රැක දුන් ඒ වීරෝදාර රණවිරුවන් සැමරීමට කටයුතු කිරීම අප සැම විසින්ම සැමදා කළ යුතු වේ. මේ රණවිරු සතිය තුළ සිදු කෙරුණේද එයයි. පසුගිය 5 වැනිදා සිට දිවයිනේ එක් එක් පළාත් තුළ රණවිරු සැමරුම් පැවැති අතර පසුගිය 19 වැනිදා පස්වරුවේ බත්තරමුල්ලේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ 2017 වසරේ රණවිරු සැමරුමේ අභිමානවත් පියවරයි.

මෙවර රණවිරුවන්ගේ ඒ ජයග්‍රහණය සමරා ප්‍රථම වරට ලෝකයේ රටවල් 7ක සැමරුම් උත්සව පැවැත්වීම විශේෂ සිද්ධියකි. මේ සැමරුම් පැවැත්වුණු රටවල් අතර ප්‍රංශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, කැනඩාව, ඉතාලිය හා ඊශ්‍රායලය වීම විශේෂ සිද්ධියකි. විශේෂයෙන්ම කැනඩාව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට උපකාර කළ රටක් ලෙස ලෝකයම පිළිගත්තකි. එහෙත් අද ත්‍රස්තවාදයට ලෝකයේ කිසිදු තැනක ඉඩක් නොමැති බවට එය හොඳම උදාහරණය වන්නේය. අපේ අද දවස වෙනුවෙන් රණවිරුවන් එදා දිවි පුදා ලක්මව රැක ගැනීම අභිමානවත්ව සැමරිය යුත්තේ එම නිසාය.

Comments