සාමසර කන්දේ නිවාස අහිමිවූවන්ට සෙනෙහෙ සියපතින් නිවාස | සිළුමිණ

සාමසර කන්දේ නිවාස අහිමිවූවන්ට සෙනෙහෙ සියපතින් නිවාස

 අරණායක සාමසර කන්ද නාය ගොස් වසරක් ගතවීමට මත්තෙන් නිවාස අහිමිවූවන්ට ‍"සෙනෙහසේ සියපත" ව්‍යාපෘතිය තෙවැනි අදියර යටතේ නිවාස තිහක් ලබාදීමට හැකිවීම විශාල ජයග්‍රහණයකි. සෙනෙ‍හසේ සියපත ගම්මානය පසුගියදා (14) ජනතා අයිතියට පත්කෙරුණේ මැති ඇමැතිවරු, ත්‍රවිධ හමුදාව මෙන්ම රජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් රැසකගේ සහභාගීත්වයෙනි.

2016 වසරේ මැයි 17 වැනි දා සිදුවූ නාය යෑමත් සමඟ සිරිපුර, එළගපිටිය ඇතුළු ගම්මාන 03ක ජනතාවට නිවාස අහිමි විය. පූර්ණ හානි නිවාස සංඛ්‍යාව 72 කි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා අනුව අධි අවදානම් (නැවත වෙනත් ස්ථානයක පදිංචි කළයුතු) පවුල් සංඛ්‍යාව 571 කි. අර්ධ හානි නිවාස සංඛ්‍යාව 288කි.

එම සිද්ධියෙන් වසරක් ගත වීමට ප්‍රථම විධිමත් කළමනාකරණයක් හමුවේ අරණායක ජන ජීවිතය යථාවත් කිරීමට හැකිවීම ජයග්‍රහණයකි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙවැනි ආපදාවන් අතිරේක බරක් වුවද ජනතා සුභසිද්ධිය උදෙසා රජය සිදුකරන කැපකිරීම මෙහිදී පැසසිය යුතු කරුණකි. මෙවැනි ආපාදා හමුවේ දෙස් විදෙස් මිතුරු දෑත් දිගු වීම ජන ජීවිත යථාවත් කිරීම සඳහා සිදු කෙරෙන ක්‍රියා කඩිනම් වීමට ප්‍රබල හේතුවක් වී තිබේ. පසුගිය වසරේ ගංවතුර සහ නාය යෑමෙන් අනාථවූ‍ අරණායක ජනතාව වෙත සහන සැලසීම පිණිස ආරම්භ කරන ලද “සෙනෙහෙ සියපත ” ව්‍යාපෘතියේ තෙවැනි අදියර යටතේ අලුතින් ඉදිකරන ලද නිවාස 30ක්, නායයෑමෙන් ගෙවල් අහිමිවු පවුල් 30ක් වෙත ප්‍රදානය කෙරිණි. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය, ආරක්ෂක අමාත්‍යංශය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, ඩයලොග් ආසියාටා සමාගම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම( ලේක්හවුස්) “සෙනෙහෙ සියපත” ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ හවුල්කරුවෝ වුහ.

අවතැන් වු ජනතාව වෙත නිවාස තනාදීමේ ව්‍යාපෘතියේ තෙවැනි අදියර ලෙස පසුගිය වසරේ ඔක්තෝම්බර් 29 වන දින “සෙනෙහෙ සියපත” ගම්මානයට මුල්ගල තබන ලදී. මෙම නිවාස 30 තැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් නොමිලයේ සපයන ලද අතර යුද්ධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයෝ ඊට ශ්‍රමයෙන් දායක වුහ. ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරනු ලැබුවේ ඩයලොග් ආසියාටා සමාගමේ කළමනාකාරීත්වය යටතේ Sierra Construction ආයතනය විසිනි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්ණායකයන්ට අනුව නිවාස ඉදිකර තිබේ.

අරණායක ස්වාභාවික විපත සිදුවූ සැණින් ඉන් අසරණ වුවන්ට සහන සැලසීම සඳහා රුපියල් පනහක පරිත්‍යාග කෙටි පණිවිඩ සේවාව මගින් ස්ටාර් පොයින්ට් මගින් හෝ ඊසි කෑෂ් මගින් සිදු කරන මෙන් ඩයලොග් ආසියාටා සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීමට ඉහළම ප්‍රතිචාර නොපමාව හිමි වූ අතර එසේ ලැබුණු සෑම රුපියල් පනහකටම තවත් රුපියල් සියයක් බැගින් එකතු කිරීමෙන් රුපියල් 150ක් වන ලෙස මුදල් ප්‍රමාණය තෙගුණ කළ ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 50ක් ව්‍යාපෘති අරමුදලට බැර කිරීමට සමත් වී තිබේ. පාරිභෝගිකයන් පරිත්‍යාග කරන ලද මුළු මුදල රුපියල් මිලියන 15ක් වු අතර ඩයලොග් ආසියාටා සමාගම එයට රුපියල් මිලියන 35ක් එකතු කර තිබුණි.

සෙනෙහෙ සියපත ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හදිසි ගංවතුර සහන සැලසීම පිණිස රුපියල් මිලියන 1.6ක් වටිනා වතුර පොම්ප 50ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පිරිනමා ඇත. එහි දෙවැනි අදියර යටතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් පාසල් 33ක පාසල් දරුවන් 10373 දෙනෙකු වෙත රුපියල් මිලියන 11.4කට වඩා වටිනා සපත්තු සහ මේස් බෙදාදෙන ලදී. තෙවැනි අදියර ක්‍රියාත්මක වන අතරතුරදී ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන් ඉහළයාම හේතුවෙන් මුලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වැඩියෙන් වැය කිරීමට සිදුවු මුදල් සපයනු ලැබ ඇත්තේද ඩයලොග් ආසියාටා සමාගම විසිනි.

අරණායක ස්වාභාවික විපතෙන් පීඩාවට පත්වු ජනතාවට නිවාස තිහක් ලබාදීමට හැකිවීම පිළිබඳව රජයක් ලෙස සතුටු වන බවත් අහිමිවු දේපළ තක්සේරු කළ හැකි වුවද නැතිවූ ජීවිත මිළ කළ නොහැකිබවද නිවාස හිමිකම් පත් ලබාදීමේ අවස්ථාවට එක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය. ඉදිරියේදී මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දීමට මෙයටත් වඩා සංවිධාන විය යුතු බවත්, අසරණ වු පවුල් වලට නිවාස ලබාදීමෙන් යම් පමණකින් හෝ සහනයක් ලැබේ යැයි තමා විශ්වාස කරන බවද ඇමැතිවරයා එහිදි අවධාරණය කළේය.

“මේ ආපදා තත්ත්වයට අපි ඉතා හොඳින් මුහුණ දෙමින් ජනාධිපතිතුමාගේ නායකත්වය හා මඟ පෙන්වීම යටතේ, අගමැතිතුමාගේ දායකත්වයෙන් අවශ්‍ය කටයුතු නිසි පරිදි කළමානාරකණය කරනු ලැබුවා. ඒ වගේම මේ වන විට පරිත්‍යාගශීලීන්ගේන් නිවාස 237ක් ලබා දී ඇති අතර, තවත් 387ක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේ මේ වන විට ඉඩම් අක්කර 210ක් අවතැන් වූවන් අතරේ බෙදා ඇති අතර, තවත් අක්කර 305ක් බෙදාදීම සදහා හඳුනාගෙන තිබෙනවා” යැයි එම උත්සව අවස්ථාවට එක්වු විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහිදී ප්‍රකාශ‍ කළේ අරණායක ඛේදවාචකය අපේ අමාත්‍යංශයට පමණක් නොවෙයි මුළු රජයටම ලොකු බලපෑමක් වූ බවත් කූඩාරම්වල සිටින පිරිස්වලටත් ඉඩම් හා මුදල් ලබා දී ඇති නමුත් නිවාස ඉක්මනින් සාදා දීම අසීරු කරුණක් වුවත් ඔවුන්ටත් ඉක්මනින් නිවාස තනා දීමට කටයුතු යොදන බවය.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා “මේ ව්‍යසනය මුළු රටක් කම්පනයට පත් කළ මෑත කාලයේ අපේ රටේ සිදුවු ප්‍රධානතම ව්‍යසනයක්. රටේ ජනතාව විපතක් පැමිණි හැම විටම ඉතාම සංවේදී පිරිසක් බව ඔප්පු කර තිබෙනවා. අපේ රටේ සංවේදී මිනිස්සු ලෝකයේම ඉන්නවාද කියලා සිතන තරමට මිනිස්සු විපතක් පැමිණි විට ඉදිරිපත් වෙනවා. සෙනෙහෙ සියපත අරමුදලට අපේ රටේ ජනතාව තමයි උදව් කළේ. හැමදෙනාම එකතු වී කළ අරමුදලකින් මේ ව්‍යාපෘතියට දායක වෙන්න පුළුවන් වුණේ. රජයක් හැටියට හැම විටම අපි උත්සාහ කරන්නේ නැතිවූ ජීවිත හැර අනෙක් සියලු දේම නැවත ලබා දීමටයි. මේ මහා කර්තව්‍යය ඉතාමත් ක්‍රමානුකූලව හා කඩිනමින් සියලු දෙනාගේම සහයෝගයෙන් කිරීමට හැකි වුණා”යැයි පැවසීය.

ඉෂානි උත්පලා මහත්මිය ද නව නිවෙසක හිමිකාරියකි. ඇය අප සමඟ පැවසුවේ නාය යෑමෙන් තම පියාගේ සහෝදරයා අතුරුදහන් වී තමන් සතු සියල්ලම පස් වලින් වැළලී ගිය බවයි. පවුලේ අය අතරින් තම ජීවිතය පමණක් බේරා ගත හැකි වූයේ පෙර පිනක් නිසා බව පැවසූ ඇය තමාට නව නිවෙසක් ලැබීම අලුතින් ඉපදුණාක් හා සමාන බව ද පැවසුවාය.

අජිත් තිලකරත්න මහතා ද නව නිවාසලාභියෙකි. කන්ද නාය යන අවස්ථාවේ තමා නිවෙසේ නොසිටි බවත් සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි තමා දුටුවේ කන්ද උඩ වූ නිවෙස මෙන්ම තම ඥාතීන්ගේ නිවෙස් ද තිබූ තැනක්වත් සොයා ගත නොහැකි ලෙස පස්වලට යටවී තිබූ බවයි. ‍සියලු දේ අහිමි වූ තම නෙතේ කඳුළු නොවියළුණ ද නව නිවෙසක් ලැබීම යම් පමණක හෝ සහනයක් වන බවත් ඔහු පැවසීය.

කන්ද නාය යන අවස්ථාවේ චන්ද්‍රිකා ප්‍රියදර්ශනී සිටියේ අසල වෙළෙඳ සලකය. ඇය නැවත පැමිණෙද්දී ඇගේ නිවෙස මෙන්ම ආදරණීය දරු දෙදෙනා ද ඇයට අහිමි වී ගොසිනි. ඇය කාලයාගේ ඇවෑමෙන් කෙසේ හෝ දුක් කදුළු පිසදා ජීවන බර කරට ගත්තාය. නිවෙසක හිමිකාරියක වී දුක් කඳුළු අතරින් සැනසුම් සුසුම් හෙළන ඇය අප හා කතාබහට එක් වූවාය.

“අපි කරදරයක් නැතිව ජීවත් වුණු අය. කන්ද නාය යෑමෙන් අපේ සියලු සේසතම විනාශ වුණා. හැමදේටම වඩා මට දරා ගන්න බැරි මගේ දරු දෙදෙනා අද මා එක්ක නැති එකයි. ඒත් මට අද වැටිලා ඉන්න තැනක් ලැබුණා. ඒක ලොකු දෙයක් ”

තනුජා කුමාරිට මේ ව්‍යසනයෙන් ස්වාමි පුරුෂයා සහ එක් දරුවෙක් අහිමි විය. එතෙක් ජීවිකාව කරගෙන ගිය සිල්ලර කඩය ද පස් යට වීමෙන් ඇය තවත් අසරණ වූවාය. නිවෙස මෙන්ම සිල්ලර කඩය ද තිබූ ඉසව්වක්වත් සොයා ගත නොහැකිව වැලපුණු ඇයට තමා සමඟ දිවි රැක ගත් දරු දෙදෙනා ජීවත්කරවීම ප්‍රශ්නයක් විය. අවසන ඇය අත ගැසුවේ ස්වයං රැකියාවකටය. දරු දෙදෙනා ජීවත් කරලීම සඳහා එළවළු වගාව ඇරැඹූ ඇයට දරු දෙදෙනා සමඟ වැටී සිටීමට මෙදා නිවෙසක් ලැබිණි.

“මගේ දරුවන් දෙදෙනා තවමත් පාසල් යනවා. ළමයින්ටයි මටයි ජීවත් වෙන්න ගෙයක් ලැබුණු එක වාසනාවක්. දැන් මට කාටවත් අතනොපා දරුවන් ‍ජීවත් කරවන්න පුළුවන් ” තනුජා කුමාරි පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නිසි මඟ පෙන්වීම සහ රජයේ දැවැන්ත මැදිහත්වීම් හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් අද වන විට අරණායක ජන ජීවිතය යළි ගොඩනැඟීමට හැකිවි ඇත.

මෙම අවස්ථාවට මහා සංඝ රත්නය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ඩයලොග් ආසියාටා සමාගමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හාන්ස් විජේසූරිය ඇතුළු එම ආයතනයේ උසස් නිලධාරීන්, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ) සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ප්‍රධාන විධායක නිලධාරී ඔබ්සර්වර් ජොබ්ස් හේෂාන් කරුණාරත්න යන මහත්වරුන් ද ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන්, රූපවාහිනි සස්ථාවේ හා ගුවන්විදුලි සංස්ථාවේ උසස් නිලධාරීන් ද ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු සහ රජයේ උසස් නිලධාරීහූ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත
ඡායාරූප - චමින්ද නිරෝෂන 

Comments