අපෙ අම්මා!

මේ කවිය 1990 - පෙබරවාරි “කල්පනා” සඟරාවෙන් උපුටා ගතිමි. අද ඒ සඟරාව මුද්‍රණය වන්නේ නැත. එපමණක් නොව; සිංහල සඟරාවලට අද ඉල්ලුමක් ඇත්තේ ද නැත. මගේ කල්පනාවට අනුව 70 - 80 දසකවල සඟරා සාහිත්‍යය ඉතා ජනප්‍රිය විය. 1990 ගණන් වනතුරු ද එය පැවැතිණි. 2000 ගණන්වල සිට සිංහල සඟරා සාහිත්‍යයේ පරිහානිය

සටහන් විය. අද වන විට ජනප්‍රිය සිංහල සඟරා එකක් වත් නැතැ’යි කීම බොරුවක් නො වේ. එදා සඟරාවල හිස්තැන් පිරවීම සඳහා ද කවි යොදාගත් අතර කවි පිටුවක් හෝ දෙකක් හෝ වෙන ම පළ විය. ඒ අතර අදත් රසවිඳිය හැකි අපූරු ප්‍රබන්ධ තිබේ.

“අම්මා” නමින් වූ මේ කවිය රචනා කර තිබුණේ කරුණාතිලක හඳුන්පතිරණ ය. අද වන විට ඔහු මුහුකුරා ගිය කවියෙකි. පරිවර්තකයෙකි. හඳුන්පතිරණ ඉහත කවිය ඔස්සේ බරපතළ දෙයක් කියන්නේ නැත. එය සරල කවියකි. එහෙත් එය හෘදයංගම ය. අප නැවතත් අතීතයට කැඳවනසුලු ය. මේ ප්‍රබන්ධය ඔස්සේ අපේ ම අම්මලා ගැනත්; අම්මලාගේ අතීතය ගැනත් ආවර්ජනය කරන්නට වැඩිහිටි අප පෙලඹෙනු ඇත. එබැවින් එහි සිරස වෙනස් කොට “අපේ අම්මා” ලෙස යෙදුවෙමු.

අම්මාගේ දාරක ප්‍රේමය ගැනත්; දරුවන්ගේ මාතෘ ප්‍රේමය ගැනත් ඕනෑතරම් කවි ලියැ වී ඇත. ඒවා සංකල්පීය වශයෙන් වදැගත් වන්නට පුළුවන. එහෙත් වින්දනය අතින් අපට වැදගත් වන්නේ සම්පූර්ණ සත්‍යය සමඟ මුලින් කී සංකල්පය ද ගළපා ගැනීමෙන් ය. ඊට හොඳ පදනමක් මේ කවිය ඇති කරයි.

නූතන සමාජය දෙස ආපසු හැරී බලන විට සංකල්පීය අම්මා දකින්නට නැත. සමහර අම්මලා සිරුරේ හැඩය පවත්වා ගනු පිණිස දරුවාට මව්කිරි දීම වරති. තව අම්මලා දරුවන් නො හදා ම සිටිති. තවත් අම්මලා උපන් හැටියේ දරුවන් බෙල්ල මිරිකා මරා දමති. දරුවා කැලණි ගඟට වීසි කොට අත පිසදාගන්නා අම්මලා ද දැන් සිටිති. දරුවන්ගේ පැත්තෙන් ගත්ත ද වෙනසක් නැත. එකට - එක සිදු වෙයි.

හඳුන්පතිරණ කියන අම්මා ආදර්ශයක් හෙවත් මොඩලයක් ලෙස සැලැකිය හැකි ය. ඒ අම්මා දරුවන් උදෙසා කරන අරගලය ද, කැපවීම ද දකින කල තාත්තා කෙරෙහි වෛරයක් ඇති වන්නට ද පුළුවන. එහි තාත්තා ගැන සඳහනක් නැත. එක්කෝ තාත්තා මිය ගොසිනි. නැතහොත් පවුල හැර ගොසිනි. කුමක් වුව තාත්තා යුතුකම් පැහැර හරින ලද පුද්ගලයකු බව පැහැදිලි ය.

කවියා අම්මා පිළිබඳ චිත්‍රය අඳින්නේ දරුවාගේ දෘෂ්ටි කෝණයෙන් ය. මේ දරුවා පුතකු විය හැකි ය. පුත්‍රයාගේ ලෝකය අම්මා ය. අම්මා වීරවරියක ලෙස පුත්‍රයාට පෙනෙයි. ජීවත්වීම සඳහා ඇය ගෙනයන අරගලය පුත්‍රයාට පෙනෙයි. ඈ රැකියාවක් ලෙස කරනුයේ බුලත්විට හා රට කජු විකිණීම ය. කොහේ හෝ කඩමණ්ඩියක විවෘත ස්ථානයක් ඇය වෙනුවෙන් පවතී. එහි සිට ගිනි අව්වේ වෙළෙඳාම කළ යුතු ය. අම්මා මේ දුක දරන්නේ කවුරුන් වෙනුවෙන් ද? දරුවන් වෙනුවෙන් ය. අම්මා පිළිබඳ ප්‍රකට ජනකවිය අප සිහියට හැ‍ඟේ.

 

“ඉර පායා ඉර අවරට එන්න එපා
සඳ පායා සඳ අවරට එන්න එපා
පෑදි දියට බොර දිය එක්වන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා”

 

අපේ සමාජ චින්තනය හා රිද්මය මෙහි ගැබ් ව තිබේ. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා යනු බරපතළ කියමනකි. අපේ සාම්ප්‍රදායික චින්තනය තුළ තාත්තා නො සලකා හැරෙන අතර කුඩම්මා කෙනකුට තැනක් ඇත්තේ ම නැත. කරුණාතිලක හඳුන්පතිරණ ද ඒ සම්ප්‍රදායට පිටුපාන්නේ නැත.

අපේ කවි සමයේ එන එක් සම්ප්‍රදායක් වන්නේ දුක හා වේදනාව නිරූපණය ‍කොට සහෘදයා කම්පනයට පත් කිරීම ය. හඳුන්පතිරණ ද එම සම්ප්‍රදාය අනුගමනය කරයි. ඔහු අම්මා උත්කර්ෂයට නැංවීම සඳහා උපායමාර්ග කිහිපයක් භාවිත කරයි.

(I) අම්මාගේ දුක නිරූපණය

(II) අම්මාගේ කැපවීම නිරූපණය

(III) අම්මාට ඉහළ ගෞරවයක් ලබාදීම

(IV) දිළිඳුකමේ වර්ණනාව

අම්මා විඳින දුක මුල් පද්‍යයෙන් ද අවසන් පද්‍යයෙන් ද කදිමට නිරූපණය වේ. ඈ හිමිදිරිය් සිට සන්ධ්‍යාව තෙක් රැකියාව කළ යුතු ය. එය දුෂ්කර රැකියාවකි. ඉනික්බිති නිවසට පැමිණ උයා - පිහා දරුවන්ට රාත්‍රී කෑම ලබා දිය යුතු ය.

අම්මා‍ගේ කැපවීම කෙතරම් ද යත්; ඇගේ මුළු ජීවිතය ම දරුවන් උදෙසා වෙන් කර ඇත. අව්වට පිච්චී මුහුණ අත - පය කළු වී ඇත. වැඩ කිරීම නිසා දෑත් රළු වී ඇත. තවදුරටත් ඇයට සුන්දර රූසපුවක් නැත. කාන්සියට, විඩාවට ඇය කරන්නේ බුලත් හැපීම ය. බුලත් හැපීමෙන් කට ද සවුත්තු වී ඇත. මෙයින් පෙනී යන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න මේ අම්මා තවත් පුරුෂයකු ප්‍රාර්ථනා නොකරන බව ය. දෙවැන්න දරුවන් නිසා ම ඇය යකඩ ගැහැනියක් බවට පත් වී ඇති බව ය. මෙයින් පෙනී යන්නේ අපේ අම්මාගේ කතාන්දරය කෙතරම් ශෝචනීය වන්නේ ද යන්න ය.

මෙබඳු මවකට අපේ සංස්කෘතිය තුළ ඇත්තේ ඉහළ පිළිගැනීමකි. එය පුත්‍රයාගේ දෘෂ්ටියෙන් කවියා අපට කියයි.

“අම්මා වඩිනවා සව් සැප අපට අරන්”

“හිතුවත් ඇතිය අම්මා ගැන මට ලැබුණු”

යන කවි පාදවලින් එය තහවුරු වෙයි.

මෙහි එන පුත්‍රයා ගැන ද වචනයක් කිව යුතු ය. කවියා මෙන් ම පුත්‍රයා ද සාම්ප්‍රදායික ය. ඔහු අම්මා විඳින දුක දකින්නේ වුව; ඊට විකල්ප සොයන්නේ නැත. අම්මාගේ ජීවිතයේ ඇතුළාන්තයට එබී බලන්නේ නැත. පුත්‍රයා කම්මැළි නිවට පුද්ගලයෙකි.

දිළිඳුකම කවි සමය තුළ අලෙවි වන මාතෘකාවකි. විමලරත්න කුමාරගම පවා දිළිඳුකම අලෙවි කළේ ය. එහෙත් ඔහු තම නිර්මාණ ඔස්සේ විරෝධාකල්ප ගොඩනැඟීමට වෑයම් කළේ ය. “අසරණ ගැහැනිය” වැනි කවි පන්තියකින් ඒ බව සනාථ වේ. කරුණාතිලක හඳුන්පතිරණ ළඟ එබඳු විරෝධාකල්ප නැත.

ආසියාවේ හා අමෙරිකාවේ සංකල්පීය අම්මලා අතර ඇති වෙනස ද මේ කවියෙන් වටහා ගත හැකි ය. අමෙරිකාවේ ආරක්ෂක අංශය මෑතකදී නිෂ්පාදනය කළ සමූහ ඝාතක බෝම්බයක් හඳුන්වා තිබුණේ “මදර් බොම්බ්” යන නාමයෙන් ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.