ආදරය වෙනුවෙන් පිරිනැමුණු කෘතියක්

රූපාන්ති බුලත්සිංහලගේ 'අරුමැසි ප්‍රේමය' කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ දී රාජ්‍ය සම්මානලාභී ප්‍රකට කිවියර සුනන්ද කරුණාරත්න කළ දේශනය ඇසුරෙන් සැකසිණි.

මේ කෘතියේ කතා නායිකාව ලේඛන කලා වට ආගන්තුයෙක් නොවෙයි. එහෙත් මෙය ඇගේ කුලුඳුල් කාව්‍ය ග්‍රන්ථයයි. මේ කෘතියේ කවි හැත්තෑ පහක් තියෙනවා. මේ කෘතියට එක තේමාවයි. තියෙන්නේ ඒ ප්‍රේමය. මේ කෘතිය පිරිනමලා තියෙන්නෙත් ආදරයට.

කවිය කියන සාහිත්‍ය ශානරය ගත්තහම ඉතාමත් පුළුල් දේශපාලන කවි තියෙනවා, යුග කවි තියෙනවා, හයිකු කවි තියෙනවා, පෙම් කවි තියෙනවා. මේ කවි පොත ස්ථානගත කරන්න වෙන්නේ පෙම් කවිය කියන උප ශානරය යටතේ. මේ කෘතිය දිහා මං බලන්නේ විශේෂයෙන් ලංකාවේ ලියැවෙන පෙම් කවිය සහ අන්තර් ජාතිකව ලියැවෙන පෙම් කවිය හිතේ තියාගෙන. මේ පෙම් කවි සමුච්චය කියවලා බලන කොට කවිඳියට යම් කිසි දර්ශනයක් ප්‍රේමය සම්බන්ධයෙන් තියෙනවා.

එය කවිවලත් තියෙනවා. ඇය පෙරවදනේ එය ස්ථාන ගත කරනවා. සමහරු විදග්ධ යැයි කියති. සමහරු බොළඳ යැයි කියති. එහෙත් කවිය කවියමයි. එය ප්‍රේමයෙන් ඉපිද ප්‍රේමය ම ජීවත් කරවයි.

කාටවත් කවියට අර්ථකථන දීලා ඉවර කරන්න බැහැ. එහෙත් ඇය මේ කෘතියෙන් අර්ථකථනයක් දෙනවා. කවිය කියලා කියන්නේ ප්‍රේමයෙන් ඉපදී ප්‍රේමය ම ජීවත් කරන සාහිත්‍යාංගයක් කියලා. මේ කවි කියන කොට මට ඇති වුණ හැඟීම අපට තියෙන පරම විමුක්තිය ප්‍රේමයයි කියන එක. තැන් කීපයකින් මං උපුටා දක්වනවා නම් ඇය කියනවා ඉහළම සැපත ප්‍රේමයයි කියලා. මට සංසාරය කෙටි කරන්න ඕනේ නැහැ, මට ඉහළම ස්වර්ගීය සැපත ප්‍රේමයයි කියලා.

කවිය නිසා ඇහැරී ඇත මගේ සිත
අවිය නොවනු ඇත වචනය පෙර විලස
පවනක් වී සනසන ඒ සතුට ස්වර්ගයේ
සැනසීම ගෙනත් ඇත
දොලොස්වන කවියේ සඳහන් වූ

අවාරයේ වසන්තයක්
පමා වුණත් නිවන් මඟක්
සිනා සෙන්න යළිත් වරක්
ඔබේ හඬම සෙත් කවියක්
මේ කවියෙන් ප්‍රේමයේ උතුම් බව කියැවෙනවා

නතර නොවන සංසාරය
ඔබට ඇති ද මට නැත එය
නිතර නිතර මුමුණ මුමුණ ආදරයෙන් සිත සනහන
කතර ගෙවා ළඟට පැමිණ ගිමන් නිවන්නට අවසර
සසර නැතත් ඇතත් එවිට මගේ සිතට නිවනක් ඇත.
තණ්හාවක් නොවේ කරපින්නා ආව
ලෝභය නොවේ මෝහය නැහැ හිත ගාව
කාලය පැමිණිය ද ස්වර්ගය විඳ ගන්න
අවසර පතමි දෙවියන්ගෙන් තව ඉන්න

ඒ ඇයගේ දර්ශනය ප්‍රේමය උදෙසා. මේ කවි ටික උනන්දුවෙන් කියවන විට අපට හිතෙනවා දෙවියන් උදෙසා ප්‍රකාශ කරන දිව්‍යමය ප්‍රේමයක් ද කියලා. හුදෙක් මේ ලෞකික ප්‍රේමයක් ද, දෙවියන් වහන්සේ උදෙසා කරන දිව්‍යමය ප්‍රේමයක් ද කියලා හුදෙක් මේ කවි පොතෙන් ගම්‍ය වෙනවා.

උදාහරණ ලෙස දාහතරවැනි කවිය ගතහොත්
කුමුදිනියක් වුණත් බැබළෙන විල් දියෙහි
පූදින්නට ගත්ත වෙහෙස දන්නේ කවුද ලොවේ
ලෝ විමසිලි ඇසින් එන ගැරහුම් හමුවේ
දුක සෝදලා දෙන තුරුලට දුර ද ලොවේ...

දුක සෝදලා දෙන තුරුල කියන්නේ අපි පොළවේ ඉඳලා බලන්නේ ඉහළ. මේ දෙවියන් වහන්සේ දෙස ප්‍රකාශ කරන ප්‍රේමයක් ද කියලා අපට යටි අරුතක් ගෙනත් දෙනවා.

පහළොස් වැනි කවිය ගතහොත්
සිතට නැඟේ දුක සංකා ගති එමට
එනමුදු ඔබම වේ මගෙ ජීවිතය මට
ජීවිත රඟ මඬල නැළවෙන කවි යහන
පිටපත ලියන්නකො දැන් මා කැමැති ලෙස...

අපේ පිටපත ලියන්නා සර්වබලධාරී දෙවියන් වහන්සේ. මේ සමහර ගීතිකාවල කිතුනු ගීතිකාවල ස්වරයක් තියෙනවා. වචන මාලාවක් තියෙනවා. සමහර විට මර්සලින් ජයකොඩි පියතුමාගේ සමහර ගීතිකා මට සිහිපත් වුණා.

මේ තුන්වැනි කවිය කියවද්දී මට මතක් වුණේ තාගෝර්ගේ ගීතාංජලිය. ඔහුගේ මේ ස්වරය ම තියෙනවා.

තණ නිල්ලේ වාඩි වී අහස දෙස නෙත් අයාගෙන
ඔබේ ආගමනයේ හදිසි විරාජමානතාව පිළිබඳ
සිහින දකිනවා
දසත විහිදි දිමුතු එළිය
ඔබේ රිය එකලු කළ රන් පතාක

ගිම්හාන සුළඟේ සලිත වෙන ලතාවක් මෙන්... තමන්ගේ භක්තිය පිළිබඳ දෙවියන් වහන්සේගේ පරීක්ෂණයට මුහුණ දෙන මනුෂ්‍ය දුවක් පිළිබඳ මේ කවියෙන් පැහැදිලි වෙනවා.

සමහර තැන් මේ ආකාරයට දිව්‍යමය ප්‍රේමයක් මෙයින් ගම්‍ය වෙනවා. රූපාන්තිගේ කවි පොතක මෙය පළවැනි උත්සාහය. ලාල් හෑගොඩ නම් වූ ප්‍රවීණ කවියා වරක් කියූ දෙයක් තමයි සම්පූර්ණ ජීවිත කාලයක් ඇතුළත හොඳ කවි විස්සක් ලියුවොත් එය හොඳට ම ඇති කියලා. රූපාන්ති පොතේ එක කවියකටවත් මාතෘකා නැහැ. මේ හැම කවියක ම මාතෘකාව ප්‍රේමයයි.

ඇයි මං තරහා වෙන්නේ
කවදාවත් බැහැ තරහා වෙන්න
තිබුණ සියලු තරහ මරහ අවසන්
දන්නවද ඇයි කියලා ආදරය නිසා...

අපේ මේ ආදරය ම මහා විප්ලවයක් නොවේ ද? කියන තැනින් මේ කවිය ඉවර වෙනවා නම් හොඳයි. එයින් කියවෙන්නේ ආදරයට අලුත් අර්ථයක් දෙනවා කියන එක.

ගොඩක් කාන්තාවෝ තමන්ගේ කුසලතා සියල්ල පසකින් දමා කුටුම්බ ජීවිතයට හිරවෙනවා. හැබැයි මේ කාන්තාව කියනවා, මං විප්ලවය කරන්නේ මගේ කුටුම්බය හෝ මගේ ප්‍රේම සම්බන්ධය ඇතුළේ කියලා. බොහෝ විප්ලවකාරයො විප්ලවය අතහැරලා කුටුම්බ ගත වෙනවා. ඊට පස්සේ සාම්ප්‍රදායික ස්වාමි පුරුෂයන් සහ භාර්යාවන් වෙනවා. නමුත් විප්ලවය කියන අර්ථකථනයත් මේ කවිය ඇතුළේ වෙනස් වෙනවා. අපි හිතන්නේ කාල්මාක්ස් කළ විප්ලවය ගැන. එංගල්ස්, ලෙනින් වගේ අය විද්‍යාත්මක සමාජවාදය අනුව කරන විප්ලවය. ඒ කියන්නේ යුග පරිවර්තනයක් කරන විප්ලවයක්.

එහෙත් මේ කිවිඳිය කියනවා මගේ විප්ලවය මං කරන්න යන්නේ මගේ කුටුම්බය ඇතුළේ කියලා.

තඹුරු පිපෙයි
සුවඳ පිරෙයි
සුළඟට මුසු වී පාවෙයි
රොන් සොයලා බඹරිඳු එයි
විකසිත කුසුමට ළං වෙයි

දුටු පමණින් සිත ඉල්ලන
ප්‍රේමය පෙනුමට බොළඳ යි...

අපි අහලා තියෙන්නේ කිසා ගෝතමී මිය ගිය දරුවාගේ මෘත දේහය ඔසවාගෙන ගියා කියලා. ඒත් කිවිඳිය කියන්නේ මිය ගිය පෙම ඔසවාගෙන ඇය ඇවිද්දා කියලා.

අපේ කිවිඳිය කිතුනු බැතිමතියක්. එහෙත් ඇය බෞද්ධ පුරාණෝක්තිය කඳිම ලෙස කවියට ගෙනවිත් තියෙනවා. ඒ කියන්නේ මළ ගිය පෙම ඔසවාගෙන මඟ ඇවිදින කිසා ගෝතමියන් හැම තැනම ඉන්නවා කියන එක.

ප්‍රේමය පෙම්වතුන් අතර විතරක් නොවෙයි අඹු සැමියන් අතර ද ප්‍රේමය තියෙනවා. අඹු සැමියන්ගේ ප්‍රේමය අත්විඳීමත් මනරම්. කවුරුත් දන්නව රත්න ශ්‍රී විජේසිංහ කියන කවියාගේ බිරිය මිය ගිය වෙලාවේ මාලතී ඇම්බ්‍රෝස් ලිවුවා හේමමාලි කියලා කවියක්. ඒ කවියේ මෙහෙම සඳහන් වෙනවා.

ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා

දෑත නොහැර ළඟ සිටියේ කඳුළු සලා
සේම අහස දිය වී සෙනෙහස වපුරා
හේමමාලි වී ඉපදී යසෝධරා

මාලිතී ඇම්බ්‍රෝස් කියන්නේ කිතුනු බැතිමතියක්. ඉතාමත් අලංකාර ලෙස බෞද්ධ සිතුවිලි ඇය ගළපලා තියෙනවා.

මේ ආකාරයට විවිධ කෘතිවල කවිවලින් ප්‍රේමය විවිධාකාරයට හඳුන්වා දී තිබෙනවා. රූපාන්තිගේ මේ කෘතිය ප්‍රේමයට නව අර්ථකථනයක් දෙනවා. බොහෝ කවි කිතුනු ගීතිකාවල ශෛලිය පෙන්වනවා. ස්වාභාවික වස්තු නැතහොත් සොබාදහම ප්‍රේමයත් සමඟ අපූරු ලෙස ගළපා තිබෙනවා. තම නිසඟ නිර්මාණය පද වැලක් සේ කවියට නැඟීමේ දී යොදා තිබෙන සොඳුරු පද නිසා මෙයට නැවුම් රසයක් එක් වී ඇති සෙයක් පෙනෙනවා.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.