උමතුව

"සාමාන්‍යය ඇතුළත ඈ උමතු ගැහැනියකි. එහෙත් සුවිශේෂීයත්වය ඇතුළත ඈ ප්‍රඥාවන්තියකි. සාමාන්‍ය තත්ත්වයේ සැරිසරන්නන්ට මේ උමතු ගැහැනිය නිතර දෙවේලේ හමුවෙයි. විශේෂත්වයේ සැරිසරන්නෝ ප්‍රඥාවන්තිය දකිති. එහෙත් විශේෂිතයෝ විරලයහ; එහෙයින්ම ප්‍රඥාවන්තිය කල එළි නොබසී."

මිනිසුන් වන අප බොහෝවිට ජීවත්වන්නේ සාමාන්‍යත්වය ගුරු කර ගන්නා තත්ත්ව ඇසුරේය. එබැවින් සාමාන්‍යත්වයේදී සුවිශේෂී දේ අපට පෙනෙන්නේ විකෘති දෑ ලෙස ය. සොබාදහමට අසීමිත ව ආදරය කරන, සොබාදහමේ ම කොටසක් ව ජීවත් වන බොහෝ දෙනා මේ වන විට විශේෂිත තත්ත්වයේ සිටින නිසා අන් අයට ඔවුන් පෙනෙන්නේ උමතු වූවන් ලෙසිනි. මේ තත්ත්වය ඔබ බොහෝදුරට අත්විඳ ඇතිවාට සැක නැත. එවැනි කියවීම් හමුවේ නිතැතින් ම සිහිපත් වන චරිත කිහිපයක් වේ. ඉහත සඳහන මා උපුටා ගත් කරුණාදාස සූරියආරච්චිගේ 'රතු ඉද්ද' කෘතියේ සඳවතී පිළිබඳ සමාජය දැක්වූයේ එවන් ආකල්පයකි. එහෙත් උමතු බව ආරෝපණය වන්නේ ඔබේ සිතේ පරිමාව අනුව යැයි මා කිවහොත්... ඔබ එකඟ වන්නේද? ඕනෑම දෙයක හොඳ නරක තීරණය වන්නේ ඔබේ හදවතේ පළල අනුවය; ඉදින් කිසිවකට නිර්ණායක දීම සාධාරණ නොවේ.

සොබාදහම ඔබ කියවා ගන්නේ එක් ආකාරයකට ය; මා කියවා ගන්නේ තවත් ආකාරයකට ය; තවකෙක් මේ දෙකට ම වඩා වෙනස් ආකාරයකට කියවා ගනු ඇත. කෙසේ කියවා ගත්තත් සොබාදහම මුළුමනින් ම නිරාවරණය කර ගැනීමට නම් කිසිවකුටත් නොහැකිය. විවිධ අය විවිධ කොටස් විවිධ ලෙස දකිති; එක ම දේද විවිධ ලෙස දකිති. කෙසේ කොහොම දුටුවත් මේ මොහොතේ පෙන්වන දේ ඊළඟ මොහොතේ නොපෙන්වීමට තරම් සොබාදහම විවිධ ය; විචිත්‍ර ය.

ඔබට මතකද මැක්සිම් ගෝර්කිගේ 'පොතක මහිම' කෘතියේ (මෙය කළුබෝවිල සිරිල් සී. පෙරේ‍රා විසින් සිංහලට නඟා ඇත.) එන අපූර්ව දැරිය... සොබාදහම සමඟ අසීමිත ව ගනුදෙනු කරනා ඇ‍ගේ නම විත්කා. ඇය සර්යෝෂා නම් ඇයට හමුවෙන කුඩා පිරිමි දරුවකුට ඔබත් මමත් අත්විඳ නැති සොබාදම් මෙවලමක් ගැන මෙසේ කියනවා.

"දැනට ම මං 'දෝංකාර' හුඟක් එකතු කරලා තියෙනවා. එකක හඬ බොහොම සිහින්. අනෙක බොහොම ගොරෝසුයි. තව එකකින් දෝංකාර තුනක් ඇසෙනවා. තව දෝංකාර තියෙනවා හරියට බෙරයක් උඩ මෑ ඇටයක් තියලා ගහනවා වගේ"

එසේ පවසමින් ඇය සර්යෝෂාව ගල් පර්වතයක් හා පතුලක් නොපෙනෙන ප්‍රපාතයක් වෙත කැඳවා ගෙන යයි. එහිදී ඇය ඔහුට විවිධ දෝංකාර ඇසීමට සලස්වයි. විනිවිඳ යන එකිනෙකට වෙනස් තියුණු ශබ්ධ ඔහුට ශ්‍රවණය වෙයි. සොබාදහමේ පූර්ණ නිහැඬියාවෙන් අත්මිදුණු වහා ඇය සර්යෝෂාගෙන් ඇය සමඟ ගිය ගමන ගැන අසයි. සර්යෝෂා කියන්නේ දෝංකාර වැනි දේ එකතු කිරීමෙන් තමාට පලක් නැත්තේ එය අයිති කර ගැනීමට ‍නොහැකි නිසා බවයි. සර්යෝෂාගේ මේ ප්‍රකාශයෙන් මවිතයට පත්වන විත්කා පෙරළා ඔහුගෙන් මෙසේ අසයි.

"ඉතින් මොනවටද අයිතිකර ගන්නේ. අයිතිකර ගන්න පුළුවන් වුණත් මම නම් අයිති කර ගන්නේ නෑ"

ඇය සොබාදහමේ පණිවිඩය සනාතන ධර්මය හා ගළපන අපූරුව බලන්න. මඳක් සිතන්න විත්කා කෙතරම් සෞම්‍ය හා තිර ලෙස සොබාදහම ඇසුරු කරනවාද කියා.

අප එකිනෙකා මේ සොබාදහම හා කරන ගනුදෙනුවේදී අපේ අනන්‍යතාව සටහන් වෙයි. අප බොහෝවිට උත්සාහ කරන්නේ කිසියම් බලවේගයක්, දැනුමක් හෝ වාසිදායක දෙයක් සමඟ අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට ය. අනන්‍යතාව පිළිබඳ පවතින මේ තණ්හාවෙහි, මහත් ආ‍ශාවෙහි පැවැත්ම ඇත්තේ කොතනකදැයි දැන ගැනීමට අප තුළ කැමැත්තක් ඇති වේ. තමාට අවශ්‍ය කරන ඇඳුම්, ආහාර, නිවාස වැනි ශාරීරික අවශ්‍යතා සමඟ අනන්‍යතාවක් ඇතිකර ගැනීම තේරුම් ගත හැකිය. එහෙත් අප සිත් අභ්‍යන්තරයෙන් අතීතය, සම්ප්‍රදාය හෝ අප ආදරය කළ දෑ ගැන අනන්‍යතාවක් ඇතිකර ගැනීමට කරන වෑයම ගැන පුදුම සිතේ.

අනන්‍යතාව විසින් අපට ආරක්ෂාව නමැති සිවියක් නිර්මාණය කරයි. එය මහත් සැනසිල්ලකි. අපි මොනයම්ම හෝ මායාවකට නතුව ආරක්ෂාව, සැනසිල්ල ලබන්නට උත්සාහ කරන්නෙමු. පැහැදිලි ව ම පෙනෙන පරිදි ඔබට මට බොහෝ මායා අවශ්‍යය ය. ජීවත්වීම සඳහා මිනිස්සු මායාවන් සොයති.

අප මායාව ඇතුළත අනන්‍යතාව සොයද්දී සඳවතී හෝ සන්තියාගෝ හෝ විත්කා අනන්‍යතාව සෙව්වේ සොබාදහමෙනි. එබැවින් ඔවුහු වෙනස් උමතු චරිත සේ බොහෝ දෙනකුට පෙනුණහ. විශේෂත්වය කියවා ගැනීමට අපට ඇති නොහැකියාව ඊට හේතුවයි. ඒත් පටු අරමුණු සහිත බොහෝ දෙනකුට වඩා මේ අය සැබෑ මනුෂ්‍යත්වය නියෝජනය නොකරන්නේද?

මේ සියලු කාරණා මෙසේ ගොනු කළේ නමක් හෝ ලිපිනයක් නොමැතිව එක්තරා සොයුරියක මා වෙත එවා තිබූ දීර්ඝ ලිපියක් නිසා ය. ඇය අසීමිත ව සොබාදහම සමඟ ගනුදෙනු කරන නිමක් නැති කල්පනා රාශියක අයිතිකාරියකි. ඇගේ සිතිවිලි අන් අයගේ විහිළුවට ලක් ව ඇතැයි ඇය ලියා තිබිණි. එහෙත් මතක තබා ගන්න? ඔබේ සිතිවිලිවල බර දරාගත නොහැකි තරම් පුළුල් හදවත් මේ ලොව දැන් අවම වන්නට පුළුවන. මට සිතෙන්නේ ඔබේ ඒ අනන්‍යතාව මේ සියල්ලට වඩා වැදගත් බවයි.

දැහැන්ගත සිතෙන්, විනිවිඳින සිතිවිල්ලෙන් මා සොයා යන්නේද ඔබ වැන්නන් ය; එබැවින් ඔබේ ඒ දීර්ඝ ලිපිය මට ඉතා වටින්නේ ය. ඒ හෘදය සංවේදී ගමනේදී හමු වූ ඇගේ හදවතේ විසල් බව බොහෝ විශිෂ්ට නිර්මාණයන්හි ගැබ් ව තිබූ බව මා සිහිපත් කළේ එබැවිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.