ජීවිතය ගොඩනඟන අපූරු නවකතාවක් | සිළුමිණ

ජීවිතය ගොඩනඟන අපූරු නවකතාවක්

කර්තෘ - ජයකොඩි සෙනෙවිරත්න

ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම

අද අප ජීවත්වන්නේ විවිධාකාරයේ ගැටලු මුල්කරගත් සංකීර්ණ සමාජයකයි. විශේෂයෙන් නාගරික හා ග්‍රාමීය භේදයෙන් තොරව පවුල් සංස්ථාව ආශ්‍රිත ප්‍රශ්න තුළින් සමාජය අර්බුදකාරී තත්ත්වයකට පරිවර්තනය කිරීමට හේතු වී ඇතැයි යන්න අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. අඹු සැමියන් අතර, දෙමවුපියන් දරුවන් අතර, සහෝදර සහෝදරියන් අතර මෙන්ම ඥාතින් - ඥාතින් අතර ද නොයෙකුත් හේතු නිසා ඇතැම් විට ඇතිවන නොහොඳ නෝක්කඩුකම් කෙළවර වන්නේ ශෝචනීය සිද්ධිවලින් විය හැකිය. බහුජන මාධ්‍ය මඟින් මේ තත්ත්වයන් හෙළිදරව් කිරීම කළ යුතු වන්නේ රටේ ජනතාව අතර අවබෝධයක් ඇති කිරීම පිණිසයි.

මේ සිද්ධීන් නිර්මාණාත්මක සාහිත්‍ය මඟින් ද යම් තරමකට විවරණය කිරීම කාලෝචිත යන්න මගේ හැඟීමයි. ඉහතින් සඳහන් කළ පරිදි දෙමවුපියන් හා දරුවන් අතර දරුවන් ඔවුනොවුන් අතර පවුල් - පවුල් අතර ඇති ගැටුම් මනා ලෙස විවරණය කර ඇති නවකතාවක් ලෙස ප්‍රවීණ නවකතා රචකයෙකුවු. ජයකොඩි සෙනෙවිරත්න මහතා මෑතකදී ලියූ ‘සුධාරි’ නම් වූ නවකතාව හැඳින්විය හැකිය. සෙනෙවිරත්න මහතා මීට පෙර රචිත නවකතා රටාවට තරමක් වෙනස්ව ඉදිරිපත් කර ඇති මේ නවකතාව ආරම්භ වන්නේ තමන් රචිත කෙටිකතා අත්පිටපත මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර ගැනීමට ප්‍රකාශකයෙකු සොයා යන ජයවීර නම් චරිතය හරහාය. එහෙත් තමන් බලාපොරොත්තු වූ ආකාරයට එය භාරගෙන මුද්‍රණය කරන්නට කැමැති ප්‍රකාශයෙකු සොයාගත නුවුණු මොහොතක පළාත්බද කුඩා මුද්‍රණාලයක හිමිකරුවෙකු වූ සෝමසිරි පතිරණ, තමාගේ කෙටිකතා එකතුව සහනදායි මුදලකට මුද්‍රණය කර දෙන බව සඳහන් කිරීම ගැන ජයවීරට ඇතිවූයේ අපමණ සතුටකි.

සෙනෙවිරත්න මහතාගේ ‘සුධාරි’ නවකතාව මේ ආකාරයෙන් දිග හැරෙන්නේ ජයවීර හරහා ය. පතිරණ පවුල සමඟ කෙමෙන් කෙමෙන් ළෙන්ගතු බවක් ගොඩනඟා ගන්නා ජයවීර එම පවුලේ කතාන්තරය මඟින් නූතන සමාජයේ මධ්‍යම පන්තික පවුල්වල සිදුවන අර්බුදකාරී තත්ත්වයන් හෙළි පෙහෙළි කරයි.

සිසිල මුද්‍රණාලයේ හා පොත්හලේ අයිතිකරුවා වූ පතිරණගේ බිරිය චූලනිය. ඇය යම් තරමකට ආඩම්බරකාරි හා අනුන්ව සමච්චලයට ලක්කරන චරිතයකට හිමිකම් කියන බව මේ නවකතාව කියවන පාඨකයකුට වැටහෙන කරුණකි. එවන් චරිත අපේ සමාජය තුළ බහුලව දැකිය හැකිය. ජයවීරට මුල් වරට පතිරණ පවුල මුණ ගැසෙන විට ඔවුන්ට සිටියේ සුදස්සනා නම් වූ දියණිය පමණි. කාලයක් තිස්සේ තමුන් අපේක්ෂා කළේ පිරිමි දරුවකු ලැබේ ය යන්න වුවත් දියණිය ඉපදී වසර නවයක් ගත වී වුවද ඔවුන්ට එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ තීරණය කළේ පිරිමි ළමයෙකු අරන් හදාවඩා ගැනීමටයි.

මේ නවකතාවේ එන ලෝලිත ඒ පිරිමි දරුවා ය. එහෙත් ඊට මසකට පසු චූලනිට පුතෙකු ලැබීමත් සමඟ ම ඔවුන්ගේ පවුල් ජීවිතයේ නව මුහුණුවරක් ගොඩනැඟිණ. ලලිත ඔවුන්ගේ ලෙයින් පුතා වූ අතර දරුවන් දෙදෙනාටම එක හා සමානව සැලකීමට ඔවුන් පසුබට වූයේ නැත. මේ දෙසොහොයුරන් මුලදී එකම පාසලක අධ්‍යාපනය ලබන අතරතුරේ නාට්‍ය තරගයකට පාසල මඟින් අයැදුම්පත් කැඳවන අවස්ථාවේදී ලෝලිත එක් චරිතයකට තේරුණි. ඒ රෝමියෝ ජූලියට් නාට්‍යයේ රෝමියෝ චරිතයටයි. ජූලියට්ගේ චරිතයට ලලිත හා එකම පන්තියේ ඉගෙනගත් ත්‍රිරෝද රථ රියැදුරෙකු වන අල්විස්ගේ දියණිය වූ ‘සුධාරි’ තේරුණි. නාට්‍යයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසින්දෝ සුධාරි සමඟ පෙම් සබඳතාවකට ලෝලිත යොමු වෙයි. ලලිතගේ යටි සිතෙහි ද සූධාරි ගැන බලාපොරොත්තුවක් නොතිබුණා නොවේ.

මේ අතර සුදස්සනා එංගලන්තයේ පෑනේ මිතුරකු හා හාද වීමේ ප්‍රතිඵලයක් ලෙස දෙමවුපියන්ගේ ආශිර්වාදය මැද විවාහ වී විදේශගත වූවාය. සුධාරිට ලෝලිතගේ උපකාරයෙන් පිළිගැනීමේ නිලධාරිනියක ලෙස රැකියාවක් ලැබුණු අතර තව දුරටත් ඔවුන් දෙදෙනා අතර පෙම්දම තහවුරු විණ. චූලනි මේ සබඳතාවට මුලදි එරෙහි වූවත් අවසානයේදී එයට කැමැත්ත ලැබුණු අතර ලෝලිත හා සුධාරි විවාහ දිවියට එළැඹුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඇත්තෙන්ම ලෝලිතගේ ඇතැම් ක්‍රියා ගැන පතිරණ යුවළ සිටියේ කලකිරීමකිනි. චූලනිගේ සහෝදරයකු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ නමුත් ඔහු සමඟ චූලනි සිටියේ හිත හොඳකින් නොවේ. එයට හේතුව උරුමයෙන් තමන්ට හිමි දේපළ ද ඔහු අත්පත් කරගෙන සිටි නිසයි. ප්‍රේමසිරිගේ පුතා වන කවිඳු සමඟ මුල සිටම ලෝලිත එකතු වී සිටි අතර එයට ද චූලනි අකැමැත්තෙන් සිටියාය.

සුධාරි විසින් ලලිත රට යන අවස්ථාවේ ක්‍රිකට් පිත්තක් තිළිණ කළේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු වූ නිසයි. එයට ප්‍රතිචාරයක් ලෙස ලලිතද සුවඳ විලවුන් බෝතලයක් සූධාරිට දී තිබුණු අතර ඒ ගැන සඳහන් තොරතුරක් සුධාරිගේ දින පොතක දැකීමෙන් සැකයට හා කෝපයට පත් ලෝලිත ඇයට පහර දෙයි. මේ වන විට ලෝලිත මත්පැන් පානයට ද පෙලඹි සිටි බව පෙනේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සුධාරි තමන්ගේ නිවසට යාම ගැන ලෝලිත කෝපයට පත්වූ නිසාදෝ ඇය කැඳවාගෙන ඒමට ඔහු ගියේ නමගිය චණ්ඩියකු සමඟයි. සුධාරිගේ අයියා වන රුසිරු ද චණ්ඩියෙකි. ඔහු ලෝලිත ගැන සිටියේ හිත හොඳකින් නොවේ. සුධාරිට කතා කළ ආකාරය ගැන උරණ වූ රුසිරු ගැසූ පහරකින් ලෝලිතට සිහි නැති විය. මෙවන් සිද්ධි අප සමාජය තුළ නොසිදුවෙනවා නොවේ.

කෙසේ වෙතත් නොබෝ කලකින් ලෝලිත - සුධාරි අසමඟිය නිම වුණේ පතිරණ පවුලේ මැදිහත් වීම මඟිනි. චූලනි සුධාරි ගැන පැහැදීමෙන් සිටීම එම තත්ත්වයට හේතුවක් විය. ලලිත ද ලෝලිතට ඇත්ත පහදා දීම මඟින් තවදුරටත් ප්‍රශ්නය නිරාකරණය වීමට හේතුවක් විය.

සමස්තයක් වශයෙන් ගත් විට ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ නවකතාව වර්තමාන සමාජයේ සිදුවන අර්බුද පිළිබඳ කරන ලද කදිම විවරණයක් ලෙස සැලැකිය හැකිය. චූලනි, පතිරණ, ලෝලිත වැනි චරිත මෙන්ම පේමසිරි, කවිඳු, රුසිරි යන චරිත ද අපට එදිනෙදා ජීවිතයේදී හමු වේ. සමාජයේ සිදුවන විවිධ ගැටලු හා ඒ ගැටලු අතර ජීවිතය ගොඩනඟා ගන්නා අය පිළිබඳවත් හෙළි දන්වන ‘සුධාරි’ එක දිගට වෙහෙසක් නොමැතිව කියවාාගෙන යා හැකි නිර්මාණයකි. මේ නවකතාවත් සමඟම සෙනෙවිරත්න මහතාගේ ලේඛක ජීවිතයේ නව පරිච්ඡේදයක් ඇරැඹුණා යැයි කිවහොත් ඒ නිවැරැදිය.

Comments