සිනමාවේ දේශීය ලකුණ තාමත් න්‍යායගත වී නෑ..

ශ්‍යාම් ප්‍රනාන්දු

වසර 2017 ජනාධිපති සම්මාන හා වසර 2016 සිග්නීස් උත්තමාචාර සම්මාන උලෙළවලදී හොඳ ම නළුවාට හිමි සම්මානය ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය වෙනුවෙන් හිමි කරගන්නා ඔහු වසර 2014 රාජ්‍ය නාට්‍ය උලෙළදී හොඳ ම වේදිකා නාට්‍ය නළුවාට හිමි සම්මානය ‘ආදර වස්තුව‘ වේදිකා නාට්‍ය වෙනුවෙන් ද වසර 2017 රාජ්‍ය නාට්‍ය උලෙළ හොඳ ම සහය නළුවාට හිමි සම්මානය නැතුව බැරි මිනිහෙක් වේදිකා නාට්‍ය වෙනුවෙන් හිමි කර ගන්නේ ය. ‘‘නමින් ශ්‍යාම් ප්‍රනාන්දු වන ඔහු වසර දාහතක රංගන ඉතිහාසයේ වීරයා මැරිලා, සිහින හොරු අරන්, ආපසු හැරෙන්න බෑ, බකමූණා වීදි බසී, සිරිවර්ධන පවුල, ආදර වස්තුව, නැතුව බැරි මිනිහෙක් වැනි වේදිකා නාට්‍ය ගණනාවකත්, ඔබ නැතුව ඔබ එක්ක, ප්‍රේමය නම්, ඇවිළෙන සුලුයි (තිරගත වීමට නියමිත), රතු සමනළ හීනයක්, දැවෙන විහඟුන්, විදූ, සක්කාරං, සිනේමා ඇතුළු සිනමා කෘති රාශියක හා සීරජ වැනි ටෙලිනාට්‍ය කීපයක ද රංගන සටහන් තැබූ තුරුණු රංගවේදියෙකි. ඔහු දැනට පමුණුගම මහා විද්‍යාලයේ ඉංග්‍රීසි පුහුණු ගුරුවරයකු ලෙස සේවය කරන අතර රංගවේදියකු ලෙස ද වේදිකාව, පුංචි තිරය හා රිදී තිරයේ ද සිය දස්කම් දක්වන්නේ ය.

• රංගවේදියකුට ප්‍රජාවක් ඉදිරියේ සතර අභිනය පෑමට වඩා කැමරාවක් ඉදිරිපිට සිට අභිනය පෑම තුළ රංගනයේ සැඟවුණු තාක්ෂණික පාර්ශ්වයක් ද හඳුනා ගත හැකි වෙනවා. වේදිකාවේ මෙන් ම සිනමාවේ ද සම්මානිත රංගවේදියකු ලෙස ඔබ ඒ තාක්ෂණික ක්‍රියාදාමය හඳුනාගන්නේ කෙසේ ද?

කුමන මාධ්‍යයකදී වුවත් නළුවකුගේ රංගන ප්‍රවේශයේ වෙනසක් සිදුවන්නේ නෑ. චිත්‍රපටය හෝ නාට්‍යය ආදී කුමන මාධ්‍යයක වුවත් ඒ නිර්මාණය ඉල්ලා සිටින රංගන ප්‍රවේශයයි, නළුවා රංගනයේදී උපයෝගී කරගන්නේ. තාක්ෂණික කාරණා රංගනයේදී සජුව ම බලපාන්නේ නෑ. සිනමාව කියන්නේ ම තාක්ෂණික කර්මාන්තයක්. එහිදී සිනමා භාෂාව හා ප්‍රකාශනය ඊට උචිත ලෙසයි යොදා ගන්නේ. රංගන ප්‍රවේශය තුළ වේදිකාවේත් සිනමාවේත් වෙනසක් වන්නේ නෑ. මෑතකාලීනව වේදිකාව තුළත් තාත්වික රංගනය පිළිබඳ ව ලෝකයේ හැදෑරීම් සිදුවෙමින් පවතිනවා. ස්ටැනිස්ලව්ස්කි නම් රංගධරයා ගොඩනඟන රංග ක්‍රමය ඔස්සේ ගොඩනැඟෙන යථාර්ථවාදී රංගන ප්‍රවේශය සිනමාවේ රංගනයටත් බොහෝ සේ සමානයි. එහෙත් ඔබ පවසන කාරණයට අනුව සිනමාවේදී රූපය ප්‍රබල වන නිසාත්, අප සාමාන්‍ය ජීවිතයේදී දකිනවාට වඩා පනස් හැට ගුණයකින් රූපය විශාලව දකින නිසාත් රංගන ශිල්පියාට සියුම් භාව ප්‍රකාශන අවස්ථා ලැබෙනවා.

• සතර අභිනයෙන් සාත්වික අභිනය පෑම රංගන ශිල්පියකු විසින් මනාව පුහුණු කර සිදු කළ යුතු වූවක්.ඔබ සඳහන් කරන සිනමාවේ සියුම් භාව ප්‍රකාශනයේදී එකී සාත්වික අභිනය අභියෝගාත්මක රංගනයක් වනවා නොවේද?

සාත්වික අභිනය පිළිබඳව බොහෝ දෙනා අර්ථකථනය කරන්නේ මුහුණෙන් අදහස් ප්‍රකාශ කිරීම කියලයි. එය නිවැරදි නැහැ. චරිතයක මනෝභාවයන් දරා සිටීම නිසා ඒ චරිතය මුහුණ දෙන වෙනස්කම් සාත්වික අභිනයයි. එය නිරූපණය වන්නේ මුහුණෙන් පමණක් නොවෙයි. මුළු ශරීරය ම ඊට අයත් වෙනවා. විවිධ මනෝභාවයන් වෙනත් පුද්ගල ස්වරූපයක මතු කරන්නට යාමේදී නළුවාගේ ශරීරය තුළ සිදුවන රසායනික ක්‍රියාවලි පිළිබඳව ලෝකයේ මේ වනවිට විවිධ අධ්‍යයනයන් සිදු වෙනවා. එහිදී නළුවාට ඒ හැඟීම් කොතෙක් දුරට තමාගේ ශරීරය තුළ දරා සිටිය හැකිද කියන කාරණය මතු කරන කැඩපත මුහුණ ලෙස සලකන්න පුළුවන්. එසේ නොමැතිව මුහුණේ මස්පිඩු නැටවීම මඟින් සාත්වික අභිනය දැක්වීමක් කරන්න බැහැ. එය සත්‍ය වශයෙන් ම සිදු වන්නේ රසායනික ක්‍රියාවලියකින්. සමාරෝපණයේදී අභ්‍යන්තර සමාරෝපණය හා බාහිර සමාරෝපණය ලෙස දෙයාකාරයක් තිබෙනවා. ලංකාවේ බොහෝවිට සාත්වික අභිනය සිදු වන්නේ බාහිර සමාරෝපණ අවස්ථාවේදීයි. පුද්ගලයකු අදාළ මනෝභාවයේදී මේ ආකාරයට හැසිරෙනවා යැයි සිතා බාහිරව ඊට සමාරෝපණය වී මුහුණේ සිදු කරන වෙනස්කම් තමයි බොහෝ අවස්ථාවන්හිදී සාත්වික අභිනය ලෙස අපට හමු වන්නේ. එහෙත් ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි වැනි ප්‍රවීන නළු නිළියන් සාත්වික අභිනය නියමිත අභ්‍යන්තර සමාරෝපණයෙන් ම සිදු කර තිබෙන බව අපට දකින්න ලබෙනවා. එහෙත් අපේ සිනමාවේ දක්ෂ ලෙස සාත්වික අභිනයන් ඉදිරිපත් කළ රංගන ශිල්පීන් ඒ වකවානුව තුළ සමාජයට මගහැරී තිබුණු බවක් තමයි දක්නට ලැබෙන්නේ. ලෝකය තුළත් සාත්වික අභිනය පිළිබඳ මතවාද කලින් කලට වෙනස් වෙනවා. එක් යුගයක සාත්වික අභිනය ලෙස හැඳින්වූ රංගනය පසු කාලීන වනවිට අධිරංගනයක් ලෙස නම් වෙනවා. මේ මොහොතේ අප සාත්වික අභිනය ලෙස හඳුන්වන රංගනය තවත් යුගයකදී අධි රංගනයක් ලෙස හැඳින්වෙන්නත් පුළුවන්.

• වේදිකාවට අදාළ දේශීය රංග සම්ප්‍රදායක් පිළිබඳ ව විවිධ හඳුන්වාදීම් පනහ දශකයේ පටන් මේ වනතුරුත් සිදුවෙනවා. සිනමාව තුළ එසේ දේශීය රංග සම්ප්‍රදායක් පිළිබඳ ව හඳුන්වාදීම් ඒ තරම් ප්‍රකට ව සිදුවන බවක් දකින්න නැහැ නොවේද?

අපේ සිනමා ඉතිහාසය තුළ දේශීය රංග සම්ප්‍රදායක් ගොඩනැඟීමට අවශ්‍ය මූලික සාධක සියල්ල මේ වනවිට අතීතයේ සිටි ප්‍රතිභාන්විත නළු නිළියන් විසින් ගොඩනඟා තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ මේ පිළිබඳ ව අධ්‍යයනය කර පර්යේෂණාත්මක ව මතවාද හා න්‍යායයන් ගොඩනැඟීම කියලයි මා විශ්වාස කරන්නේ. එය උගතුන්ගේ කාර්ය භාරයක්. මේ සාධක සියල්ල අපේ ප්‍රවීණයන් අතින් අහඹුවකින් සිදුවූවන් නොවෙයි. ඒවා ඔවුන් සබුද්ධිකව දැනුම්වත්භාවයෙන් ගොඩනැඟූ දේවල්. අපි වෙනත් රටවල රංග සම්ප්‍රදායයන් ගුරුකොට ගන්නවා සේ ම අපේ රටේ සමාජ සංස්කෘතියට අනුගතව පුද්ගල චරිත ගොඩනැඟීම සිදුවූ ආකාරය අධ්‍යයනය කළොත් ඒ දියුණු රංග වින්‍යාසයන් අපට හෙළිකරගත හැකි වෙනවා. එය මුළු මහත් ආසියානු කලාපය ම නියෝජනය කරන රූපණ ක්‍රමයක් ලෙස න්‍යායගත කළ හැකි රංග වින්‍යාසයක් වේවි. ශ්‍රී ලංකාවේ රූපණය පිළිබඳ පශ්චාත් උපාධි හැදෑරූ රංගනවේදීන් සිටිනවා. සෞම්‍ය ලියනගේ වැන්නන් ඒ අතර වෙනවා. ඔහු තමන්ගේ ශාස්ත්‍රපති පර්යෙෂණයට තෝරා ගන්නේ ශ්‍රී ලංකාවේ නළු නිළියන් ගොඩනැඟූ රූපණ ක්‍රමවේදයේ න්‍යායයයි.

• රංගනය පිළිබඳව පුහුණු කිරීමේ විවිධ ආයතන, විශ්වවිද්‍යාල හා රංග පාසල් තිබෙනවා. එහෙත් සිනමාවේ මෙන් ම ටෙලිනාට්‍ය කලාවේත් රංගවේදීන් ලෙස ඉදිරියට පැමිණීමට එකී අධ්‍යයනයන්හි බලපෑමක් නැති බවකුයි වර්තමානයේ දක්නට ලැබෙන්නේ?

ඕනෑම රටක ප්‍රසිද්ධ ප්‍රකාශන මාධ්‍යයන්හි ඔබ මතු කරන කාරණය දක්නට ලැබෙනවා. එහෙත් එය ඒ තරම් සතුටුදායක තත්ත්වයක් නොවෙයි. නිරූපණ ශිල්පින්ට මෙන් ම වෙනත් වෘත්තිකයන්ට කිසියම් මට්ටමක නිරූපණය කිරීමේ හැකියාවක් තිබෙන්න පුළුවන්. එය නිර්මාණයකට යොදා ගැනීම තීරණය වන්නේ ඒ නිර්මාණය ඉල්ලා සිටින රංගනයේ ප්‍රමාණය අනුවයි. සරල කතාවකට ප්‍රවීණ හැදෑරීමක් තිබෙන රංගන ශිල්පියකුගේ දායකත්වය අනවශ්‍ය වන්න පුළුවන්. වර්තමාන ටෙලිනාට්‍යවලට එතරම් තියුණු රූපණයක් අවශ්‍ය වන බවක් දකින්නත් නැහැ. එහෙත් එක්තරා කාලයක එසේ උසස් රූපණයක් අවශ්‍ය වූ කාලයක් තිබුණා. ගිරය, කඩුල්ල වැනි ටෙලිනාට්‍ය බිහි වන්නේ ඒ යුගයේයි. එහෙත් අවරගණයේ ටෙලිනාට්‍යයකට අවශ්‍ය රූපණය අවුරුදු කුමාරියක පමණක් වන කෙනකුට වුණත් කළ හැකියි. එහෙත් වේදිකාවේ සහ සිනමාවේ දී ඒ කෘතිය විසින් ඉල්ලා සිටින මතුපිට පෙළින් එහා ගිය ශිල්පියා මතු කරන යටි පෙළට සාධාරණයක් ඉටුකරන හොඳ නිරූපණයක් ඉදිරිපත් කරන්න නම් අභ්‍යාස කළ පුහුණු රූපණ ශිල්පියකුගේ දායකත්වය අවශ්‍ය වෙනවා.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.