හරි වහර | සිළුමිණ

හරි වහර

1. ගම් සබාව - සාමාන්‍යයෙන් ව්‍යවහාරයෙහි බෙහෙවින් යෙදෙනුයේ ‘ගම් සභාව’ යනු යි. උගත් - නූගත් බොහෝ දෙනා ලේඛනයේ දී මෙ සේ යොදති. ‘ගම්’ යනු හෙළ වදනෙකි. ‘සභා’ යනු සංස්කෘත - පාලි තත්සමයෙකි. එ දෙක එක් වැ යෙදීමට ව්‍යාකරණයෙන් බාධාවක් නැත දු එ බඳු යෙදුම් එ තරම් නො ගැළැපේ. එ හෙයින් ‘සභා’ යන්නෙහි (මහාප්‍රාණ) ‘භ’ වෙනුවට (අල්පප්‍රාණ) ‘බ’ යොදා ‘ගම් සබා’ යැ යි ලිවීම වඩාත් වහරට ගැළැපේ. ග්‍රාම සභා, ගාම සභා යනු ද යෝග්‍ය වන නමුදු වහරෙහි යෙදෙන වදනට වඩාත් හුරු යෙදුමක් ම යෙදීම මැනැවි.

2. ගනුදෙනු - මේ නිවැරැදි වදන බොහෝ දෙනෙක් ගණුදෙණු යැ යි වරදවා යොදති. මෙහි දෙ තැන්හි ම යෙදෙනුයේ (දන්තජ) ‘නු’ විනා (මූර්ධජ) ‘ණු’ නො වේ. ‘ගනු’ යනුත් ‘දෙනු’ යනුත් ‘නු’ ප්‍රත්‍යයාන්ත කෘදන්ත යි. ‘ගන්’, ‘දේ’ යන ක්‍රියා මූලවලින් ඒ නිපැදී ඇත්තේ ය. එ හෙයින් එහි (මූර්ධජ) ‘ණු’ යෙදීමට කිසි දු හේතුවක් නො පැනේ.

3. ගද්‍රභ - සංස්කෘථ තත්සමයෙකි. මෙහි ‘ද’ යනු හා ර කාරාංශය යෙදෙන සැටිත් (මහාප්‍රාණ) ‘භ’ යෙදෙන සැටිත් විශේෂයෙන් සැලැකිය යුත්තේ ය. ඇතැම්හු ‘ගර්දභ’ යැ යි මෙ ‍වදන වරදවා ලියති. මේ හා අනුරූප වැ පාලියෙහි ගද්දභ යනුත් සිංහලයෙහි ගදුබු යනුත් යෙදේ. කොටළුවා හැඟැවීමට යෙදෙන වදනෙකි. වහරෙහි වඩාත් පැතිරී ඇත්තේ ‘බූරුවා’ යන්න යි.

4. ගණ්ඨිපද - පාලි තත් සමයෙකි. මෙහි (මූර්ධජ) ‘ණ්’ යෙදෙන සැටිත් (මහාප්‍රාණ) ‘ඨි’ යෙදෙන සැටිත් විශේෂයෙන් සැලැකිය යුතු යි. මේ හා අනුරූප වැ සංස්කෘතයෙහි ‘ග්‍රන්ථි පද’ යනුත් සිංහලයෙහි ‘ගැටපද’ යනුත් යෙදේ. පාලි පොත්හි පැනෙන, අර්ථාවබෝධය දුෂ්කර ස්ථාන පැහැදිලි කොට විස්තර කිරීමේ දී යෙදෙන වදනෙකි.

5. ගරුඩා - සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද සමාන වැ යෙදෙන ‘ගරුඩ’ ශබ්දයට ‘ආ’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපන් පදයෙකි. ඇතැම්හු (සඤ්ඤක) ‘ඬ’ සහත වැ ‘ගරුඬා’ යි යොදත්. සංස්කෘතයෙහි හෝ පාලියහි හෝ සඤ්ඤකය සිංහලයෙහි යෙදෙනුයේ ‘ගුරුළු’ යනු යි. මනඃකල්පිත පක්ෂියකු හඳුන්වනු වස් මේ වදන යෙදේ. ලංකාවේ එක්තරා විෂ සහිත සත්ත්ව විශේෂයක් හඳුන්වනු පිණිස (සඤ්ඤක) ‘ඬ’ සහිත ‘ග‍රුඬා’ යන වදන යෙදේ.

6. ගර්හිත - මේ සංස්කෘතයෙහි අතීත කෘදන්ත පදයෙකි. ගර්හා කරන ලද, දොස් සහිත ආදි අර්ථ එයින් ලැබේ. ඇතැම් විටෙක මේ වදන නුසුදුසු තන්හි යොදනු ද දක්නා ලැබේ. කලකට පෙර ධාවනයෙන් ඉවත් කළ, ධාවනයට නුසුදුසු බස් රිය හැඳින්වීම සඳහා ‘ගර්හිත බස්’ යනු යොදා ඇති අයුරු දක්නට ලැබිණ. ඉංගිරිසියේ ‘Condemned’ යන්නෙහි අරුත ගර්හිත යන්නෙහි ඇති නමුදු ‘Condemned bus’ යනු ‘ගර්හිත බස්’ යැ යි යෙදීම කිසි සේත් නොගැළපේ. වදනක් යෙදීමේ දී එහි වාච්‍යාර්ථය පමණක් නො ව එහි ප්‍රකරණාර්ථය ද සලකා බැලිය යුතු බව මෙයින් පෙනේ.

7. ගලතුරුමුළ - මේ වනාහි පුරාතන යුගයේ මෙ රට වූ අෂ්ටාවයතනවලින් එකක් සේ ගැනේ. අට තැන්, අට විදු තැන් ඈ නම්වලිනුදු හැඳින්වුණේ මේ අෂ්ටා යනන යි. මෙහි දෙ වන අකුර (දන්තජ) ‘ල’ ද අවසන් අකුර (මූර්ධජ) ‘ළ’ ද වන අයුරු කෙරෙහි සැලැකිල්ල යොමු කළ යුතුය. මෙහි ‘ගල’ යනු ශෛල අර්ථයෙන් ම යෙදී ඇති හෙයින් (මූර්ධජ) ‘ළ’ නො යෙ‍දේ. ‘මුළ’ යනු මූල (ප්‍රථම හෝ ප්‍රධාන හෝ) අර්ථයෙන් නො ව සමූහ අර්ථයෙන් යෙදෙන හෙයින් එ තන්හි (දන්තජ) ‘ල’ නොයෙදේ. ඇතැම් වියතුනුදු එ තන්හි (දන්තජ) ‘ල’ යොදනු දක්නා ලැබෙන නමුදු ඒ වරදෙකි. පාලියෙහි මේ හා අනුරූප වැ යෙදෙනුයේ සේලාන්තරමූළ යන්න යි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.