උත්සව කාලෙට දෙන තෑගිවලට අහු වෙන්න එපා!

අලුත් අවුරුද්දත් පහු වෙලා දැන් සති දෙක-තුනක් වෙනවා. දැන් වෙසක් උත්සවයත් ඉවර වෙලා. අවුරුදු උණුසුම නැතත් වෙසක් උණුසුම තවම තියෙනවා. අපි මීට කාලෙකට කලින් වෙනත් ආකාරයකට පෙන්නල දීපු කරුණක් අද ව්‍යාපාරික ලෝකය හා සම්බන්ධව පෙන්වා දීම සුදුසුයි කියලා හිතුණේ අපේ ජනතාව බොහොම ඉක්මනට රැවටෙන නිසයි.

මේ රැවටිල්ල කොයි තරම්ද කිව්වොත් මුදල් ආයෝජන මුවාවෙන් ලංකාවම රවට්ටපු 'සක්විති රණසිංහ' ආයිත් ඇවිත් සල්ලි බාරගෙන, අධික පොලියක් දෙනවා කිව්වොත් එයා ළඟට ගිහින් මුදල් තැන්පත් කරන අයත් ඉන්නවා. අපි ඒ තරම් දුරදිග නොබලා කටයුතු කරන පිරිසක් කියල කියන්නත්, ඒ වගේම හිතන්නත් ලජ්ජයි. කොහොම වුණත් මේ ලිපිය කියෙව්වට පස්සෙ ඔබට තේරෙයි ඔබ රැවටිලිවලට අහු වෙන කෙනෙක්ද නැද්ද කියලා.

ඉස්සර අලුත් අවුරුදු දවස්වලට විතරක් සීමා වෙලා තිබුණු ගනුදෙනු කිරීමේ මේ චාරිත්‍ර ක්‍රමය දැන් වෙසක් පොසොන් කාලය දක්වාම ඇදිලා ගිහිල්ලා තියෙනවා. අපි කොහොම වුණත් අලුත් අවුරුදු දිනවලින්ම මේ කතාව පටන් ගන්නඑක හොඳයි. අලුත් අවුරුදු නැකත්වල ප්‍රධානම චාරිත්‍රයක් තමයි නැකතට ගනුදෙනු කිරීම. මේ ගනුදෙනු කිරීම චාරිත්‍රය පළමුව ගෙදරදි කරලා පස්සෙ බැංකුවට ගිහින් ගනුදෙනු කරනඑක කාලයක් තිස්සේම අපේ‍ රටේ තිබුණු සංස්කෘතික අංගයක්. මේ නිසා අලුත් අවුරුදු දවසේ බැංකු විවෘත කරලා තිබුණා‍. ඒත් මීට අවුරුදු කීපයකට කලින් අලුත් අවුරුදු දිනයේ බැංකු විවාත කිරීම නවත්තලා දැමුවේ ඒ බැංකුවල ඉන්න සේවක සේවිකාවන් අලුත් අවුරුද්දට ගෙදර ඉන්න ඕනෑ කියන මතයක් රටේ ඉහළම තැනකට වාර්තා වූ නිසයි. කොහොම හරි ඒ එක්කම එන ආසන්න වැඩ කරන දිනයේ බැංකු විවෘත කරන්නේ අර නැකැත් දිනයේ නොකළ ගනුදෙනු සිදු කරන්නයි. බැංකු විතරක් නෙමෙයි, මේ වන විට මූල්‍ය සමාගම් සියල්ලත් ඒ කාර්යයට අත ගහල තියෙන්නේ. අවුරුද්දට සියලු පාරිභෝගිකයන්ට ගනුදෙනු කිරීම මේ අනුව බැංකුවලත් මූල්‍ය සමාගම්වලත් සිද්ධ වෙනවා. මූල්‍ය සමාගම් නම් එදාට එන ගනුදෙනුකරුවන්ට අලුත් අවුරුදු කෑම මේසයකුත් සූදානම් කරලා සංග්‍රහ කරන්න කටයුතු කරනවා.

සාමාන්‍යයෙන් බැංකු එක්ක අලුත් අවුරුද්දේ ගනුදෙනු කරන කාටත් එයාල සැලකුවේ එක විදිහට. ඒ කියන්නේ ගනුදෙනු කරපුවහම බුලත් කොළයක තියල රුපියල් පහේ කාසියක් දුන්න. ඒකෙ වටිනාකම නෙමෙයි සංකේතාත්මක ගනුදෙනු කිරීම තමයි අගය කළේ.

ඒත් මේ සංස්කෘතිය මේ වෙන කොට ටික ටික අනෙක් පැත්තට පෙරළිලා ගිහින්. දැන් ඇති හැකි අයට එක විදිහකටත් අනෙක් අයට තවත් විදිහකටත් සලකන්න බැංකු පුරුදු වෙලා. බැංකු විතරක් නෙමෙයි. මූල්‍ය සමාගම් පවා දැන් මේ ක්‍රමයට හුරු වෙලා තියෙන්නේ. ඒ අය කරන්නේ ගනුදෙනු කිරීම කෙහොම වුණත් අලුත් අවුරුද්දට ඉතිරි කිරීම් ගිණුම්වල මුදල් තැන්පත් කරන අයට තෑගි දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් රුපියල් 10000ක් තැන්පත් කළොත් කුඩයක් දෙන අවස්ථා තියෙනවා. රුපියල් 15000ක් නම් පොඩි පිත්තල පහනක් දෙනවා. මේ වගේ විවිධාකාර වටින දේ මේ බැංකු වගේම මූල්‍ය සමාගම් විසින් තෑගි හැටියට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, තැන්පතු මුදලේ වටිනාකම ඉහළ යන්න යන්න දෙන තෑග්ගේ වටිනාකමත් ඉහළ යනවා. රෙදි සෝදන මැෂින්, අලුත්ම රූපවාහිනී වගේ වටිනා තිළිණ දෙනවා.

අපේ අයත් නිකං දෙනව නම් දෙමළ පත්තරේ හරි කියවන්න ලෑස්ති වෙලානේ ඉන්නේ. ඒක හින්ද ‍අපේ කට්ටිය පෝලිමේ යනව මේ තෑගි ගන්න. දැන් මේ ගනුදෙනුව තවත් අලුත් වෙලා අවුරුදු නැකැත්වලට නෙමෙයි වෙසක් දක්වාම පෝලිමේ යනව මේ තෑගි ගන්න. නිකම්ම නෙමෙයි සමහරු කාගෙන් හරි පොලියටත් අරගෙන ගිහින් ගනුදෙනු කරනවා. තෑගි ගන්න හදිස්සියට කලින්ම සල්ලි තැන්පත් කරලා තෑගි ගන්නවා. අවුරුද්දට නැත් නම් වෙසක්එකට එහෙමත් නැත් නම් වෙනත් උත්සවවලට වැඩිය දැන් තෑග්ගයි ලොකු වෙලා තියෙන්නෙ.

බලාගෙන ගියාම ලොකු වාසියකුත් තියෙනව නේ. කවුද කුඩයක් නිකම් දෙන්නෙ? කවුද පහනක් නිකම් දෙන්නෙ? මේක නිසා තමන් ළඟ තියෙන මුදල් තවත් අයගේ නම්වලින් පවා දාලා තෑගි ගන්නවා. බොහොම සන්තෝසෙන් උත්සවවලට ලැබුණු තෑගිත් තියාගෙන ඉන්නවා. ප්‍රශ්නෙ මතු වෙන්නෙ හදිස්සියක් වෙලා ආපහු සල්ලි ගන්න ගිය වෙලාවටයි. සල්ලි අවුරුද්දක් යන කල් ගන්න බැහැ කියනවා. ආපහු ගත්තොත් රුපියල් 10000න් හරි 15000න් හරි අර කුඩේට හරි පහනට හරි අදාළ වටිනාකම අය කරගන්නවා. අපි දන්නෙ නැහැ ඒකෙ වටිනාකම කීයද කියල. කියන ගානක් කපාගන්න දීලා බලාගෙන ඉන්නවා. එතකොට තමයි අහු වෙච්ච බව තේරෙන්නෙ.

ඔය තැන්පතු කතාවේ අනෙක් පැත්ත බලමුකො: සාමාන්‍යයෙන් මුදල් තැන්පත් කරන්න කියන්නෙ ඉතුරුම් ගිණුම්වල ඉතිරි කිරීමේ ගිණුම්වල පොලිය හැටියට දැන් බොහෝ බැංකුවල ලැබෙන්නෙ 4%ක් නැත් නම් 5%ක් වැනි ප්‍රතිශතයක්. ඒ කියන්නේ අවුරුද්දටම රුපියල් 10000කට නම් අවුරුද්දටම ලැබෙන්නේ රුපියල් 400ක් වගේ පොලියක්. ඒත් ඒ මුදල ඒ කියන්නේ රුපියල් 10000ක් ස්ථාවර තැන්පතු ගිණුමක තැන්පත් කළා නම් 12%ක විතර පොලියක් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 10000කට

අවුරුද්දකට රුපියල් 1200ක විතර පොලියක් හිමි වෙනවා. ඉතුරුම ගිණුමට වඩා රුපියල් 800ක් විතර වැඩියි. ඒ කියන්නේ කුඩ දෙකක් ගන්න මුදල්. ඒ අහුවිල්ල කොහොමද! දැන් අපට දෙපැත්තකින් පාඩු වෙලා තියෙන බව වැටහෙනවා ඇති.

තිළිණ අපට බාර දෙන වෙලාවට අපෙන් ලිපියක අස්සන් අර ගන්නවා. ඒකෙ ඇහැට නොපෙනෙන අකුරින් 'කොන්දේසි සහිතයි' යනුවෙන් මාස 12ක් යන කල් ඒ මුදල් ලබාගන්න බැහැ කියල තියෙනවා. පුවත්පත්වල පවා මේ තෑගි විස්තර බැංකු වගේම මූල්‍ය සමාගම් ලොකුවට පළ කරනවා. හැම දැන්වීමකට තියෙන්නෙ පොඩියට 'කොන්දේසි සහිතයි' යන්න විතරයි. ඒ කොන්දේසිය මොකක්ද කියල කොහේ වත් නැහැ.

ඇත්තෙන්ම තිළිණය ලබාගනිද්දි අපි අස්සන් කරන්නේ ගිවිසුමක්. වෙලා තියෙන්නේ ඒ ගිවිසුමේ පිටපතක් අපට දෙන්නෙ නැහැ. අස්සන් කරන කොටම අපි බැංකුවේ නැත් නම් මූල්‍ය සමාගමේ සියලු කොන්දේසි වගේම නීතිරීතිවලට එකඟ වෙලා ඉවරයි.

මේ ක්‍රියාදාමය දිහා විපරම් ඇසින් බැලුවාම අපට හොඳින් පෙනෙන්නේ මේ තිළිණ ප්‍රදානය බැංකුවල නැත් නම් මූල්‍ය සමාගම්වල ආදායම වැඩි කරගන්න ගත්ත ක්‍රියාදාමයක් විතරක් බවයි.

උත්සව කාලෙට සතුටු සිතින් බැංකුවෙන් තිළිණයක් ලබාගන්න එක අරමුණ නම් ඒකෙ ගැටලුවක් නැහැ. ඒක වෙනම කතාවක්. එමඟින් තමන් ගනුදෙනු කරන බැංකුව නැත් නම් මූල්‍ය සමාගමත් එක්ක හොඳහිත තියාගන්න හොද වැඩපිළිවෙළක්. ඒ ගැන ගැටලුවක් නැහැ.

ඒත් කවුරු හරි හිතනවා නම් ඒ තෑගි මඟින් තමන්ට හොඳ ලාභයක් ලැබෙනවා කියලා, ඒක නම් රැවටිල්ලක් විතරක් බව මතක තියාගන්න ඕනෑ. මේ තිළිණ හරහා බැංකු නැත් නම් මූල්‍ය සමාගම් කරන්නේ වෙළෙඳ උපක්‍රමයක් විතරයි. බැංකු නැත් නම් මූල්‍ය සමාගම් අපි ආරක්ෂා කරන්න ඕන. ඒ ගැන කතා දෙකක් නැහැ. ඒත් නොදැනුවත්වම අපි රැවටිල්ලකට ලක් වෙනවා නම් ඒ ක්‍රියාව අනුමත කරන්න බැහැ. ඒ ගැන පෙන්වා දෙනඑක මාධ්‍ය යුතුකමක් නිසයි මේ පෙන්වා දීම කෙළේ. බැංකු නැත් නම් අද ලංකාවේ බොහෝ දෙනාගේ ජීවිත ඉස්සරහට ගෙනියන්න බැහැ. රජයේ සහ පෞද්ගලික අංශ දෙකේම රැකියා කරන අයගෙන් 99.9%ක්ම බැංකුවලින් ණය අරගෙන තමයි තමතමන්ගේ වැඩකටයුතු කරගන්නේ.

එයින්ම අපට පේනවා බැංකුවල වගේම මූල්‍ය සමාගම්වල තියෙන වටිනාකම. ඒ වුණත් තම තම නැණනුවණින් විමසා බලා වැඩකටයුතු කළොත් සිංහල අවුරුද්දට, වෙසක්වලට වගේම අනෙක් උත්සව කාලවලටත් හැමදාම අහු වෙන මේ රැවටිල්ල ගැන ඔබට දෙවරක් හිතන්න පුළුවන් වේවි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.