ඩෙංගු රෝගය ගෙදර ඉඳන් බලන් ඉඳලා ගොඩ වෙදකම් ගොඩක් කරලාමාරාන්තික කරගන්න එපා

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

කේ.වී.සී. ජානක

ඉදිරියේ දී එළැඹෙන මෝසම් වැසි සමයත් සමඟ දිවයින පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක් උද්ගත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවයි. එම ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධන බළකාය කඩිනමින් සූදානම් වෙමින් සිටියි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇති වී‍ෙම් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. එම අවදානම සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝග මර්දනය උපරිම මට්‍ටමෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කාර්ය සාධක බළකායට උපදෙස් දී තිබේ.

ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ජුනි 01 දා සිට ක්‍රියාවට නැංවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඩෙංගු මර්දන කාර්ය සාධන බලකායට උපදෙස් දුන්නේය. ඒ අනුව ජුනි 01 දා සිට මාස තුනක කාලයක් ඩෙංගු මර්දන කාලසීමාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඩෙංගු මර්දනයට අදාළව දැනට ගෙන යන වැඩසටහන්වලදී මතු වන ගැටලු පිළිබඳ ලිඛිත වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දෙන ලෙස ද ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය බැක්ටීරියාව නිපදවීමේ කටයුතු ශ්‍රී ලංකාවේ ඊට අදාළ සමාගම් හරහා නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙන් රෝහල්වල මතුව තිබෙන තදබදය අඩු කිරීම සඳහා රාගම හා කළුබෝවිල රෝහල් සඳහා තාවකාලික ගොඩනැඟිලි ලබා දෙමින් පහසුකම් පුළුල් කිරීමට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 2017 මැයි 15 දින වන විට ඩෙංගු රෝගීන් 44,623 ක් වාර්තා වී ඇති අතර, මරණ 115 ක් වාර්තා වී තිබේ. 2016 වසරේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 55,150 ක් වූ අතර, මරණ වාර්තා වූයේ 90 කි‍. ඒ අනුව 2017 වසරේ මුල් මාස 5 තුළ පසුගිය වසරට වඩා රෝගීන් සංඛ්‍යාවෙහි විශාල වර්ධනයක් දක්වා ඇත.

තද උණ, තද හිසරදය, වමනය, ඇඟපත වේදනාව, ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ. උණ ගැනීමෙන් පසු පළමු දිනයේ දීම ‍ෙඩංගු වෛරසය ඇත්දැයි සොයා ගැනීම සඳහා සිදු කරන ඩෙංගු ඇන්ටිජන් (antigen) පරීක්ෂණයක් කරගැනීමට පුළුවන. එම පරීක්ෂණය තමා හිතු මතේ නොව, වෛද්‍ය උපදෙස් අනුව කරගැනීම වඩා සුදුසු ය. එම පරීක්ෂණයෙන් අනතුරුව ඩෙංගු වෛරසය ශරීර ගත වී ඇති බව හඳුනා ගත් වහාම රෝහල් ගත වීමට ඇතැම් ‍‍රෝගීහු උත්සාහ දරති. එහෙත් වෛරසය සිරුරු ගත වී ඇතැයි දැනගත් වහා ‍එලෙස කලබල වීමට අවශ්‍ය නොවන්නාක් මෙන් ම වෛරසය ශරීරගත නොවී ඇතැයි ප්‍රතිඵලයෙහි සටහන් වූ පමණින් ම ‘ඩෙංගු නොවේ’ යැයි සිතා රෝගය නොසලකා හැරීමද සුදුසු නොවන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක මහතා පවසයි. වර්තමානයේ ඩෙංගු බහුල වන හෙයින් බොහෝ දෙනෙක් වෛරස පරීක්ෂණයේ (antigen test) ප්‍රතිඵල දුටු සැණින් කලබල වී රෝහල්ගත වන්නට තැත් කරති. එය කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත ය. Antigen පරීක්ෂණයේ ප්‍රතිඵලය ‘නැත’ යනුවෙන් සටහන් වූ කල ‍ඩෙංගු නැතැයි සිතා නොසැලකිලිමත් වෙති. එය භයානකය‍. පළමු දිනයේ ඇන්ටිජන් පරීක්ෂණයෙහි ප්‍රතිඵල ‘නැත’ (Negative) යනුවෙන් සටහන් වුව ද උණ ගැනී දෙවැනි දිනයේදී රුධිර පට්ටිකා මැන බැලීම සඳහා රුධිර පරීක්ෂණයක් සිදු කළ යුතුය. එවිට රුධිර පට්ටිකා ප්‍රමාණය පහත වැටෙන්නේ නම් වහා වෛද්‍ය උපදෙස් අනුව රෝහල්ගත විය යුතු ය. ඇතැම් රෝගීහු දිනපතා රුධිර පට්ටිකා ප්‍රමාණය මැන බලමින් පැයකට වරක් දියර මිලි ලීටර් 100 බැඟින් පානය කර පිටවන මුත්‍රා මැන බලමින් හිතුමතේට කටයුතු කරමින් නිවසේ රැඳී සිටිති. එය නොකළ යුත්තකි. රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වුවත් නැතත්, වෛරසය සිරුරු ගත වී ඇතත් නැතත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව පමණක් කටයුතු කළ යුතු ය. ඩෙංගු රෝගය ඇත්නම් රෝහල්ගත විය යුතු ද නැද්ද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබන අතර, රෝගියාට කළ යුතු පරීක්ෂණ, ලබා දිය යුතු ඖෂධ හා පාන ප්‍රමාණය වැනි කටයුතු රෝහලකදී වෛද්‍ය උපදෙස් අනුවම සිදු කළ යුතු ය. බොහෝ රෝගීන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වීම හෝ මරණයට පත් වීමට හේතුව තම තමන් හිතූ මතයට ඖෂධ හා පිළියම් යොදමින් නිවසේ රැඳී සිටීම ය. රෝගය වැළඳී මුල් දින දෙක තුන තුළ හඳුනාගත හොත් එයින් ඇතිවන සංකූලතා වළක්වා ගත හැකි ය. ඩෙංගු රෝග ලක්ෂණවලට සමාන ‍රෝග ලක්ෂණ වෙනත් වෛරස උණවලදී ද දැකිය හැකි ය. වෙනත් වෛරස උණ දින 3 – 4 කින් අඩු වී ගිය ද ඩෙංගු රෝග ලක්ෂණ දින තුනක් හෝ ඊට වැඩි ගණනක් පැවතිය හැකි ය.

ඇතැම් විට තද උණට අමතරව, ඇස් යට වේදනාව, හිසරදය, ඇඟපත වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව, සෙම ගතිය, බඩ රිදීම සහ පිපීම, බුරුල්ව මලපහ පිටවීම වැනි ලක්ෂණ ද ඇති වීමට පිළිවන. උණ ගැනී තෙවැනි දිනයේ කරන රුධිර පරීක්ෂාවේදී රුධිර පට්ටිකා ප්‍රමාණයෙහි වෙනසක් නොපෙන්නුවත් සිවු වැනි දිනයේදීත් රුධිර පට්ටිකා ප්‍රමාණය පරීක්ෂා කර බැලීම ද වැදගත් වේ.

උණ සහ සිරුරේ වේදනාවට පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් කිසිදු ඖෂධයක් නොගත යුතු ය. ඩෙංගු රෝගයේ බරපතළ ම අවස්ථාව වන්නේ ඩෙංගු රක්තපාත තත්ත්වයයි. අභ්‍යන්තර රුධිර ගලනයට හේතු විය හැකි බැවින් වෙනත් ඖෂධ භාවිතයට ගැනීමෙන් වැළකීම සුදුසු ය. රුධිරයේ ප්ලස්මා තරලය පිටතට පැමිණීම හේතුවෙන් ශරීරයේ රුධිර පීඩනය අඩු වීමට ද ඉඩ තිබේ. එවිට වෙනත් අවයවවලට රුධිර සැපයුම අඩු වීමෙන් සංකූලතා මතු විය හැකි ය. බොහෝ දෙනෙකු සිතනුයේ රුධිර පට්ටිකා සංඛ්‍යාව අඩු වීමෙන් මරණය සිදුවන බවයි. එහෙත් එය වැරදි මතයකි. රුධිර පට්ටිකා ප්‍රමාණය පහළ ගොස් උණ ගැනී දින හයක් - හතකින් පසු ක්‍රමයෙන් රුධිර පට්ටිකා සංඛ්‍යාව ස්වාභාවිකවම ඉහළ නඟී. ඒ සඳහා ඖෂධ අවශ්‍ය වන්නේ නැත.

‍ෙඩංගු ‍රෝගය සුවය සඳහා ඇඳ විවේකය (Bed Rest) අත්‍යවශ්‍ය ය. විවේක නොලබා වෙහෙසීමෙන් ‍‍රෝගය උත්සන්න වේ. තැඹිලි, සුප්, කැඳ වර්ග, ජලය, දෙහි, ඇපල්, දොඩම් යුෂ හා ජීවනී වැනි පාන වර්ග වැඩිපුර පානය කළ යුතු ය. නැවුම් පලතුරු යුෂ වඩා සුදුසු ය. කළු පැහැ මිදි, දෙළුම්, මාමයිට්, කොත්තමල්ලි වැනි රත් පැහැ බීම වර්ග නුසුදුසු වන්නේ ශරීර අභ්‍යන්තර රුධිර වහනයකදී එය නිවැරැදිව වටහා ගැනීමට අපහසු විය හැකි බැවිනි.

රෝගීනට දියර වර්ග ලබා දීම ක්‍රමානුකූලව සිදු කළ යුතු ය. රෝහලකදී නම් දියර වර්ග මැන බලා දෙනු ලැබේ. සෑම පැය හයකට වරක් ම රුධිර පරීක්ෂාවක් ද අවශ්‍ය නම් ස්කෑන් පරීක්ෂණ ද සිදු කෙරේ. රෝගීන් නිවසේ රැඳී සිටින විට ක්‍රමවත් ලෙස ඩෙංගු කළමනාකරණයක් සිදු නොවේ. එයින් සංකූලතා මතු වීමට ඉඩ තිබෙන හෙයින් වෛද්‍ය උපදෙස් අනුව රෝහල්ගත වීම වඩා සුදුසු ය.

රෝගය සුව වූ පසු සුපුරුදු දෛනික දිවියේ කටයුතු එලෙසම කළ හැකි ය. වරක් ඩෙංගු වැලදුණු කෙනකුට නැවත ‍රෝගය වැලදුණු හොත් සංකූලතා ඇති වීමේ හැකියාව මදක් වැඩි බව හඳුනාගෙන තිබේ. සංකූලතා මතුවීම රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

රෝගයෙන් වැළැකීමට ඇති හොඳම ක්‍රමය තම නිවෙස, පාසල හෝ කාර්යාලය හා අවට පරිසරය පවිත්‍රව තබා ගැනීම ය. නිවසේ හා ගෙවත්තේ පිරිසුදු බව ගැන අඛණ්ඩ අවධානයක් යොමු කළ යුතු ය. මදුරුවන් සඳහා දිවා කාලයේදී වුව ද මදුරු දැල් හෝ මදුරු විකර්ෂක භාවිතා කිරීම වඩා සුදුසු ය.

ළදරුවන්, ගැබිනි මවුවරුන් මෙන් ම වයස 60 න් ඉහළ වැඩිහිටියන් රෝගය සඳහා වැඩි අවදානමක් දරන හෙයින් වඩාත් සැලකිලිමත් විය යුතු ය. රෝගීන් අවට වෙසේ නම් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වා දුම් ගැස්වීම වැනි පිළියම් යොදා ගත යුතු ය. වර්තමානය වන විට ඩෙංගු මදුරුවා ද පරිසරයේ වෙනස්කම්වලට අනුව හැඩ ගැසී තිබේ. මදුරුවන් බෝවීමට ඉඩ ඇති තැන් විනාශ කිරීම අඛණ්ඩව සිදු කළ යුතු ය. ඩෙංගු මෙන් ම වෙනත් වෛරස උණ ද බහුල වන හෙයින් පරිසරයේ පිරිසුදුකම මෙන් ම පෞද්ගලික පවිත්‍රතාව පිළිබඳව ද නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත් වේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.