තුරුණු රූ සපුව දිගු­කල් රැක­ගන්න ඒ ඒ වය­සට ගැළ­පෙන කෑම බීම

වියපත් නොවී සැමදා තාරුණ්‍යය රැකගන්නට හැම කාන්තාවක් ම කැමැතියි‍. ඒ සඳහා අමතර ආලේප ගැල්වීම හෝ කෘත්‍රිම උත්සාහයක් දරනවාට වඩා එදිනෙදා ගන්නා ආහාර පානවලින් ම ඊට පිළියම් යොදා ගත හැකි බව වැඩි දෙනෙක් දන්නේ නෑ.

හැම කාලෙකටම ප්‍රයෝජනවත් වෙන එමෙන්ම ඒ වයසට ගත යුතු විශේෂ ආහාර වර්ගත් තිබෙන බව අප වැඩි දෙනෙකු දන්නේ නෑ.

ලන්ඩනයේ පෝෂණ විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද පර්යේෂණයකින් හඳුනා ගෙන ඇත්තේ ජීවිතයේ යම් යම් වයස් කාණ්ඩවලදී අප විසින් ඒ වයසටම ඔබින ආහාර වැඩිපුර ලබාගත යුතු බවයි. ඒ ඒ වයසේදී ඔබේ රූ සපුව හා චවි කල්‍යාණය වඩාත් වර්ධනය කර ගැනීම සඳහා වැඩිපුර ගත යුතු ආහාර පාන ගැන සඳහන් වෙනවා.

යෞවනයේ අග භාගය

කාන්තාවන් සිය යෞවනයේ අග භාගයේ දී සහ තාරුණ්‍යයයේ හොඳම වයස සමරන අවුරුදු විසි ගණන්වලදී සිරුරේ මාංශ පේශි වර්ධනය මෙන් ම පටකවල පෝෂණයෙන් ද උපරිම තත්ත්වයේ පවතින් හෙයින් හොඳ සවිමත් නිරෝගී සිරුරකට උරුමකම් කියනවා. ඒ කාලෙට කාගේත් සම පැහැපත්. ඒ වගේ ම සවිමත්.

පමණට වඩා වෙහෙසකර රැකියාවල යෙදීම, අවිවේකය මෙන් ම නිසි පෝෂණයක් නොමැතිවීමෙන් ඔබේ රූ සපුව වියැකී යන්නට පුළුවන්. මාළු, පියලි ආහාර, කුකුළුමස්, හා ධාන්‍ය වර්ග වැඩි පුර ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන හා අලුත් කොළ පැහැති එළව‍ළු හා පළතුරු වැඩිපුර කෑමෙන් ඔබේ සමෙහි නිරෝගී බව රැකෙන අතර ම පටක වර්ධනයක් හොඳින් සිදු වෙනවා. මේවායෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ඔබේ සිරුර විෂබීජවලින් ආරක්ෂා කරන අතරම රූපයත් රැක දෙනවා.‍

තුන් වැනි දශකය

ජීවිතයේ තුන් වැනි දශකයේදී වයස අවුරුදු 30 ගණන්වලදී ඔබේ සිරුරේ නව සෛල නිපැදවීම ක්‍රමයෙන් අඩුවෙන්නට පටන් ගන්නවා. පටකවල ප්‍රෝටීන (Collagen) නිෂ්පාදනයත් ක්‍රමයෙන් අඩු වෙනවා. මේ සමඟම සම තුනී වීම සහ මාංශ පේශීන් ලිහිල් වන්නට පටන් ගන්නවා. ඔබේ සම රැළි වැටෙන්නට මුල් අඩිතාලම වැටෙන සමය එයයි.

සිව්වැනි දශකය

ඔබේ සමෙහි වියළි බවක් ඇතිවීම, පරිවෘත්තීය ක්‍රියාදාමයට බාධා වීමෙන් ඔබේ සි‍රුරෙහි බර වැඩිවීම ඇරැඹෙන්නේ මේ කාලෙටයි. ඒ පාලනය සඳහා කළ යුත්තේ ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු පළතුරු සහ එළවළු බහුලව ආහාරයට ගැනීමයි. විටමින් සී අඩංගු දෙහි කුලයේ නාරං දොඩම් ජම්බෝල වැනි පළතුරු වැඩිපුර කෑම මේ වයසට හොඳයි. පටක ප්‍රෝටීන වර්ධනය සඳහා බෙල් පෙපර් හා මාළු මිරිස් වැනි කොළ පැහැති එළවළු වඩා සුදුසුයි.

හතළිහේ දශකයේ දී සිරුරේ පටක ප්‍රෝටීන වර්ධනය තවදුරටත් පහත වැටෙනවා. සමෙහි ඇදෙන සුළු බව අඩු වී යනවා. ඊස්ට්‍රජන් හෝමෝනය මට්ටමත් පහත වැ‍ෙටනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ සමෙහි මෘදු බව දුරු වී හම රැළි වැටීමයි. සි‍රුරෙහි ඉ‍ර එළියට නිරාවරණය වන කොටස් වැඩිපුර අව පැහැගන්නේත් මේ කාලෙටයි.

පස්වැනි දශකය

ප්‍රතිඔක්සිකාරක බහුල අලුත් එළවළු හා පළතුරු යහමින් කෑම මෙයට හොඳ පිළියමක්. මාළු, ඇටවර්ග හා පියලි ආහාරවලින් ඔබේ සම පෝෂණය කරන අත්‍යවශ්‍ය මේද වර්ග ලබා ගන්නට පුළුවන්. තල ඇට, බෝංචි මෑ, කොල්ලු වැනි කරල් සහිත ආහාර වැඩිපුර ගැනීම සිරුරේ හෝමෝන සමබරතාව රැක ගැනීමට උපකාරී වෙනවා.

ජීවිතයේ පස් වැනි දශකය ඔබේ සමේ අවපැහැ ගැන්වීම තවදුරටත් ඉක්මන් කරනවා. අව්වට පිච්චීමෙන් ඇතිවන කළු හෝ දුඹුරු ලප සිරුරෙහි කැපී පෙනෙන කාලයක් වේ. අත් සහ බාහු මත සම මෙලෙස අවපැහැ ගැන්වී රැළිගැසීම ඇරැඹෙනවා. කාන්තාවන්ගේ සි‍රුරෙහි හෝමෝන ක්‍රියාකාරිත්වය ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ ම හමෙහි නම්‍යශීලී ගතිය දුරු වී තද බව දුරුවෙයි. මාංශ පේ‍ශීන් එල්ලා හැලෙන්නට පටන් ගනී.

සිරුරෙහි සීනි මට්ටම සහ හෝමෝන මට්ටම සමබර කරන්නට සමත්වන බීටා කැරොටීන බහුලව අඩංගු වන කහ සහ රතු පැහැති එළවළු සහ පලතුරු වැඩිපුර ගැනීමෙන් මෙම තත්ත්වය පාලනය කරගන්නට හැකි වේ. වට්ටක්කා කැරට් වැනි එළවළු මෙන් ම ප්‍රෝටීන බහුල ආහාර මාංශජනක ආහාර ගැනීම ද සුදුසු ය.

හැටේ දශකය ඔබේ හැඩරුව ඉක්මනින් ම මකා දමන යුගයයි.‍ හම රැළි ගැසීම ඉක්මන් වී කිහිලි හා පාදවල මාංශ පේශි ඉහිල් වී එල්ලා හැලීම ඇ‍රැඹෙයි. ලේ ගමනාගමනය ද ක්‍රමයෙන් අඩු වෙමින් යන හෙයින් හමෙහි දීප්තිය ද අඩුවේ. ප්‍රෝටින සහ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර දිගටම ගන්නා අතරම බිත්තර සහ තෙල් සහිත මාළු වර්ග වැඩිපුර ගන්න.

හය වැනි දශකය

අසංතෘප්ත මේද වර්ග රැසක් හා තෙල් වලින් සකස් කළ ආහාර අඩුවෙන් ගැනීම වඩා සුදුසු ය.

සුදු සීනි පිරිපහදු කළ ධාන්‍යවර්ග පාන් පිටි හා පිටි සහිත ආහාර නුසුදුසු ය. ඒවා ඉන්සියුලින් මට්ටම පහත හෙළන අතර දියවැඩියාවට ද හේතු වේ.

ලුණු, ඇඹුල් මෙන් ම රසකාරක යොදා කල් තබා ගත් ආහාර ගැනීම ද හැකි තාක් අඩු කළ යුතු ය.

ස්වභාව ධර්මයට එරෙහිව යන්නට ඔබට නොහැකි බව සැබෑ ය. එහෙත් වුවමනාවත් උත්සාහයත් ඇත්නම් සොබා දහමෙන් ඔබට උරුම කර දුන් තුරුණු රූ සපුව වියැකී යාම හැකි තාක් පමා කරගැනීමේ හැකියාව ඔබ සතු ය. පමණ දැන කෑම, අගුණ දේ නොකෑම, ඇති තරම් ව්‍යායාම හා හිතේ සතුට විසින් තාරුණ්‍යයේ සුන්දරත්වය බොහෝ කල් රැක දෙනු නිසැකය.

(අන්තර්ජාලයෙනි)

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.