දිගු දිවි­ය­ක පැතුම් දල්වන HIV නව බෙහෙත | සිළුමිණ

දිගු දිවි­ය­ක පැතුම් දල්වන HIV නව බෙහෙත

එච්. අයි. වී. ආසාදිතයන් තුළ දිගු දිවියක් පිළිබඳ පැතුම් දල්වන පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනතුරුව හෙළි වී ඇත්තේ වර්තමානයෙහි එච්. අයි. වී. ආසාදිතයින් සඳහා භාවිත කෙරෙන නවීනතම ප්‍රතිකාර ක්‍රමය වන ඇන්ටිරෙට්රෝ වයිරල් සත්කාරය මඟින් නිරෝගී පුද්ගලයකුගේ ආයු කාලයට සමාන ආයු කාලයක් ආසාදිතයන්ට ද ලබාගත හැකි බවය.

ඇන්ටිරෙට්රෝ වයිරල් සත්කාරය

ඇන්ටිරෙට්රෝ වයිරල් සත්කාරය ඖෂධ වර්ග තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක සංකලනයකින් සිදු කරනු ලැබේ. මෙම නව ඖෂධ සංකලනය මඟින් මෙතෙක් ඒ සඳහා ලබා දුන් ඖෂධවලින් සිරුරට ඇතිකරන හානිකර තත්ත්ව අඩු වීමත් එච්. අයි. වී. වෛරසය වර්ධනය වීම මනාව වළක්වා ගත හැකි වීමත් එහි ඇති විශේෂත්වයයි. එච්. අයි. වී. ආසාදිතයන් සඳහා කරනු ලබන මෙම නව සත්කාරයට පුරා වසර 40ක් මුළුල්ලේ කරන ලද ප්‍රජා සෞඛ්‍ය සත්කාර අතරින් මුල් තැනක් හිමි වන බව ද එම පර්යේෂණ වාර්තාවෙහි සඳහන් වේ. එච්. අයි. වී. ආසාදිතයන් අතරින් වැඩි දෙනකු ඌණ සංවර්ධිත රටවලින් වාර්තා වේ. එවැනි රටවල නවීන ඖෂධ නොමැති වීමෙන් ආසාදිතයන් ඉක්මනින්ම මරණයට පත් වේ. බොහෝ දෙනකු තමාට එච්. අයි. වී. ආසාදනය වී ඇති බව නොදැන සිටීම ද, දැනගත් ඇතැම් පුද්ගලයන් ප්‍රතිකාර නොගෙන සැඟව සිටීම ද රෝගය පැතිර යාමට හේතු වී තිබේ.

මනාව රෝගය පාලනය

එච්. අයි. වී. සුව කළ නොහැකි වුවත් මෙම නව ඖෂධ භාවිතයෙන් මනාව රෝගය පාලනය කරගෙන සාමාන්‍ය පුද්ගලයකු මෙන් සෞඛ්‍යවත් දිවියක් ගත කළ හැකිය. මෙතක් ඉක්මන් මරණ වරෙන්තුවක් ලෙස සලකා සිටි එච්. අයි. වී. වෛරසය සිරුරු ගත වූවන්ට දැන් දීර්ඝායුෂ පිළිබඳ අලුතෙන් පැතුම් දල්වා ගන්නට මෙමඟින් හැකි වී තිබේ. 

 

Comments