නේපාල ශ්‍රී ලංකා මිතු­දම් තර කිරී­මට | Page 2 | සිළුමිණ

නේපාල ශ්‍රී ලංකා මිතු­දම් තර කිරී­මට

 නේපාල ජනාධිපතිනිය බින්ද්‍යා දේවි භන්ධාරි

එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් සැමරුම් උත්සවයේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ඇරියුමෙන් නේපාල ජනාධිපතිනි බින්ද්‍යා දේවි භන්දාරි මහත්මිය පසුගියදා මෙරටට පැමිණියාය. මැයි 14 වැනිදා මහනුවරදී පැවැත්වුණු ජාත්‍යන්තර බොදු මහ උලෙළේ අවසන් දිනයේදී ඇය ජනාධිපතිවරයා අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් සමඟ සමාප්ති උලෙළට සහභාගි වූවාය.

“සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය සඳහා බුදු දහම යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සවයේදී තිරසර ලෝක සාමය සඳහා බුදුන් වහන්සේගේ දේශනා තුළින් ලැබිය හැකි මාර්ගෝපදේශ අධ්‍යයනය කරමින් ‘මහනුවර ප්‍රකාශනය’ නිකුත් කෙරිණ. එහිදී බුදුන් උපන් නේපාල දේශයේ ජනාධිපති බින්ද්‍යා දේවි මහත්මිය විශේෂ දේශනයක් පැවැත්වූ අතර ජනාධිපතිවරයා විසින් ඇය වෙත විශේෂ සමරු තිළිණයක් ද තිළිණ කරනු ලැබිණ.

බින්ද්‍යා දේවි නේපාලයේ ජනාධිපතිධුරයට පත් වීමෙන් අනතුරුව මෙරට සිදු කළ දෙවැනි සංචාරය මෙය වේ. අනාදිමත් කලක පටන් නේපාලය සහ ශ්‍රී ලංකාව අතර පවතින බොදු සංස්කෘතික මිතුරුදම හා සහයෝගීතාව පිළිබඳ මෙනෙහි කළ ජනාධිපතිනිය අනාගතයේදී ද එම සබඳතාවන් තවදුරටත් වර්ධනය කරගැනීමටත් සහයෝගය දැක්වීමටත් නේපාල රජය සූදානම් වන බවද පැවැසූවාය.

වෙඩි උණ්ඩයට වඩා ඡන්ද පත්‍රිකාව බලවත් යැයි කී නේපාල ජනාධිපතිවරිය බුදුන්වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයේ අප රටවල් මුහුණ පාන අභියෝග හා ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට මහෝපකාරී වන බවද කීවාය.

“බුදු දහමේ මූලික ඉගැන්වීම් ප්‍රචලිත කිරීමේදී මෙන් ම ප්‍රවර්ධනයේදීත් ශ්‍රී ලංකාව ඉටු කර ඇති මෙහෙවර සුවිශේෂයි. ගෞතම බුදුන් වහන්සේ උපත ලද සාමයේ දේශය වන නේපාලයෙන් පැමිණි මා නේපාල ජනතාවගේ සාමයේ කරුණාවේ සහ සහජීවනයේ පණිවුඩය ලාංකික ඔබ වෙත රැගෙන ආවා. අපේ ජනතාව ලොක සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය ප්‍රවර්ධනය කරන බුදු දහමේ ඉගැන්වීම් අනුව ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවට ද අපි එම සාමයේ පණිවුඩය දන්වන අතර ම මෙම සමුළුවේදී ගනු ලැබූ තීරණ නිගමන හා සාකච්ඡා සියල්ල ලෝක සාමය උදෙසා ඉවහල් වෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා. බුදුන් වහන්සේගේ උපත බුද්ධත්වය හා පරිනිර්වාණය සමරමින් උන්වහන්සේ ගේ ධර්මය මෙනෙහි කරමින් පැවැත්වෙන වෙසක් දිනය “ජාත්‍යන්තර සැමැරුම් දිනයක්” බවට පත් කරගන්නට හැකි වූයේ ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ඇමැති දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතා නිසයි. ඒ හෙයින් ඒ මහතාට සමස්ථ ලෝකවාසී බොදු ජනතාව කෘතවේදී විය යුතු යැයි ද ජනාධිපතිනිය පැවසුවාය.

ශ්‍රී ලංකාව මෙන් ම නේපාලය ද වසර ගණනාවක් පුරා යුද්ධය හා ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳි රටවල්. එහෙත් දැන් අප රටවල් දෙකම සාමයේ මාවතට පිවිසී තිබෙනවා. ‘වෛරයෙන් ‍ෛවෙරය නොසන්සි‍ඳේ අවෛරයෙන්ම සන්සි‍ඳේ’ යන බුදු ඔවදන අනුව කටයුතු කරමින් ලබා ගත් සාමය රැක ගැනීමට අප වග බලාගත යුතුයි. ඕනෑම සමාජයක සියලු පාර්ශ්වයන්ටම එක හා සමාන අවස්ථා, අයිතිවාසිකම් හිමිවන විට සියලු දෙනාට ම සියලු ප්‍රතිලාභ එක සමානව ලැබෙනවා. සමාජ සාධාරණය හා සහයෝගීතාව තිරසාරව ස්ථාපිත කළ හැකි වන්නේ එවිටයි. ආගමික, වාර්ගික හා සමාජ කොටස් අතරේ බෙදීම් ඇති වීමෙන් වත්මන් ලොව පුරා විවිධ ගැටුම් ඇති වී තිබෙනවා. එවිට රටවල සාමය බිඳ වැටී ප්‍රචණ්ඩත්වය පෙරට එනවා. එමඟින් ඒ රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය විශාල වශයෙන් පසුබසිනවා. මෙවැනි සමුළුවලින් පසුව ගනු ලබන තීන්දු තීරණ මඟින් එවැනි ගැටුම් යළි ඇතිවීම වළක්වා ගන්නට කටයුතු කළ යුතුයි.

2015 සිදු වූ මහා භූමි කම්පාවෙන් අපේ රට විනාශයට පත් වුණා. බෞද්ධ සිද්ධස්ථාන රැසකටම හානි සිදු වුණා. මේ වන විට අප ඒ සියල්ල තිබූ ලෙසින් ම පිළිසකර කර තිබෙනවා. එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ශ්‍රී ලංකාව දුන් සහයෝගය කිසිවිටක අමතක කළ නොහැකි යැයිද නේපාල ජනාධිපතිනිය වැඩිදුරටත් පැවැසුවාය.

නේපාලයේ දෙවැනි ජනාධිපතිවරයා වන බින්ද්‍යා දේවි එරට ජනාධිපතිධුරයට පත් වුණු ප්‍රථම කාන්තාව වේ. නේපාල කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපතිනිය හා නේපාල කාන්තා සංගමයේ සභාපතිනිය ලෙස ඇය 2015 ඔක්තෝබර් 28 දා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගන්නාතුරුම කටයුතු කළාය.

1961 ජුනි 19 වැනිදා බෝජ්පූර්හි උපත ලද බින්ද්‍යා දේවි ඉන් පෙර නේපාලයේ ආරක්ෂක ඇමැතිධුරය දැරුවාය. එම තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව ද ඇයයි. 1990 ගණන්වල පරිසර සහ ජනගහන ඇමැතිනිය ලෙස ද ඇය කටයුතු කළාය. ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව ඇය ලෝකයේ බලවත්ම කාන්තාවන් අතරින් 52 ස්ථානයට පත් කර තිබේ.

Comments