බුද්ධ­භෝග­යට රැක­වල් ලූ හෙළ 'කෙම්'

ඵලදායි පසක් නැවතත් මේ දෙරණ මත නැත. ඒ නිසා අප විදේශිය කෘමි නාශක, පොහොර, බීජ හා ඊට අදාළ කෘෂි රාසායනික මත යැපිය යුතු යැයි රූපවාහිනියේ පළ වූ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටි පසුගිය කාලයේ වෙළෙඳ නියෝජිතයකු පවසනු අසන්නට දකින්නට ලැබුණා ඔබට මතක ඇත. තමන් ගොවිකම මොනවට දන්නා බව පෙන්වන්න සමහරුන් උත්සාහ කළද, මෙරට දේශගුණික තත්ත්වය පිළිබඳ මෙලෝ හසරක් නොදත්තවුන් බව ඔවුන් කරණා කියනා දෙයම සාක්ෂි වීම දෛවයේ සරදමකි.

බිත්තර වී තැන්පත් කිරීමට ප්‍රථම මඩ කුඹුර සකස් කිරීමේ කාර්යයේ දී ඝර්ම කලාපීය රටක් වන අපට ට්රැක්ටර යොදා හෑමට තරම් අවශ්‍යතාවක් නැත. මීට ශත වර්ෂ එකහමාරකට පමණ එපිට ගොවිතැන සඳහා යොදාගත්තේ අඩ සඳ වන් අඟල් 3ක් 3.5ක් පමණ උස් වූ තලයක් සහිත උදැල්ලකි.

එය මෙරට දේශගුණයට සරිලන ආකාරයට සකස් කළ උදැල්ලකි (මේ උදලු තල අද කෞතුකාගාරය තුළ දැකිය හැකිය). මෙමගින් සිදු වන්නේ වඩා ගැඹුරට පස නොකැපී, ගැඩවිල් පස් තට්ටුව (බීජ සඳහා යොග්‍ය පස) මතු පිටට ගත හැකි වීමයි. තලය නොගැඹුරු නිසා බිම කෙටීමද පහසු කාර්යයකි. මේ නිසා සාම්ප්‍රදායික බිම් සැකසීම වඩා යෝග්‍ය ක්‍රමය වේ.

එහෙත් අවාසනාවක මහත! යටත්විජිත යුගයේ සහ පසුකාලීනව උන්ගේ හෙංචයියන් විසින් හඳුන්වා දෙනු ලැබූ ට්රැක්ටරය හා උසින් වැඩි උදලුතලය ගොවියා ක්‍රමයෙන් රසායනික පොහොරවල සිරකරුවකු බවට පත් කළේය.

ඒ කෙසේද යත් ට්රැක්ටරය යොදාගත්තේ සීත දේශගුණයක් සහිත රටවල බිම් සකස් කිරීම සඳහාය. ශීත දේශගුණික රටවල සාරවත් පස සැකසීමට වඩා යටට කැපීම අනිවාර්ය වේ. මන්ද ගැඩවිල් පස ඇත්තේ පොළොව මතු පිටට ආසන්නයේ නොව ගැඹුරට හෑරූ විටය. ඊට සුදුසුම යන්ත්‍රය ට්රැක්ටරයයි. ඒත් දැඩි සූර්යතාපය පවතින අපවැනි රටවල තත්ත්වය ඊට බෙහෙවින් වෙනස්ය.

අපගේ පොළොවේ ගැඩවිල් පස පිහිටා ඇත්තේ පොළොව මතු පිටට ආසන්නයේමය. එනිසා වඩා යටට හෑරූ විට සාරවත් පස් තට්ටුව විනාශ වේ. එවිට එම පොළොවේ සාර්ථකව බීජ රෝපණයක් සිදු නොවන අතර, අස්වැන්න අඩු වේ. එසේ නම් මේ අසාරවත් පස සාරවත් කරගැනීම සඳහා රසායනික පොහොර යෙදීම අනිවාර්ය වේ.

එසේම අප සීසාන විට යොදා ගන්නේ නගුලය. එය ඇදගෙන යෑමට ගොනුන්ද යොදා ගනී. එවිට කාර්යයන් දෙකක් සපල වේ. එකක්: සීසෑම ඉක්මන් වේ. අනෙක් කාරණාව නම් ගොනුන් විසින් ගොම දැමීමයි. මේ නිසා වී ගසට වැඩීමට පොහොර ස්වාභාවිකවම එකතු වේ.

එහෙත් කෘමිනාශක හා කෘෂි රසායන පොහොර වර්ග නිසා අපට සිදු වන්නේ අවැඩක්මය. විෂ සහිත කෘෂි රසායන භාවිතය නිසා විවිධ නිදන්ගත රෝග තත්ත්වයන්ට ගොවියා මුහුණ දී ඇත. විශේෂයෙන්ම රජරට ප්‍රදේශය තුළ පැතිරී යන වකුගඩු රෝගය මීට කදිම නිදසුනකි. මෙවැනි තත්ත්වයක් හමුවේ මෙරට ගොවිතැන හා සබැඳි කෙම් ක්‍රම කීපයක් සහෝදර ගොවිජනතාව වෙනුවෙන් මතක් කර දීමට සිතුවෙමි.

'ක්ෂෙම' යන සංස්කෘත වදනින් තද්භව වූ 'කෙම්' යන්නෙහි අරුත 'ආරක්‍ෂාව' යන්න බව ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි දැක්වේ. ගොවියා තම කෘෂි බෝගවලට වැලඳෙන රෝග හා කෘමි සතුන්ගෙන් වන හානි වළක්වා ගැනීම සඳහා කරනු ලබන වතාවත් කෙම් ක්‍රමය තුළ දක්නට ලැබේ.

මෙමගින් ගොවියන් බලාපොරොත්තු වූයේ කෘමි උවදුරුවලින් පමණක් නොව අනෙකුත් සියලු සත්ත්වයන්ගේ හා අව්ව, වැස්ස වැනි සොබා ධර්මයේ නියමයන්ගෙන් තම වගාව ආරක්‍ෂා කරගැනීමය. මේ පිළිබඳව ඇතැම් සටහන් පූජාවලීය හා සද්ධර්මරත්නාවලිය යන මහැඟි ග්‍රන්ථ කෙරෙන් විද්‍යමාන වේ.

සද්ධර්මරතනාවලියේ දැක්වෙන ආකාරයට 'බත' නිර්මාණය වන ආකාරය මෙසේය. "පළමුව කුඹුර ගෙවඩිය යුතුය, ගොයම්වලට 'කෙම්' කළ යුතුය" යනුවෙනි. මෙහි තවත් තැනක මෙසේද වෙයි. පූදිනා තෙක් රැඳිණි (රෝග) ආදියට 'කෙම්' කළ යුතුය. පුන් පීදුණු පසු කිරිවදිනා තෙක් වැලි ඉසීම ආදිය කටයුතුයි.

එසේ පූජාවලියෙහි මෙසේ සඳහන් වේ. "කරලක් නැඟු තැන පටන්ගෙන පියන්වා ආදී වූ නොයෙක් රෝගයට කෙම් පන්කම් සේ නැති කළ මැනැව. දවසින් දවස කුඹුර සිසාරා අතු බලුව මැනව" යනුවෙන් දක්වා තිබේ. මෙමගින් හෙළි වන්නේ මෙම කෙම් ක්‍රම ඈත අතීත උරුමයකට හිමිකම් කියන බව නොවේද?

පුරාතණයේ පටන් ගොවිතැන හා සම්බන්ධ මෙම කෙම් ක්‍රම අද දක්වා පවත්වාගෙන එන පරම්පරාවන් තවමත් මෙරට සිටීම සතුටට කරුණකි. එමෙන්ම වාසනාවකි.

'කෙම්' පිළිබඳව විමසීමේ දී ආගමික විශ්වාසයන් මූලික කොටගෙන නිර්මාණය වූවක් බව හඟවන සාක්‍ෂි ඒ තුළ විද්‍යමාන වේ.

බිත්තර වී සකස් කර ගැනීමේදි ඒවා දියෙහි බහාලන අවස්ථාවන්හීදි ඔහු කිසිවකු සමඟ දොඩමලු නොවේ. වී මැන, දියෙහි දමා පස් පැඟිරි කොළ පොඩි කර දියට දැමීම සිරිතය. මෙමගින් ඔවුන් අපේක්‍ෂා කරනුයේ පණු රෝග සහ පක්‍ෂීන්ගෙන් ඊට හානි නොවීමය. මේ නිසා සතුන්ට ගොදුරු වීමෙන් වැළකේ. මෙනිසා පසු රෝග තත්ත්වයන් ඇති නොවේ.

එසේම පොඟවාගත් වී එක් තැන් කිරීමට ප්‍රථම දිය කරගත් ගොම මිශ්‍ර කරයි. අනතුරුව එක්තැන් කිරීම සිදු කරයි. ගොම මිශ්‍ර කිරීමේ අරමුණ වී ඇත්තේ වඩාත් හොඳ අස්වැන්නක් ලබාදෙන සාරවත් බීජයක් ලබා ගැනීමයි.

මෙම වී එක්තැන් කිරීමේ දී නැතිනම් වී ගොඩගැසීමේ දී කෙසෙල් කොළ හා හබරල කොළ බිම අතුරා ඒ මත තැන්පත් කරයි. තැන්පත් කිරීමෙන් අනතුරුව කෙසෙල් කොළ හා හබරල කොළවලින් මෙය ආවරණය කරන අතර, ඒ සඳහා කොහොඹ කොළද යොදාගනී.

මෙසේ සිදු කරන්නේ සුළං නොවදින්නටය. මෙසේ ඇසුරුම් කළ පසු පැදුරු දමා බරක් ඒ මත තබයි. මෙය 'පැළ වී මළුව' ලෙස ඔවුන් විසින් හඳුන්වනු ලැබේ. පසුව මුල් ඇදුණු වී බීජවලටද ගොවියෝ කෙම් කරති. ඇටි කෙසෙල් අල කොට යුෂ ගෙන එයට මී මොරය මිශ්‍ර කර, එම මිශ්‍රණයෙන් වී තෙමා වපුරනු ලැබේ.

මෙසේ කිරීමෙන් හොඳ අස්වැන්නක් ලැබෙන බව ඔවුන් විශ්වාස කරයි. මෙමඟින් සරු අස්වැන්නක් සඳහා බිත්තර වී සකස් කරගැනීමේ සිට බීජ සකස් කර බීජ ප්‍රරොහණයෙදී වඩාත් හොඳින් ප්‍රරොහණය වන බීජ සකස් කරගැනීමට සාම්ප්‍රදායික ගොවියා තුළ තිබූ දැනුම මොනවට පැහැදිලි වේ.

බීජයක් පසේ හොඳින් වැඩීමට නම් ගොවි බිම හොඳින් සකස් කළ යුතුය. ඊට උෂ්ණත්වය හා තෙතමනය සහිත පරිසරයක් සකස් කළ යුතුය.

අනතුරුව බිත්තර වී සකස් කළ බිමෙහි තැන්පත් කරන අතර එය වැඞී එනවිට කෘමි සතුන්ගෙන් ආරක්‍ෂා කිරිමට ගොවියා විවිධ ‘කෙම්’ ක්‍රම උපයෝගී කරගනී. විශේෂයෙන් ගොයම්වලට හානිකරන කෘමීන් හා පණු රෝගවලින් ආරක්‍ෂා කිරිමට පොල් ලෙලි, පොල් පිති, පොල් අතු ආදීය සිටුවති. ලියද්දේ තැනින් තැන මෙසේ පොල් පිති සහ පොල් අතු සිටුවන්නේ කුඹුරට ඇ දී එන කුරුල්ලන්ට ලැඟ සිටිමටය. උන් එසේ ලැඟ සිටින විට ඇස ගැටෙන කෘමින් හා පණුවන් ගිල දමයි. ඒ තුළින් කුඹුරට වින කරන පලිබෝධයන්ගෙන් කුඹුර ආරක්‍ෂා වේ.

එසේම ඔවුන් විසින් සිදු කරනු ලබන තවත් ‘කෙම්’ ක්‍රමයක් වන්නේ දලුක් පොඩිකර වක්කඩ ළඟ දැමීමය. මීට අමතරව කළුවැල් හා කොහොඹ ඇට පොඩි කර ලියද්දට දැමීම මගින් ගොයම් රෝග නොමැති වුවා පමණක් නොව, ඒවා පොහොර වී පස තව තවත් සරු කරයි.

කුඹුරට එකතු වන මැස්සන්ගෙන් ගොයම ආරක්‍ෂා කරගැනීම සඳහා පහන් පත්තු කිරීම හොඳ ‘කෙම්’ ක්‍රමයකි. මෙහි දී ගොවියා පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා "සබ්බ පාපස්ස අකරණං" ගාථාවෙන් පිරිත් කළ තෙල්, තැඹිලි ගෙඩි මගින් සකස් කරගත් පහන්වලට දමා කුඹුරේ සිව්කොනේ සිටුවයි.

එහි දී තිර වශයෙන් භාවිතයට ගෙන ඇත්තේ දිරාගිය සිවුරුය. මෙමගින් මැස්සෝ වඳ වෙති. හිරු බැස යත්ම අඩ අඳුරේම ගොයමට වදින කෘමි සත්තු පහන් දැල්වූ පසු එයට ආශාවෙන් ඒ වටා රොක්ව, අවසන එම දැල්ලටම හසුව මිය යති.

එසේම ගොයම කෘමි හා පණු උවදුරින් ආරක්‍ෂා කර ගැනීමට භාවිත කළ තවත් ‘කෙම්’ ක්‍රමයක් වන්නේ අළු ඉසීමයි. එහි දී කෙම්මුර දිනයන් වන බදාදා හෝ සෙනසුරාදා දිනයක නොයිඳුල් නැතිනම් නොපෑගුණ අළු ගෙන ‘කෙම්’ ගුරකු ලවා මතුරා කුඹුරට ඉසීමයි.

මෙසේ අළු ඉසීමට පෙර දින කුඹුරේ සීමා සලකුණු කර එම සලකුණු කළ තැන්හි පහන් පැල් ඉදි කරනු ලබයි. අනතුරුව පහන් පැල් අසලට ගොස් දෙවියන්ට යාතිකා පවත්වමින් හක් ගෙඩියක් පිඹිමින් හෝ තඹ තැටියකට උදේ සවස ගසමින් දුම්මල දල්වා යාතිකා පවත්වයි. අවසන අළු ඉසීම සිදු කරයි.

අළුවල ඇති භාස්මික රසායනික සංයෝගයේ ක්‍රියාකාරීත්වය නිසා කෘමීහු විනාශ වෙති. හක් ගෙඩියක් පිඹීමෙන් හෝ තඹ තැටියකට පහර දීමෙන් ඇති වන ශබ්ද තරංග නිසා සතුන්ගේ ශරීරයේ පිහිටි කුඩා ස්වර තන්තු කරා ගමන් කොට ඒ හා ගැටී, එමගින් ඇති වන අධික කම්පනය නිසා එම සතුන් විනාශ වීම හා බෝගය අතහැර පලා යෑම සිදු වේ.

අතීතයේ සිටම හෙළයා ශස්‍ය (වී) තැන්පත් කිරීම සඳහා භාවිතයට ගත්තේ වී බිස්සය. ‍ගෙමිදුලේ සකස් කළ වී බිස්ස ගෙදරටද අලංකාරයක් ගෙන එයි. එපමණක් නොව, තම වත්පොහොසත්කම කියාපාන සංකේතයක් වශයෙන්ද පුරාතනයේ වී බිස්ස යොදාගැනිණ.

මේ වී බිස්ස තුළ ශස්‍ය හෙවත් වී ගබඩා කර තැබීමේදීද අනුගමන කළ ‘කෙම්’ ක්‍රම තිබිණි. කොහොඹ කොළ යොදා අටුව සකස් කිරීම එවැනි ‘කෙම්’ ක්‍රමයකි. වී අටුවට දැමීමෙන් අනතුරු කිසිවකු හා දොඩමලු නොවන ගොවියා කොහොඹ කොළ ගෙනැවිත් අටුවට දමයි. මෙමගින් මීයන්, ඉපියන් වැනි සතුන්ගෙන් වී ආරක්‍ෂා වේ.

ඉහත සදහන් කළ පුරණ ‘කෙම්’ ක්‍රම අදටද අපට භාවිත කළ හැකි වඩාත් පරිසර හිතකාමී අභිචාර ක්‍රමයන්ය. එනිසා දිනෙන් දින දියුණු වන තාක්‍ෂණික මෙවලම්වලට වඩා පුරාණ ගොවියා තුළ ස්වාභාවධර්මයේ නියමයන් රක්ෂා කළ මෙම ‘කෙම්’ විධි වඩාත් අනර්ඝ නොවන්නේද? 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.