මෙරට කතු­න්ගෙන් 90%ක් පොදු ප්‍රවා­හන සේවා තුළ අපයෝ­ජ­න­ව­ලට ලක්වෙ­නවා

බස්රථ හා දුම්රිය යනාදි පොදු ප්‍රවාහන සේවාවන්වලදී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 90 ක්ම ලිංගික හිංසනයන්ට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) හෙළිදරව් කරයි.

මෙලෙස හිංසනයන්ට මුහුණදීමට සිදු වී තිබීම අප රටේ කාන්තාවන්ට පමණක් සීමා වූවක් නොව ලොව පුරා ම කාන්තාවන්ට පොදු ප්‍රවාහ‍නයේදී මුහුණ දීමට සිදුවන්නක් බව ද අරමුදල අවධාරණය කරයි.

ලිංගික අතවරයන් මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර, කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට කායිකව, මානසිකව සහ ආර්ථිකව වෙනස්කම් කෙරෙන සංස්කෘතියකට දායක වෙයි. ගෝලීය වශයෙන් කාන්තාවන් මුහුණදෙන ගැටලුවක් වන මෙය විවිධ මට්ටමේ කායික සහ වාචික පරිභවයන්ට මෙන්ම ස්ත්‍රී දූෂණයට ද තුඩුදිය හැකිය.

මානව හිමිකම් උල්ලංඝනය

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මඟින් පවත්වන ලද දීපව්‍යාප්ත අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 90%ක් පොදු බස් සහ දුම්රිය ප්‍රවාහන සේවාවන්හිදී ලිංගික අතවරයන්ට මුහුණදෙන බවය. මෙම සොයාගැනීම්වලින් පෙන්වා දෙන අනෙක් කරුණ වන්නේ පොලිසියේ සහාය පතන්නේ ඔවුන්ගෙන් 4%ක් පමණක් වන බවය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම ජාතික අධ්‍යයනය 2015 දී සිදුකළ අතර ශ්‍රී ලංකාවේ පළාත් නවය තුළ පිහිටි සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලින් තෝරාගත් වයස අවුරුදු 15 - 35 දක්වාවූ කාන්තාවන් 2,500 ක නියැදියක් ඒ සඳහා යොදා ගන්නා ලදී. වගකිව යුත්තන්ගෙන් තොරතුරු විමසීමෙන්, ප්‍රධාන ‍තොරතුරු සපයන්නන් හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවලින් සහ ප්‍රශ්නාවලීන් මගින් දත්ත රැස්කර ගන්නා ලදී.

මෙම ගැටලුව ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව ඇය සුරැකි ගමනකද? (Does she travel safe) යන මැයෙන් ජනතා උපදේශන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන දියත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර, අශෝකා අලවත්ත; අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, රෝසි සේනානායක; ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්ම මහත්මීන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ. මෙම ගැටලුවේදී ධනාත්මක වෙනසක් ඇති කිරීමට පුද්ගලයින් තිදෙනෙකුට හැකියාව ඇති බව මෙම ඉදිරිපත් කිරීමේදී හුවා දක්වන ලදී: වින්දිතයා - සිද්ධිය ගැන කථා කිරීමෙන් සහ ක්‍රියාත්මක වීමෙන්; අසල සිටින්නා - මැදිහත්වීමෙන් සහ සහාය දැක්වීමෙන්; 3) අපරාධකරුවා - මෙවැනි අතවරයක් සිදු කිරීමෙන් වැළකීමෙන්; මෙම තත්වය යහපත් අතට පත්කර ගැනීම සඳහා දිගුකාලීන උපදේශන සහ උපායමාර්ගිකව හැසිරීම් වෙනස් කිරීම සඳහා වන මහා පරිමාණ සන්නිවේදන වැඩසටහන් අවශ්‍ය වන්නේය.

පොදු ප්‍රවාහන සේවා

මෙම සමාජ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේ වැදගත්කම අවධාරණය කරමින් කතා කළ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නැක්කෙන් මහත්මිය මෙසේ පැවසුවාය: “පොදු ප්‍රවාහන සේවා තුළදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්කරගත් ප්‍රචණ්ඩත්වයේ එක් ස්වභාවයකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය කෙරෙහි පුළුල් ලෙස අවධානය යොමුකිරීමේදී සාක්ෂිමත පදනම් වූ ප්‍රතිපත්ති සකස්කිරීම සඳහා දීපව්‍යාප්තව දත්ත රැස් කළ යුතු වේ. මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳව දත්ත රැස් කරන ප්‍රථම පියවර වන්නේය.”

ශ්‍රී ලංකාවේ සිදු කළ සමීක්ෂණයට එක්වූ නියැදියේ සිටි කාන්තාවන්ගෙන් හෙළිදරව් වූ කරුණු ගණනාවක් තිබේ. ආර්ථික වශයෙන් සක්‍රීය විය හැකි වයසේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් රැකියාවල නියුක්ත වී සිටින්නේ සියයට 34 ක් පමණි. මෙයට ප්‍රධාන ම හේතුව වැඩ කරන වයසේ කාන්තාවෝ දිනපතා රාජකාරියට ඒමට හා නැවත නිවෙස් කරා යෑමට භාවිතයට ගන්නා පොදු ප්‍රවාහනයේදී අතවරයින්ට ලක්වීමට සිදුවි තිබීම යි. ජන හා නිවාස සංගණනයට අනුව වසර 2006 දී සියයට 39.5 ක්වූ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බළකා සහභාගීත්වය වසර 2014 දී සියයට 34.7 දක්වා අඩු වී ඇත.

මේ අධ්‍යයනයේදී සොයාගත් වැදගත් ම කරුණ වනුයේ, ශ්‍රී ලංකාවේ වැඩකරන කාන්තාවන්ගෙන් සියයට 50ක් ම පොදු ප්‍රවාහන භාවිතා කරන බවයි. ඉගෙනීම සඳහා සියයට 28 ක්ද, වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා සියයට 20 ක්ද පොදු ප්‍රවාහන සේවා යොදා ගනිති.

හිංසනයට දඬුවම්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ බේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය.

වසර 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රාහ සංශෝදන පනතේ 345 ‍ෙකාටස අනුව ද ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. එක්සත් ජාතීන්ගේ ජනගහන සංවර්ධන අරමුදල සිදු කළ සමීක්ෂණයට එක්වූ නියැදියෙන් සියයට 52ක් ලිංගික හිංසනය අපරාධයක් ලෙස සැලැකෙන නීතියක් තිබෙන බව දැන සිටියහ. කෙසේ වෙතත්, සියයට 60 දෙනා ලිංගික හිංසන වරදට දඬුවමක් තිබෙන බව දැන සිට නැත.

ඕනෑම අයෝග්‍ය ලිංගික බලපෑමක් හෝ ලිංගික සැලකීමක් සඳහා ඉල්ලීමක් හෝ ලිංගික ස්වරූපයේ වාචික නැතිනම් ශාරීරික ක්‍රියාවක් හෝ හැසිරීමක් හෝ වෙනත් අයෙකුට වරදක් හෝ අවමානයක් ඇති කරන බව සාධාරණ ලෙස පෙන්නුම් කරන වෙනත් ඕනෑම ආකාරයක ලිංගක ස්වභාවයේ චර්යාවක් ලිංගික හිංසනයක් ලෙස සැලකිය හැකිය. එය එක් සිද්ධියක් හෝ සිද්ධි මාලාවක් හෝ වීමට පුළුවන. ලිංගික හිංසනය සිතාමතා කරන ක්‍රියාවක්, ඉල්ලීමකින් තොරව කරන ක්‍රියාවක් හෝ බලහත්කාරයෙන් කරන ක්‍රියාවක් හෝ විය හැකිය.

මේ අන්දමේ ලිංගික හිංසන විවිධාකාර ක්‍රියා 35 සමීක්ෂණයේදී හඳුනාගෙන තිබේ. මේ බොහෝ ලිංගික හිංසනයන් ශාරීරික ක්‍රියාවේ. සිතාමතා ශරීර කොටසක් ස්පර්ශ කිරීම (74%), පෞද්ගලික අවකාශ සීමාව උල්ලඝණය වන පරිදි ළඟට පැමිණීම (60%), වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයේ තමන්ගේ ලිංගික අවයව ගෑවීම (52%), අසුන් ගැනීමේ අයෝග්‍ය හැසිරිම (52.25%) මේ අතර ප්‍රධාන වේ.

ලිංගික හිංසන

සිතාමතා කකුල පෑගීම (48.44%) ශරීර කොටස් දෙස අසික්කිත ලෙස බලා සිටීම (46.28%), දුරකථන අංකය ඉල්ලීම (48.72%) සහ කාමුක බැල්ම (45.56%) හිංසනයන්ද වේ.

පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමේදී වැඩිදුරක් හා වැඩිම කාලයක් ගතවන ගමනාත්තවලදි හිංසනයන් සිදුවීම වැඩි වී තිබේ. මේ අන්දමේ ලිංගික හිංසනයන්වලට ලක්වූවෝ සියයට 76ක් කෝපයට පත්වූහ. සියයට 68ක් අවමානයට හා ලැජ්ජාවටත්, සියයට 48ක් බියටත්, සියයට 45 පහත් තත්ත්වයට ඇද දමන ලද බවත් හැඟුණි යැයි කියා සිටියහ. පොදු ප්‍රවාහන සේවාවලදි කාන්තාවෝ හිංසනයට ලක්වන අයුරු දැක ඇතැයි සියයට 82ක් දෙනා ප්‍රකාශ කළහ. පොදු ප්‍රවාහන සේවාවලදි සිදුවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පිළිබඳ නොදන්නා බව සියයට 74 පවසා සිටියහ. ලිංගික හිංසනයන්ගෙන් තොර රටක් බිහි කිරීමට මේ සමීක්ෂණයේදී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර සිටියි.

ඒ අනුව පොදු ප්‍රවාහනය හා සම්බන්ධ මෙහෙයුම් හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳව සැලිකිලිමත්වීම, ප්‍රතිචාර දැක්වීමේ හා පැමිණිලි විභාග කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, කාන්තාවන් හා ගැහැනු ළමයින් සිය හඬ අවදි කිරීම සඳහා බලාත්මක කිරීම, අසල සිටින්නන්ගේ මැදිහත්වීම දිරි ගැන්වීම, රියදුරන් හා කොන්දොස්තරවරුන් ප්‍රශ්නය කරෙහි සංවේදී කරවීම කළ යුතුව ඇත.

මෙලෙස කිසියම් ලිංගික හිංසනයක් වැළැක්වීමට සමාජයේ සියලු දෙනා සත්භාවයේ හැඟීමකින්, යහපත් ආකල්පයකින් යුක්තව ක්‍රියා කළ යුතු ම වේ. ඒ සියල්ලටමත් වඩා පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගන්නා කාන්තාවන්, ගැහැනු ළමුන් තම ඇඳුම් පැළඳුම්, චර්යා රටා පිළිබඳව ද යම් විනීත බවක්, සංවරයක් ඇතිවන අයුරින් ඒවා සකස් කර ගත යුතුය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.