යුරෝපා බදු සහ­න­යට වගා­ක­රු­වාගේ සූදා­නම

අපනයන කරන භෝග මත පැන වෙන බදු නිසා යම් කලෙක අපනයන කරුවෝ අධෛර්යමත් වූහ. මේ තත්ත්වය කෘෂි ක්ෂේත්‍රයට ද විශාල ගැටලුවක් වී තිබිණි. එහෙත් යුරෝපා සංගමය යළි ජී. එස්. පී.+ සහනය ලබා දීමත් සමඟ බොහෝ අපනයනකරුවෝ දැන් තම නිෂ්පාදන ගැන උනන්දු වෙති. එමෙන්ම කර්මාන්තකරුවෝ ද නව නිෂ්පාදන කිරීම සඳහා යොමු වන බව පැවසේ. මේ පිළිබඳ පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති එම්. පී. එම්. ගුණසේන මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

• ජී.එස්.පී.+ බදු සහනය කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බලපාන්නේ කෙසේද?

මේ සහනය ලැබීම කෘෂි ක්ෂේත්‍රයට කළ ලොකු සහනයක්. මීට පෙර භාණ්ඩ මත බදු පැනවීම නිසා භාණ්ඩ අපනයන කරුවෝ අධෛර්යමත් වෙලා හිටියේ. අපේ රට කෘෂි කාර්මික රටක් නිසා කෘෂි අපනයන රටට යවන අපනයන කරුවන් විශාල පිරිසක් අපට සිටිනවා. මේ හැම කෙනෙක්ම විශාල බදු බරක් දැරුවා. ඇතැම් ව්‍යාපාර අඩපණ වෙලා තිබුණා. සුළු පරිමාණ අපනයනකරුවන්ට නම් විසඳුමක් තිබුණේම නැහැ. පොල් අපනයන ක්ෂේත්‍රය ගත්තත් එහෙමයි.

• කුමන වර්ගයේ පොල් නිෂ්පාදන අපනයනය කළේ ?

අපි දියර පොල්, පොල් ‍කොසු , කොහු බත්, කපාපු පොල් මේ සෑම දෙයක්ම අපනයනය කළා. ඒ වගේම මෑත කාලීනව පොල් ඉරටු අපනයන කරන තත්ත්වයක් ද තිබුණා. පොල් නිෂ්පාදන අපි ප්‍රාථමික භාණ්ඩ ලෙස මෙන්ම ද්විතික භාණ්ඩ ලෙස ද අපනයන කළා.

• මේ සහනය දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයට ව්‍යාප්ත වෙන්නෙ කෙසේද?

අපනයන කර්මාන්තවල නියුක්ත සේවයකයන් වෙත මේ සහනය ව්‍යාප්ත වෙයි. ඒ කියන්නේ ඒ සේවකයන් ගේ වැටුප් වැඩි විම් වලටත් මේ

වරප්‍රසාදය හේතු වුණා. නිෂ්පාදනය කරන භාණ්ඩයකට බදු පනවනවා කියන්නේ නිරායාසයෙන්ම මිල ඉහළ යෑමක්.

• බදු පැනවීමට පෙර මේ භාණ්ඩවලට විදේශ වෙළෙඳ පොළේ පැවැති තත්ත්ව පිළිබඳ විස්තර කළහොත්...

අපේ කෘෂිකාර්මික භාණ්ඩවලට බදු පැනවූ විට බද්දේ ප්‍රමාණයට සාපේක්ෂව මිල ඉහළ ගියා. ඒ නිසා ගැනුම්කරුවෝ ආදේශ භාණ්ඩවලට විතැන් වුණා. උදාහරණයක් ලෙස ෆාම් තෙල් පරිහරණයට සමහර ගැනුම්කරුවෝ හුරු වුණා. ඒ හින්දා පොල් තෙල් පරිභෝජනය අවශ්‍ය වුණේ නැහැ. මේ නිසා අපේ පොල් තෙල් වලට තිබෙන ඉල්ලුම අඩු වුණා. මේ මොන භාණ්ඩ වුණත් අලෙවියේ දී තිබෙන්නේ එකම සිද්ධාන්තයයි. ඒ තමයි මිල වැඩිවීම නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම. උදාහරණයක් මඟින් පැහැදිලි කළොත් වර්ජින් ඔයිල් සඳහා එදා තිබූ ඉල්ලුමට වඩා ඉල්ලුමක් අද තිබෙනවා.

•කෘෂි භාණ්ඩ සඳහා බලපාන ඉල්ලුමට ප්‍රධාන සාධකය වන්නේ මිල පමණක් ද?

නැහැ. අන්තර්ජාතික වෙළෙඳ පොළේ ගැනුම්කරුවෝ මිල දී ගැනීමේ දී භාණ්ඩවල විවිධාංගීකරණය පිළිබඳව ද විමසා බලනව. අද බොහෝ ගැනුම්කරුවෝ ප්‍රාථමික භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොමු වෙන්නෙ නැහැ. ඔවුන් වඩාත් කැමැති ද්විතීක භාණ්ඩ මිල දී ගැනීමටයි. මේ නිසා ඔවුන් අපේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන අවස්ථා ද තිබෙනවා. තේ, පොල්, රබර්, තවමත් අනිත් රටවල් සමඟ සැසඳීමේදී අපි යවන්නේ ප්‍රාථමික තත්ත්වයේ ඒවා බව තහවුරු වී තිබෙනවා.

• ඔබ හිතන්නේ ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනය අනිත් රටවල් සමඟ තරග කරන්න බාධාවක් බවද?

ඇත්තටම ඔව්. අපි ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනය කළාට අනිත් රටවල් නිෂ්පාදනය කරන්නේ ද්විතීක භාණ්ඩ. එතකොට ගැනුම්කරුවෝ මිලදී ගන්නේ ඒ භාණ්ඩ. උදාහරණයක් ලෙස අපි කළු තේ යවන විට වෙනත් රටක් තේවලින් නිෂ්පාදනය කරන ෆ්ලේවර් එකක් හඳුන්වා දෙනවා. නැති නම් රසකැවිල්ලක් හඳුන්වා දෙනවා. ගැනුම්කරුවෝ මේ දේ මිලදී ගැනීමට යොමු වෙනවා.

• ඔබ කිව්වානේ අපි බහුලවම නිෂ්පාදනය කරන්නේ ප්‍රාථමික කෘෂි භාණ්ඩ කියලා. මේ බදු නිදහසත් සමඟ ඒ භාණ්ඩවල මිල හැසිරීම කෙබඳු ද?

මිල යාන්ත්‍රණය කුමන භාණ්ඩයට වුවත් එකයි. ප්‍රාථමික භාණ්ඩ කියලා විශේෂයක් වන්නේ නැහැ. ඒත් කෙතරම් බදු සහන ලබා දුන්නත් ප්‍රාථමික භාණ්ඩවල මිල කෙතරම් පහළ ගියත් අන්තර්ජාතික වෙළෙඳ පොළේ දී ගැනුම්කරුවෝ මිලදී ගන්නේ ද්විතීයික භාණ්ඩ. මේ නිසා අපි හැම විටම ද්විතික භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවධානය යොමු කළ යුතුයි.

•බදු සහනය කෘෂි කර්මාන්තයට වාසිදායක ලෙස යොදාගන්නේ කෙසේද?

බදු සහනය පිළිබඳ වගාකරුවාට අවබෝධයක් තිබිය යුතුයි. අපේ රටේ බොහෝ වගාකරුවන්ට බද්ද පිළිබඳ අවබෝධයක් නැහැ. මේ නිසා බදු සහනයේ වාසිය ඔවුන් අත්පත් කරගන්න දන්නේ නැහැ.

• එහෙමනම් මේ බසු සහනය වගාකරුවා අත්පත් කරගන්නේ කෙසේද?

අපේ රටේ සුළු අපනයන භෝග රාශියක් තියෙනවා. මේ සෑම භෝගයක්ම අන්තර්ජාතික වෙළෙඳ පොළ උදෙසායි. සාදික්කා, කොකෝවා. ගම්මිරිස්, එනසහල්, කුරුඳු, භෝග සඳහා විදේශ ඉල්ලුම බහුලව තියෙනවා. වගාකරුවා බදු සහනය ලබා ගැනීමට නම් වගාකරන ක්ෂේත්‍ර ප්‍රමාණය වැඩි කර වැඩි සැපයුමක් වෙළෙඳ පොළට ඉදිරිපත් කළ යුතුය. නැතිනම් බදු සහනය වගා බිමට ගලාගෙන එන්නේ නැහැ.

•මේ පිළිබඳ වගාකරුවා දැනුවත් වෙන්නෙ නේද?

ඔව්. වාණිජ වගාවක් කරන්නේ නම් සෑම විටම වෙළෙඳ පොළ පිළිබඳ අවධියෙන් සිටිය යුතුය. අරමුණක් නැතුව වගා කිරීමෙන් වගාකරුවාට වාසියක් අත්පත් කරගත නොහැකි වේ. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.