රටේ ආර්ථිකය සඳහා එක් තීරයක්-එක් මාවතක් | සිළුමිණ

රටේ ආර්ථිකය සඳහා එක් තීරයක්-එක් මාවතක්

 ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා සිදු කරන ලද චීන සංචාරය නිසා අප රටට මහත් ආර්ථික හා දේශපාලන ප්‍රතිලාභ හිමිවන බව විශ්ලේෂකයින්ගේ අදහස වේ. මෙරට ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම වසරේදී ලබා දීමට යෝජිත චීන යුවාන් මිලියන 400ක ආධාර මුදලට අමතරව 2018 සිට 2020 කාලය සඳහා චීන යුවාන් බිලියන 2 ක ආධාර ලබා දීමට තම රට කටයුතු කරන බව මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස හමු‍වේ පොරොන්දු විය. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහාය ලබා දීමට චීනය ක්‍රියා කරන බවද චීන ජනපතිවරයා අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 60 ක් සම්පූර්ණවීම හා දෙරට අතර ක්‍රියාත්මක රබර් - සහල් ගිවිසුමට වසර 65 ක් පිරෙන මේ වසරේ රටවල් දෙක අතර පැරැණි සබඳතාවන් තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ද රාජ්‍ය නායකයින් දෙදෙනාගේ සාකච්ජා වලදී ගැඹුරින් අවධානයට යොමුව තිබේ. එසේම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත හම්බන්තොට වරාය ව්‍යාපෘතිය යෝජිත හම්බන්තොට කර්මාන්තපුරය ගැන මෙන්ම කොළඹ වරාය මූල්‍ය නගර ව්‍යාපෘතිය පිළිබදවද රාජ්‍ය නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙවර චීන සංචාරයේ ප්‍රමුඛ අරමුණ වූයේ රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති, එක් තීරයක් - එක් මාවතක්, සමුළුවට සහභාගී වීමයි. එකී සමුළුව සංවිධානය කිරීම සහ මේ වසර මුල ඩාවොස් ලෝක ආර්ථික සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගී වීම වික්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක්වූ අතර ඕනෑම රටකට සංවර්ධනය හා සමෘද්ධිය කරා වේගයෙන් ගමන් කළ හැක්කේ ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කර ගැනීමෙන් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙහිදී සදහන් කරන ලදී.

මෙරට සංවර්ධනයට චීන මහජන සමූහාණ්ඩුව විසින් ලබා දෙන සහයෝගයට වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාවය පුද කළ අතර හම්බන්තොට වරාය සංවර්ධනය හම්බන්තොට කර්මාන්ත පුරය හා කොළඹ වරාය මූල්‍ය නගර ව්‍යාපෘතිය මෙන්ම දැනට ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතී ගණනාවක් සඳහා චීනයේ සහයෝගය ලබා දීම සම්බන්ධව නිරතුරු අදහස් හුවමාරු කර ගත යුතු බව චීන ජනපති මෙහිදී පෙන්වා දී තිබේ. කර්මාන්ත කලාප, ආර්ථික කවුළු, ගුවන් හා නාවුක සේවා, සංචාරක ආදී ක්ෂේත්‍රයන් තුළ චීන - ශ්‍රී ලංකා සම්බන්ධතා තවත් පුළුල් කිරීමේ ඉඩකඩ සම්බන්ධවද අදහස් දැක්වූ ෂී ජින්පිං මහතා අඛණ්ඩව තම රටේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බව ප්‍රකාශ කරන ලදී. මේ අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම මේ වසර අවසන් වීමට පෙර අත්සන් තැබීමට අපේක්‍ෂා කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේදී සදහන් කර තිබේ.

මුල්‍ය, වාණිජ ආදී අංශයන් මූළික කොට ගනිමින්, ආසියාවේ අනෙකුත් සංවර්ධිත රටවල ආර්ථිකය හා කරට කර තරග කළ හැකි මට්ටමකට ලගා වීමටත් ඒ ඔස්සේ ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය වීමටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සහ උපකාරය ලබා දීමට චීනය සූදානම් බවද චීන අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡා වලදී අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසට මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද මෙම චීන සංචාරය අතර හැකියාව ලැබුණි. මෙරට රාජ්‍ය සේවයේ කළමනාකරණ හැකියාවන් වැඩි දියුණු කරලීමට සහ මැලේසියානු තාක්‍ෂණික සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය සේවකයින් වැඩි වශයෙන් පුහුණු කරලීමට සහයෝගය ලබා දෙන බව මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් මහතා එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුවේ පොරොන්දු විය.

එක් තීරයක් - එක් මාවතක් ප්‍රයත්නය ඔස්සේ දෙරටට ලබා ගත හැකි ප්‍රතිලාභයන් පිළිබඳව මෙන්ම දෙරට අතර වෙළඳ ගනුදෙනු ශක්තිමත් කරලීම සහ මැලේසියානු ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරලීම සඳහා පෙලඹවීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සකස් කරලීමේ පසුබිම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කඩිනමින් ඒ සඳහා මූලික පියවර ගත යුතු බවට ද සාකච්ඡා කිරීම අප රට ලැබූ තවත් ජයග්‍රහණයකි.

මීට අමතරව මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් කාන් සුකී මහත්මිය ඇතුළු තවත් රාජ්‍ය නායකයින් ගණනාවක් සමග ඵලදායි සාකච්ඡාවන් රැසක්ම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙවර චීන සංචාරය සිදුකරන අතරතුර පවත්වන්නට හැකිවීමද විශේෂත්වයකි. යහපාලන රජය තම නොබැදි විදේශ ප්‍රතිපත්තිය අනුව ඉදිරියට යමින් ඉන්දියාව, ජපානය, යුරෝපය හා චීනය ඇතුළු බලගතු රටවල් ගණනාවක් හා මෙලෙස සුහදශීලී සබදතා තර කර ගැනීම තවදුරටත් එක තැන පල් නොවී මෙරට ආර්ථිකය සුබදායී දිශාවක් වෙත වේගයෙන් ලගා වීමට අවැසි ජවය හා ශක්තිය නොඅඩුව ලබා දෙනු නොඅනුමානය.

 

Comments