ලොකු - පොඩි හැම කොට­ස්ක­රු­වන් කරනා බින්තැන්නේ හැදෙන “භාග්‍යා”

බින්තැන්න හා අවට වෙසෙන දුෂ්කර ප්‍රදේශවාසී දිළිඳු ගැමියන්ට සුවය සදන, ගඩොල් කැපීමෙන්, වැලිගොඩ දැමීමෙන් හෝ මේසන් වැඩ කරමින් ජීවිකාව සඳහා ගන්නා පුංචි මිනිසුන්ටත් කොටස් බෙදාහදාගෙන ආයෝජකයන් බවට පත් විය හැකි ආයෝජන ව්‍යාපෘතියක් මයියංගනයෙහි ඉදිවෙමින් පවතී.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි අනුමැතියලත් භාග්‍යා රෝහල් මහියංගන සමාගම නම් වූ මෙය මධ්‍යම ඌව හා නැගෙනහිර පළාත්වල වෙසෙන දුගී ජනතාවගේ රෝගවලට ප්‍රතිකාර ලබා දෙන නවීනතම පහසුකම්වලින් යුතු පෞද්ගලික රෝහලකි. මයියංගන ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපරිකයකු වන එස්. ගුණවර්ධනද ද සිල්වා මහතා මෙම ව්‍යාපෘතියේ නියමුවාය.

මෙරට සම්මත පෞද්ගලික රෝහල් භාවිතයෙන් වෙනස් වූ බහුවිධ රෝගී ප්‍රතිකාර ක්‍රම මෙන්ම රෝගවලින් වැළකී සිටීමේ ක්‍රමවේද ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි, මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි නොවූ ආකාරයේ සුවසේවා මධ්‍යස්ථානක් ලෙස භාග්‍යා රෝහල් ව්‍යාපෘතිය හැඳින්විය හැකිය.

රුපියල් කෝටි 179ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙහි සමස්ත ආයෝජනයෙන් 30% ක් ව්‍යාපෘතියේ කලමණාකරණ අධ්‍යක්ෂ සහ සභාපතිවරයා වන ගුණවර්ධන ද සිල්වා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරන අතර ඉතිරි කොටස්වලින් 70%ක් පොදු ජනතාවට මිලදී ගත හැකි වීම මෙහි විශේෂත්වයයි.

මහියංගනය, පස්සර, බිබිල, මොනරාගල, ජනතාවට මෙන් ම නැගෙනහිර පළාතේ අම්පාර මඩකලපුව කල්මුණේ ප්‍ර දේශවාසී ජනතාවට අවශ්‍ය වන විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර හෝ අගනුවර රෝහල් කරාම යන්නට සිදුවේ. ඒ සඳහා ඔවුන්ට විශාල කාලයක් හා ධනයක් වැය කිරීමට ද සිදුවේ. එම ප්‍රදේශවාසීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සහිත පෞද්ගලික රෝහලක් මහනුවරින් මෙහා නොමැති අඩුව සපුරාලමින් ඌව හා නැගෙනහිර පළාතේ ජනතාවට සියලු පහසුකම්වලින් සපිරි බටහිර, ආයුර්වේද හා චීනකටු චිකිත්සාව ඇතුළු වෛකල්පිත ප්‍රතිකාර ද ලබා ගත හැකි අති නවීන සෞඛ්‍ය සේවාවක් ලබා දීම භාග්‍ය රෝහල් ව්‍යාපෘතියෙහි අරමුණ බව එහි සභාපති ගුණවර්ධන ද සිල්වා මහතා පවසයි.

එතෙරට හා කොළඹට සීමා වූ කොටස් වෙළෙඳපොළ ක්‍රමය ඌව - නැගෙනහිර දෙපළාතේ සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයන්ටත් ලබා දෙමින් ‘පුංචි මිනිසාටත් අයිතියක් ඇති රෝහලක් ලබා දීම තම පරමාර්ථය බව ද ඒ මහතා කියයි.

“භාග්‍යා රෝහල් ව්‍යාපෘතිය තුළ ප්‍රදේශවාසී වැලි ගොඩදාන, ගඩොල් කපන, මැණික් ගරන, ත්‍රීරෝද රථ රියැදුරන් වැනි රැකියාවල නියුතු පුංචි මිනිසුන්ටත් මුදල් ආයෝජනය කර කොටස් හිමි කරගන්නට පුළුවන්. එක කොටසක මිල රු. 2.50 යි. අවම කොටස් සංඛ්‍යාව 2000 යි. අවම කොටසක් රු. 5000 බැගින් ඕනෑම පුද්ගලයකුට මිලදී ‍ගත හැකියි. මේ ප්‍රදේශයේ ඉතාම සුළු ව්‍යාපාරිකයන් පවා තමන් අමාරුවෙන් ඉතිරිකරගත් මුදලින් කොටසක් භාග්‍යා රෝහල වෙනුවෙන් යොදවන්නට ඉදිරිපත් වී සිටින බව කියන්නට සතුටුයි.” ‍‍

එලෙස මුදල් ආයෝජනය කළ විට ඔවුන්ටත් මෙම ව්‍යාපෘත‍ියේ අයිතියක් තිබෙනවා. මෙය “අපේ රෝහල” යන හැඟීම ඔවුන් තුළ ඇති වෙනවා. මෙපමණ කාලයක් මහනුවරට හෝ අගනුවරට ඇදී ගිය රෝගීන් කැමැත්තෙන් ම භාග්‍යා රෝහල වෙත ඇදී එන්නේ ‘තමන්ගේ තැනකට එනවාය’ යන හැඟීමෙන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන් ම රට පුරා විසිරී සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් භාග්‍යා රෝහල් ව්‍යාපෘතිය තුළ ‍කොටස් ආයෝජනය කරන්නට අප ඇරැයුම් කරනවා” යැයි ද සිල්වා මහතා කියයි.

ආයෝජකයන් සඳහා රෝහලෙහි සුවිශේෂී වට්ටම් වරප්‍රසාද හා ප්‍රමුඛතා පහසුකම් රැසක් සලසන බවද ඒ මහතා කියයි. සභාපතිවරයාගේ තීරණය මත ප්‍රධාන ආයෝජකයන්ගෙන් පනස් දෙනෙකු රෝහලේ අධ්‍යකෂක මණ්ඩලයට බඳවා ගැනීමට ද අපේක්ෂිතය.

රෝහලෙහි 90% ක් බටහිර ප්‍රතිකාර සේවා සපයන අතර 7% ආයු‍ර්වේද ප්‍රතිකාර සේවා සහ 3% ක් කටු චිකිත්සා ප්‍රතිකාර සපයනු ලැබේ. අගනුවර පෞද්ගලික රෝහල්වලින් පමණක් ලබාගත හැකි හෘද සැත්කම්, ප්‍රසව හා නාරි රෝග හා අක්ෂි ශල්‍යකර්ම සඳහා ශල්‍යාගාර 4ක්, සී.ටී. ස්කෑන් පහසුකම්, වකුගඩු රෝග සඳහා විශේෂිත ප්‍රතිකාර ඒකකයක්, පිළිකා සුවතා මධ්‍යස්ථානයක්, මාතෘ හා ළමා ඒකකයක් ඇති නවීන ඩිජිටල් එක්ස් කිරණ ප්‍රතිකාර අංශයක්, ප්ලාස්ටික් සැත්කම් හා රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකාර අංශයක් හා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක් ඊට ඇතුළත් වේ. බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව අංග සම්පූර්ණ ශරීර සුවතා මධ්‍යස්ථානයක්, පිහිනීම ඇතුළු ජල ප්‍රතිකාර අංශයක්, ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ද ඊට අයත්ය. ආයුර්වේද වෛද්‍ය අංශයෙහි ඖෂධ වාෂ්ප ප්‍රතිකාර, ඖෂධීය සම්බාහන මධ්‍යස්ථාන, ශිරෝධාර ප්‍රතිකාර ස්වේදකර්ම හා බෙහෙත් ඔරු ප්‍රතිකාර අංශයක් ද, චීන කටු චිකිත්සා යටතේ කාන්තා - සන්ධි රෝග සහ නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර අංශයක් ද ඇතුළත් ය.

පුද්ගල බද්ධ වෛද්‍ය විද්‍යාව අනුව සුවපත් දිවියක් පවත්වා ගැනීම සඳහා යෝග ව්‍යායාම හා භාවනා වැඩසටහන්, සෞඛ්‍යමත් ආහාරවලින් යුතු භෝජනාගාර, සෞඛ්‍යයට හිතකර ඇඟළුම් සහ පලඳනා ඇතුළු සෞඛ්‍යයට හිතකර වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගත හැකි වෙළඳ මධ්‍යස්ථානයක්, වාහන 150 ක් නවතා තැබිය හැකි රථ ගාලක්, හෙලිකොප්ටර් අංගනයක් මෙන් ම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් ද භාග්‍යා රෝහලෙහි වෙයි.

කෙටි කාලයකට විදෙස්ගතවන පුද්ගලයන්ගේ වියපත් මවුපියන් හෝ ඥාතීන් ඔවුන් එනතුරු හොඳින් රැක බලා දීම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඉටු කෙරෙනු ඇත. භාග්‍යා රෝහල මයියංගන නගර මධ්‍ය‍යේ අක්කර 4ක භූමි ප්‍රමාණයක් පුරා ඉදිවෙමින් පවතී. එය ඇඳන් 56 කින් යුතු සුවපහසු කාමර 56කින් සමන්විතය. මහල් පහකින් යුතු ගොඩනැඟිලි දෙකක් සහ ශල්‍යාගාර 4ක් මුල් අදියරේදී ඉදිකිරීමට නියමිතය.

2017 මාර්තු 16 වැනිදා භාග්‍යා රෝහල් ව්‍යාපෘතියේ ප්‍රථම අදියර අස්ගිරි පාර්ශවයේ මහා නා හිමි පූජ්‍ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතනාභිධන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණ. 2017 අවසානය වන විට මුල් අදියරෙහි ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිතය. මූලික ඉදිකිරීම් සඳහා මේ වනවිට රු. ලක්ෂ 330 ක් වැය කර තිබේ. රෝහලෙහි ඉදිකිරීම් වැඩ අරඹා ගතවූ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 165 ක් වටිනා ආයෝජන ලැබී ඇතැයි පවසන සිල්වා මහතා ඒ අතර ඉතාම සුළු ව්‍යාපාරිකයන් ද සිටින බව පවසන්නේ සතුටිනි. ආරම්භක අදියරේදී දායක වන ආයෝජකයන් ගේ පවුලේ සාමාජිකයන් දෙදෙ‍නකු සඳහා සුවිශේෂ වට්ටම් හා වරප්‍රසාද ලබා දෙන බව ද ඔහු කියයි.

භාග්‍යා රෝහල් ව්‍යාපෘතිය තුළින් ඍජු රැකියා අවස්ථා 200 ක්ද වක්‍ර රැකියා අවස්ථා 300 ක් ද ලබා දීමට අපේක්ෂිතය. මෙම සියලු රැකියා ඌව හා අවට දුෂ්කර පළාත්වල ජනතාවට ලබා දීමට සිල්වා මහතා සූදානම්ය. කොළඹ මහනුවර මෙන්ම විදේශයන්හිද පතළ ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරුන් භාග්‍යා රෝහල වෙත ගෙන්වා දීමට ද වෛද්‍යවරුන් හා පවුලේ සාමාජිකයනට අංග සම්පූර්ණ පහසුකම් සහිත නිවාස පහසුකම් ලබා දීමට ද කටයුතු යොදා තිබේ.

ඌව - නැගෙනහිර දෙපළාත්වල අහිංසක ජනතාවගේ සෞඛ්‍ය නඟා සිටුවීමට පහසුකම් සහිත ‍රෝහලක් සහ වෛද්‍ය සේවාවක් සැපැයීම තම අරමුණ වන අතර එය සේවය මිස ලාභයම අරමුණු කර ගෙන සිදු කරනු ලබන ආයෝජනයක් නොවන බවද සිල්වා මහතා පවසයි.

භාග්‍යා රෝහලේ උපදේශකවරුන් ලෙස විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩබ්ලියු.ඒ.ඒ.ඒ.එම්.ඒ.ටී. අර්ථනායක, වෛද්‍ය ඒ.වී.ආර්.ආර්.යූ. බණ්ඩාර, වෛද්‍ය කේ.එම්. වත්සලා ජයසුන්දර හා වෛද්‍ය අරුණ ජයසුන්දර යන මහත්ම මහත්මීහු කටයුතු කරති. වාස්තු විද්‍යාඥයන් හා ගණකාධිකාරිවරුන් ලෙස ඉසුරු උදය සොයිසා සහ මූල්‍ය උපදේශක ඩබ්ලිව්.එස්. ඒකනායක යන මහත්වරු කටයුතු කරති. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.