ව්‍යාපා­ර­ගත ගිණුම් පොත් පව­ත්වා­ගෙන යන්නේ කෙසේද? | සිළුමිණ

ව්‍යාපා­ර­ගත ගිණුම් පොත් පව­ත්වා­ගෙන යන්නේ කෙසේද?

පසුගිය ලිපි පෙළින් අප ඉදිරිපත් කළේ මූලික වශයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය සහ එය ලියාපදිංචි කරන ආකාරයත් ක්‍රමයෙන් හවුල් ව්‍යාපාරයක් දක්වා එය පුළුල් කරන ආකාරයත් පිළිබඳවයි. මෙවර ලිපියෙන් ව්‍යාපාරවල සිදුවන ගණුදෙනු ‍නිවැරැදිව ගිණුම්ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමු.

ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ ප්‍රධානම අරමුණ වන්නේ ලාභ ඉපැයීමයි.‍ ලාභ හෝ පාඩු ගණනය කිරීමට නම් ප්‍රමාණවත් තොරතුරු ව්‍යාපාරිකයාට අවශ්‍ය වේ.‍ එනම් ආදායම්, වියදම් පිළිබඳ තොරතුරු ‍අවශ්‍ය වේ. එපමණක් නොව බැංකු ණය ලබාගෙන ඇත්නම් ඒ සඳහා දැනට කොපමණ මුදලක් ගෙවීමට ඉතිරිව ඇද්ද සහ විවිධ සැපයුම්කරුවන්ගෙන් ණයට ගත් භාණ්ඩ සඳහා කොපමණ මුදලක් තව ගෙවීමට ඉතිරිව ඇද්ද යන්න පිළිබඳ මනා අවබෝධයක් ව්‍යාපාරිකයා සතුව පැවතිය යුතු ය. එම නිසා ව්‍යාපාරය තුළ සිදුවන සියලුම ගනුදෙනු නිවැරැදිව වාර්තා කිරීම ඉතාමත් වැදගත් වේ. ව්‍යාපාරයේ ලාභ පාඩු ගණනය කිරීම දිනපතා සිදු නොවන කාර්යයකි. දෛනිකව සිදුවන ගනුදෙනු නිවැරැදිව වාර්තා නොකළහොත් ඔබට කිසි විටක ආදායම් සහ වියදම් පිළිබඳ අවබෝධයක් ලබා ගත නොහැකි වේ. එවිට ව්‍යාපාරය පවත්වාගෙන යාමේ ප්‍රධානතම අරමුණ වන ලාභය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් ඔබට ලබාගත නොහැකි වේ. එම නිසා ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඔබ විසින් පවත්වාගත යුතුම පොත්පත් කිහිපයක් ඔබ වෙත හඳුන්වාදීමට අප අද සූදානම් වන්නෙමු.

ව්‍යාපාරිකයන් විසින් ප්‍රධාන වශයෙන් පහත පොත් පවත්වාගෙන යා යුතු ය.

 මුදල් පොත (cash book)

 සුළු මුදල් පොත (petty cash book)

 ණයට ගැනුම් පොත (purchase day book)

 

 ණයට විකුණුම් (sales on credit)

 පෙදු ජර්නලය (General journal)

පළමුව අවධානය යොමු කරන්නේ මුදල් පොතක ගනුදෙනු වාර්තා කරනු ලබන ආකාරය පිළිබඳවය. සාමාන්‍යයෙන් මුදල් පොතක වාර්තා කරනු ලබන්නේ දෛනිකව ව්‍යාපාරයට ලැබෙන මුදල් සහ දෛනිකව ව්‍යාපාරයෙන් ගෙවීම් කරනු ලබන මුදල් පිළිබඳවය. කිසිවිටකත් මුදල් පොත තුළ ණයට ගනු ලබන භාණ්ඩ හෝ සේවා පිළිබඳ වාර්තා කිරීමක් සිදු නොකරන අතර ණයට අලෙවි කරනු ලබන භාණ්ඩ හෝ සේවා පිළිබඳ තොරතුරු ද වාර්තා කරන්නේ නැත. මෙම මුදල් පොත පිළියෙල කිරීමේ වැදගත්කම වන්නේ සෑම දිනයක් අවසානයේ ම අත ඉතිරිව පවතින මුදල් ශේෂය මෙමඟින් සොයාගත හැකිවීමයි. පළමුව අප විසින් මුදල් පොතක දල ආකෘතියක් ඉදිරිපත් කරන අතර ඉන්පසු ගනුදෙනු කීපයක් වාර්තා කරන ආකාරයත් අවසානයේ මුදල් ශේෂය ( අත ඉතිරි මුදල) සොයාගන්නා ආකාරයත් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

 

ඉහත අප ඔබට ඉදිරිපත් කර ඇති මුදල් පොතක ආකෘතියේ එක් එක් ශීර්ෂයක් යටතේ වාර්තා කරනු ලබන්නේ මොනවාද යන්න පිළිබඳව අවධානය යොමු කරමු.

1 සිට 4 දක්වා තීරු මුදල් පොතේ ලැබීම් පැත්ත ලෙස හඳුන්වයි. (හර පැත්ත)

5 සිට 8 දක්වා තීරු මුදල් පොතේ ගෙවීම් පැත්ත ලෙස හඳුන්වයි.

1 සහ 4 මෙම තීරුවල ගනුදෙනුව සිදු වූ දිනය ඉතාමත් පැහැදිලිව වාර්තා කරයි.

මෙම තීරුව තුළ මුදල් ලැබීම්වලට අදාළ බිලේ (ලදුපත්) අංකය ඇතුළත් කරයි. එවිට කිසියම් අවශ්‍යතාවයකදී තම තීරුවේ බිල් අංකය ඇතුළත් කර ඇති නිසා වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා බිල සොයා ගැනීම පහසු වේ.

3 සහ 7 ගනුදෙනුවට අදාළ කෙටි විස්තරයක්. එවිට එම මුදල් ලැබුණු මාර්ගය සහ මුදල් වියදම් කළ මාර්ගය සොයා ගැනීම පහසුවේ.

4 සහ 8 මෙම තීරුවල සිදුවූ ගනුදෙනුවට අදාළ වටිනාකම ඇතුළත් කෙරේ.

මෙම තොරතුරු නිරීක්ෂණය කළ පමණින් ම ඔබට මුදල් ලැබීම් සහ ගෙවීම් වාර්තා කරන ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත නොහැක. ඒ සඳහා ප්‍රායෝගිකව ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු කිහිපයක් වාර්තා කරන ආකාරය පිළිබඳව අප ඔබගේ අවධානය යොමු කරන්නෙමු.

උදාහරණයක් ලෙස ‘ඉරේෂාගේ ව්‍යාපාරය’ තුළ 2017 ජනවාරි මාසයේ පහත සඳහන් මුදල් ගණුදෙනු සිදුකර ඇත.

ගණුදෙනු

2017.01.01 බැංකු ණයක් ලබා ගත්තා රු. 150,000

2017.01.02 සේවක වැටුප් ගෙව්වා රු. 30,000 (වැටුප් බිල් අංකය 001)

2017.01.03 ගෙවල් කුලී ආදායම් ලැබුණා රු. 10,000/= (ලදුපත් අංකය 005)

2017.01.12 භාණ්ඩ තොගයක් මිලට ගත්තා රු. 15000/= වවුචර් අංකය 003

2017.01.20 භාණ්ඩ අලෙවියෙන් මුදල් ලැබුණා 35000/= (ලදුපත් අංකය 006)

2017.01.25 විදුලිබිල මුදලින් ගෙව්වා රු. 2000/= (වවුචර් අංකය 004)

2017.01.30 යන්ත්‍රයක් මිලට ගත්තා රු. 25000/= (වවුචර් අංකය 005)

ඉහත ලදුපත් අංක සහ වවුචර් අංක ලෙස සඳහන් කර ඇත්තේ එම ගනුදෙනුවට අදාළව තොරතුරු ඇතුළත් බිල්වල (බිලේ) අංක වේ. ඒවා මුදල් පොත තුළ ඇතුළත් කිරීමෙන් ගනුදෙනුව පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් එම බිල් අංක මුදල් පොතේ ඇතුළත් කර ඇති නිසා ඒවා සොයා ගැනීම වඩාත් පහසු වන නිසා ය. දැන් අපි ඉහතින් සඳහන් කළ ගනුදෙනු මුදල් පොතක ඇතුළත් කරන ආකාරය විමසා බලමු. මෙහිදී සියලුම මුදල් ලැබීම් වම් පැත්තේ ද සියලුම මුදල් ගෙවීම් දකුණු පැත්තේ ද වාර්තා කෙරේ.

ඉහත මුදල් පොත තුළ වම් පැත්තේ දක්වා ඇත්තේ ඉරේෂාගේ ව්‍යාපාරයේ 2017 ජනවාරි මාසය තුළ ලද සියලු ම මුදල් ලැබීම් වන අතර දකුණු පැත්තේ දක්වා ඇත්තේ එම කාලපරිච්ඡේදය තුළ කරන ලද මුදල් ගෙවීම් ය.

ඉහත ආකෘතිය භාවිතා කරමින් ඔබගේ ව්‍යාපාරය තුළ දෛනිකව සිදුවන ගනුදෙනු වාර්තා කිරීමට පුරුදු වන්න. එවිට ඔබ නොදැනුවත්වම විධිමත් ගිණුම් කරන සිද්ධාන්තවලට අනුව ගිණුම් පිළියෙල කිරීමට හුරු පුරුදු වේ. ලබන සතියේ ලිපියෙන් මුදල් පොත භාවිතා කරමින් අත ඉතිරි මුදල් ශේෂය ගණනය කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු.

Comments