ශ්‍රී ලංකා ආර්ථික‍ෙය් ක්‍රමික වර්ධනයක් ඉදිරියට | සිළුමිණ

ශ්‍රී ලංකා ආර්ථික‍ෙය් ක්‍රමික වර්ධනයක් ඉදිරියට

2016 මහබැංකු වාර්තාව මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් ඇමැතිවරයා වෙත භාර දෙන ලද අවස්ථාව

රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය වැඩිදියුණු කිරීම තුළින් සහ ඉදිරි දැක්මකින් යුතු මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් ඔස්සේ සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කරමින්, මෙම ව්‍යුහාත්මක ගැටලු සඳහා පුළුල් මහජන එකඟතාවකට අනුව නොපමාව විසඳුම් සෙවිය යුතු අතර, තිරසාර හා වර්ධනයේ ප්‍රතිලාභ සියලු පුරවැසියන් වෙත හිමිවන ආකාරයේ වර්ධන මාවතක ආර්ථිකය ගමන් කිරීමේ දී මෙවැනි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම තවදුරටත් ප්‍රමාද කිරීම නොකළ යුතුය.

පළමු කාර්තුවේ තරමක් මන්දගාමී වුවද දෙවැනි කාර්තුවේ සිට ක්‍රමයෙන් ශක්තිමත් වන ආර්ථික වර්ධනයක් වසර 2016 දී දක්නට ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කළේය.

වසර 2016 රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වන කරුණු සැකෙවින් දක්වමින් අධිපතිවරයා එසේ කියා සිටියි.

ශ්‍රී ලංකා ආර්ථිකය, අවිනිශ්චිත කාලසීමාවකින් පසු 2016 වසර තුළ දී, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සඳහා ප්‍රතිචාර දක්වමින් ක්‍රමයෙන් ස්ථායී බවට පත් වීමේ මූලික ලක්ෂණ පෙන්නුම් කළේය. අයහපත් කාලගුණික තත්ත්වයෙහි බලපෑම හා ගෝලීය ආර්ථිකය සෙමෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් පෙර වසරේ දී වාර්තා කරන ලද සියයට 4.8 ක මූර්ත ආර්ථික වර්ධනය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 2016 වසර තුළ දී සියයට 4.4 ක මන්දගාමී වර්ධනයක් වාර්තා කළ ද, දැඩි රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම මධ්‍යයේ පවා වසරේ දෙවැනි කාර්තුවේ සිට ක්‍රමයෙන් ශක්තිමත් වන කාර්තුමය ආර්ථික වර්ධනයක් දක්නට ලැබුණි. විශේෂයෙන්, ඉදිකිරීම් අංශය ප්‍රමුඛ ආයෝජන වියදම ඉහළ යෑම වසර තුළ ආර්ථික වර්ධනයට මූලිකව හේතු වූ අතර, ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම හේතුවෙන් පරිභෝජන වියදමෙහි වර්ධනය මන්දගාමී විය.

රාජ්‍ය මූල්‍ය කටයුතුවල ආදායම් හා වියදම් යන දෙඅංශයෙන්ම යහපත් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරමින් සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙහි (ද.දේ.නි.යෙහි) ප්‍රතිශතයක් ලෙස අපේක්ෂිත සියයට 5.4 මට්ටමෙහි රඳවා ගැනීමට හැකි විය.

විවිධ ‍ගෝලීය හා දේශීය අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය 2016 වසරේ දී සියයට 4.4 කින් මූර්ත වශයෙන් වර්ධනය විය. වසර තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය ආර්ථික කටයුතු කෙරෙහි, මූලික වශයෙන් කෘෂිකාර්මික අංශය කෙරෙහි, අහිතකර ලෙස බලපෑවේය. මූල්‍ය සේවා, රක්ෂණ, විදුලි සන්දේශ මෙන්ම ප්‍රවාහන සහ තොග හා සිල්ලර වෙළඳාම යන අංශවල වර්ධනයත් සමඟ මූර්ත ‍ද‍.දේ.නි.යෙන් සියයට 56.5 ක දායකත්වයක් සහිත සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් 2016 වසර තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.2කින් වර්ධනය විය. ඉදිකිරීම් සහ පතල් හා කැණීම් යන උප අංශ වර්ධනය වීම හේතුවෙන් මූර්ත ද.දේ.නි.යට සියයට 26.8ක දායකත්වයක් දක්වන කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් පෙර වසරට සාපේක්ෂව සියයට 6.7ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. කර්මාන්ත අංශය තුළ ඇතුළත් නිෂ්පාදන කටයුතු සියයට 1.7ක අඩු අගයකින් වර්ධනය විය. කෘෂිකර්මාන්තය, වන වගාව සහ ධීවර කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් 2016 වසර තුළ දී සියයට 4.2 කින් අඩු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ දී එම ක්‍රියාකාරකම් මූර්ත ද.දේ.නි.යට දක්වන දායකත්වය සියයට 7.1 ක් දක්වා අඩු විය. 2016 වසර තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වශයෙන් වී, තේ සහ රබර් යන උප අංශවල වර්ධනය පහළ ගියේය.

ශ්‍රී ලංකා ආර්ථිකය

වියදම් ප්‍රවේශයේ ඇස්තමේන්තු සැලකීමේ දී, 2016 වසර තුළ දී ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වියදම් පුළුල් වීම මූලික වශයෙන් හේතු විය. ඒ අනුව, නාමික ද.දේ.නි.යට සියයට 31.5ක දායකත්වයක් දක්වන සහ ආර්ථිකයේ ආයෝජන ක්‍රියාකාරකම් මට්ටම පිළිබිඹු කරන දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය සියයට 19.6 කින් වර්ධනය විය. වසර තුළ දී ඉදිකිරීම් ක්‍රියාකාරකම් පුළුල් වීම ඉහළ ආයෝජන වර්ධනයට මූලික වශයෙන් හේතු විය. මේ අතර, ආර්ථිකයේ විශාලතම වියදම් කාණ්ඩය වන පරිභෝජන වියදම්, නාමික වශයෙන් සියයට 4.1ක මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, එය පෙර වසරේ වාර්තා කළ සියයට 10.3ක වර්ධනය හා සැසඳී‍ෙම් දී සැලකිය යුතු මධ්‍යස්ථ අගයකි.

දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් පෞද්ගලික අංශයේ පරිභෝජන වියදම අඩු වීම මෙන්ම, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ඇති කිරීම සඳහා දරන ලද ප්‍රයත්න හේතුවෙන් රාජ්‍ය අංශයේ පරිභෝජන වියදම සීමා වීම, 2016 වසරේ දී පරිභෝජන වියදම අඩු වීමට හේතු විය.

සේවා වියුක්ති අනුපාතිකය පෙර වසරේ දී වාර්තා වූ සියයට 4.7 හා සැසඳීමේ දී 2016 වසරේ දී සියයට 4.4 ක් දක්වා අඩු වූ අතර, ආර්ථිකයේ කර්මාන්ත හා සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් පුළුල් වීමත් සමඟ සේවා නියුක්ත පුද්ගලයන් සංඛ්‍යාව වසර තුළ දී සියයට 1.5 කින් ඉහළ ගියේය.

උද්ධමනය :- 2016 වසරේ මුල් භාගය තුළ දී පාරිභෝගික මිල උද්ධමනය ඉහළ ගිය ද, වසරේ ඉතිරි කාලපරිච්ඡේදය තුළ දී එය තරමක් දුරට ස්ථාවර වීමක් පෙන්නුම් කළ අතර, 2016 වසරේ දී මූලික උද්ධමනය සමස්තයක් ලෙස ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. ජාත්‍යන්තර වෙළඳපොළේ භාණ්ඩ මිල ගණන් පහළ අගයක පැවතීම මත ආනයන මඟින් ඇති කරන ලද අවධමනාත්මක බලපෑමෙහි ප්‍රතිඵලයක් ලෙස ජා.පා.මි.ද. වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, වසරේ පළමු කාර්තුවේ දී පහළ අගයක් ගන්නා ලදී. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශීය සැපයුම් අංශයේ ඇති වූ අවහිරතා සහ බදු සංශෝධනවල බලපෑම පිළිබිඹු කරමින් මතුපිට උද්ධමනය වසරේ දෙවන කාර්තුවේ දී ඉහළ යෑමක් වාර්තා කළේය. කෙසේ වුවත්, රාජ්‍ය බදු යථා තත්වයට පත් වීම ‍හේතුවෙන් තුන්වන කාර්තුවේ දී උද්ධමනයෙහි යම්කිසි අඩු වීමක් දක්නට ලැබුණි. ඉන්පසුව උද්ධමනය බොහෝ සෙයින් ස්ථාවරව පැවති නමුත්, 2016 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කරන ලද එකතු කළ අගය මත නව බදු අනුපාතික හේතුවෙන් මිල මට්ටම් මත පීඩනයක් ඇති විය. ඒ අනුව, 2016 ජුනි මස දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.4 ක උපරිම අගයක් වාර්තා කළ ජා.පැ.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය, 2016 වසර අවසානය වන විට සියයට 4.2 දක්වා ක්‍රමයෙන් අඩු වී 2015 වසර අග පැවති මට්ටමට සමාන මට්ටමක පැවතිණ.

විදේශීය අංශයේ වර්ධනයන් : මධ්‍යස්ථ මට්ටමක පැවති විදේශ විනිමය ලැබීම් ඉක්මවා විදේශ විනිමය ගෙවීම් සිදු වීමත් සමඟ 2016 වසර තුළ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයෙහි මන්දගාමී ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පැවතුණි. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මුදල් ප්‍රතිපත්තිය ක්‍රමයෙන් දැඩි කිරීම, ඇතැම් දියුණු ආර්ථිකවල සහ නැඟී එන වෙළඳපොළ ආර්ථිකයන්හි ආර්ථික තත්ත්වය මන්දගාමී ලෙස යථා තත්ත්වයට පත් වීම නිසා විදේශීය ඉල්ලුම අඩු වීම සහ මැදපෙරදිග රටවල අඛණ්ඩව පැවති භූ - දේශපාලනික අවිනිශ්චිතතාව හේතුවෙන් විදේශීය අංශයෙහි ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස පසුබෑමකට ලක් විය. ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස වෙළඳ හිඟය 2015 වසරේ පැවති සියයට 10.4 ට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 11.2 ක් දක්වා පුළුල් විය.

රාජ්‍ය මූල්‍ය අංශයේ වර්ධනයක්

රාජ්‍ය මූල්‍ය අංශයේ වර්ධනයන් : රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා වන රජයේ කැපවීම හේතුකොට ගෙන බදු පදනම පුළුල් කිරීම, බදු පරිපාලනය හා සම්බන්ධ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම තුළින් රාජ්‍ය ආදායම ඉහළ යෑම සහ රජයේ වියදම් තාර්කීකරණය කිරීම 2016 වසර තුළ රාජ්‍ය මූල්‍ය අංශයේ සිදුවූ සමස්ත වර්ධනයට දායක විය. ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියක් තුළින් අත් කර ගත් රාජ්‍ය මූල්‍ය අංශයේ යහපත් වර්ධනය හේතුවෙන් අයවැය හිඟය, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස පෙර වසරේ වාර්තා වූ සියයට 7.6 හා සැසඳීමේ දී 2016 වසරේ දී ඉලක්කගත මට්ටම වූ සියයට 5.4 ක මට්ටමේ රඳවා ගැනීමට හැකි විය. ඒ හා සමගාමීව, රජයේ නිර්ඉතුරුම් පිළිබිඹු කරනු ලබන වර්තන ගිණුමේ හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2015 වසරේ වාර්තා වූ සියයට 2.3 සිට 2016 වසරේ දී සියයට 0.6 දක්වා සැලකිය යුතු ලෙස අඩුවිය.

මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් අංශයේ වර්ධනයන්: ආර්ථිකය තුළ ඉල්ලුම් පීඩන අධික ලෙස ඉහළ යෑමට ඇති හැකියාව සීමා කිරීම තුළින් ආර්ථික ස්ථායීතාව ඇති කිරීමේ අරමුණ ඇතිව 2016 වසර තුළ දී මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදී. 2016 වසර තුළ දී රජයට සහ පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි අධික ප්‍රසාරණය හේතුවෙන් මුදල් සමස්ත පුරෝකථනය කරන ලද මට්ටමට වඩා ඉහළ වේගයකින් වර්ධනය විය.

ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ වර්ධන මාවතක් තුළ ස්ථාවර ලෙස රඳවා ගැනීමට නම් ආර්ථිකය තුළ දිගුකාලීනව පවතින ව්‍යුහාත්මක ගැටලු විසඳිය යුතු බව 2016 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයෙහි ක්‍රියාකාරිත්වයක් තුළින් යළි අවධාරණය විය. මෙම ගැටලු මෙන්ම ආර්ථිකයෙහි ඉස්මතු වෙමින් පවතින අභියෝග විසඳීම සඳහා ද අවශ්‍ය කරනු ලබන ප්‍රතිපත්ති සැකසීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වීය ආයතනවල ද සහයෝගය සහිතව, රජය විසින් මෑතකදී ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසිය යුතු අතර, ගෝලීය නිෂ්පාදන ජාලය සමඟ සමීපව ඒකාබද්ධ වෙමින්, ආර්ථිකයෙහි ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හා දේශීය පෞද්ගලික අංශයෙහි ආයෝජන දිරිමත් කිරීමත් හේතු වන පරිදි එම ප්‍රතිපත්ති නොපමාව හා ස්ථාවර ලෙස ක්‍රියාත්මක කළ යුතු වේ.

ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇති ව්‍යුහාත්මක අභියෝග පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වාර්ෂික වාර්තා මඟින් මෙන්ම, රජය වෙත ඉදිරිපත් කරන ලද වාර්තා මඟින් නිබඳවම අවධාරණය කර ඇති අතර, ආර්ථික පර්යේෂණවල නියැළෙන්නන් සහ අන්තර්ජාතික සංවර්ධන නියෝජිත ආයතන විසින් ද විවිධ අවස්ථාවල දී ඒ බව අවධාරණය කර ඇත. රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය වැඩිදියුණු කිරීම තුළින් සහ ඉදිරි දැක්මකින් යුතු මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් ඔස්සේ සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කරමින්, මෙම ව්‍යුහාත්මක ගැටලු සඳහා පුළුල් මහජන එකඟතාවකට අනුව නොපමාව විසඳුම් සෙවිය යුතු අතර, තිරසාර හා වර්ධනයේ ප්‍රතිලාභ සියලු පුරවැසියන් වෙත හිමිවන ආකාරයේ වර්ධන මාවතක ආර්ථිකය ගමන් කිරීමේ දී මෙවැනි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම තවදුරටත් ප්‍රමාද කිරීම නොකළ යුතුය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.