ගමේ රස කතා

 

 නාග දමනය

 

ඩී.සී. ද සිල්වා

විශ්‍රාමලත් විදුහල්පති

 

අක්කර හතරක පමණ කුරුඳු ඉඩමක් විකිණීමට තිබිණ. තරමක් පාළුවට ගිය නිසා මේ ඉඩමේ නයින් ඉන්නා බවත් සද්දන්ත නාග රාජයන් කිහිප දෙනෙකු මෙහි සැරි සරණ අතර ඒ මලගිය වස්තු තණ්හාව ඇති අය බවටත් කට කතා විය.

ඉඩම් මිලදී ගන්නට ඔප්පු තිරප්පු බලනවාට වඩා තොවිල් පවිල් කරන්නට සමහර අය සිතුවද ආසන්නයේ පදිංචි අය නිකමටවත් ඉඩම ගැන හොඳක් කියන්නට නොපෙලඹුණහ.

කාලයක් යන විට අවට ගම්වල ද අල්ලා ගත් නාගයන් මේ වත්තට දමන බවට රාවයක් ද විය.

අපේ හිතමිතුරු ගුරුවරයෙක් මේ ඉඩම අඩු මිලට ගත්තේ ය. නිදහස් මත ධාරියකු වන ඔහු නොවුර්වාදියකු ද වූයේ ය. අනෙක් අතට ඔහු යකෙකුටවත් බය නැති කෙනෙකි.

මේ වත්ත පහළින් දොළ පාරකි. වත්ත මැද්දේ ‍ගෙවල් දෙකකි. එකක් වසා ඇති අතර අලුත්වැඩියා කර ගත්තොත් පදිංචියට හොඳ ගෙයකි. අනෙක් ගෙය ටකරම් ගැසූ කුරුඳු තලන වාඩියයි. දැන් ඔහු අප හමු වන හැම විටකම එහි එන්නට කියයි.

“මහත්තයල දවසක අපේ වත්තට එන්නකෝ, වාඩි බත් වේලක් කාලා දොළෙන් නා ගෙන වත්තෙ මයියොක්කා එක්ක තව මොනව හරි ගන්න පුළුවන්” ඔහුත් සමඟ සේවය කළ පිරිමි ගුරුවරු හත් අට දෙනකු දිනක් එහි ගියහ‍.

මිත්‍රයා ඉතා හොඳින් අපට සලකන්නට සූදානම් ය. වස විස නැති ඉඩමේ වැවී ඇති මඤ්ඤොක්කා, කොස්, ඇඹරැල්ලා ද පරිප්පු සහ ජාඩි ද උයා ඇත. වාඩි බතට ජාඩි හොද්දක් අවශ්‍ය ම ය.

අපි සැවොම දොළ පාරෙන් දිය නා ගත්තෙමු. බත් වේලට යන තුරු මඤ්ඤොක්කා සහ පොල් සම්බෝල ද සමහර අයට ටිකක් සැර බීම ද විය. ඉන් පසු අපි කෑමට වාඩි වූයෙමු.

මේ අතර වාඩිය දෙසින් එක් වරම ශබ්දයක් ඇසිණි.

“මහත්තයා... මහත්තයා, නයෙක්.... නයෙක්.

“මම එනවා... යන තැන හොඳට බලා ගන්නවා.”

අප ද ඔහු පසු පස පරෙස්සමෙන් ගියේ නයාට බයෙනි. කොයි එකටත් සූදානම සඳහා අපේ එක් අයකු පොල්ලක් ද ගත්තේ ය.

අපේ මිත්‍රයා අඩි විස්සක් පමණ දිග උණ ලීයක් රැගෙන ආවේ ය. උණ ලී කෙළවරේ ඉංග්‍රීසි එල් අකුරේ හැඩයට තියුණු දැලි පිහියක් ගැට ගසා ඇත.

නයා කොළ ගොඩකින් ඇදෙනවා දුටු ඔහු නයා ඉදිරියට උණ ලීයේ කෙළවර දැම්මේ ය. උඩ පැන ‘පුස්... පුස්... පුස්... ගාමින් විෂ ඝෝර නාගයා වේගයෙන් දැලි පිහියට ගැසුවේ ය. පෙණ ගොබය මුලින් ම දෙකඩ වී ගිය කෑලි දඟලන්නට වී නාගයා මිය ගියේ ය.

“හ්ම්.... දැන් ඔය පොල් කොළ අතු ටිකකින් ගිනි ගොඩක් ගහනවා.” දැවෙන ගිනි ගොඩට නාග දේහය ගෞරවාන්විත ලෙස දැම්මේ ය‍. දැන් ඔහු ඒ දෙසට වැඳගෙන මෙහෙම කියයි.

“නාග රාජයාණන් වහන්ස, ඔබ වහන්සේගේ අවිචාරකම නිසා සිය කැමැත්තෙන් දිවි නසා ගත්තාට මට කරන්ට දෙයක් නැත. ශුද්ධ වූ ආත්මයක් ලැබේවා.”

අප කාටත් සිනා ගියේ ඒ කතාවටයි. මේ අයුරින් ඔහු ඉඩමේ නාග දමනය කළ අතර ඔහු පසුව හමු වූ විට කුරුඳු වගාවෙන් තමාට හොඳ ආර්ථික ශක්තියක් ලද බව ද කීවේ ය.

 

කිංචි ගුණේගේ වෙදකම

 

ඇම්. අසෝක ද සිල්වා

මාදම්පේ

 

ගොංගාලේගොඩ රොබෝසිඤ්ඤයියාට ටික දොහොක සිට තිබුණේ අපූරු අමාරුවකි. එනම් අත්දෙක පහත දමාගෙන ඉන්ට බැරි අසීරුවකි. ඒ නිසා නින්දේදී ඇරුණුකොට යුගත ඔසවාලීමේ වද වේදනාවෙන් උන්දෑ කල්යල් ඇරියේ. මේ කැක්කුම නිසාම කුමන හන්දි වෙදැදුරු කෙනෙකුට වුවත් උඩට නඟා ගත් තම කරදඬු යුවළ ස්පර්ශ කිරීමට සිඤ්ඤයියා මඳක්වත් ඉඩ දුන්නේ හෙම නොවේ. මෙනයින් වෙදුන් ඇතුළු ස්වකීය නෑසියන් හට ද ඔහුගේ මේ ව්‍යාධිය බොහෝ කොට බලවත් ප්‍රහේලිකාවක් වූයේය.

ඔයින් - මෙයින් අල්ලපු ගමේ සිටින කිංචිගුණයා නම් කිසියම් පළපුරුදු ගොඩ වෙදකු හට මේ බව යාන්තමින් ආරංචි විය. “බලන්ඩ මංවත් ගිහිල්ලා මොන උප්පරවැට්ටියකින් හරි රොබෝ සිඤ්ඤෝගෙ මේ අලි අසක්කුව විසඳාලා එන්නම්කෝ” යනුවෙන් පවසා බොහෝ දෙනෙකුගේ අනුමැතිය පිට හෙතෙම හින්සීරුවේ රොබෝ සිංඤ්ඤෝගේ නිවෙසට ආවේය.

කිංචිගුණේ ගැන දත් ඇතැමෙක් “ඔන්න ලෙඩේට නියම වෙදා එනවා” යැයි ඔද වැඩූහ. මේ බව දත් ආතුරයා ද උඩ හිතෙන් කොහොම වුණත් යටි හිතෙන් සතුටු වන්නට ඇත.

“හා කොහොමදැයි” දොඩමින් කිංචි ගුණේ පැමිණියේය. ආතුර තෙමේ ඩිංගිත්තක් හිනාවී ඔළුව වැනුවා පමණකි.

ඉක්බිති මේ වෙදාණෝ රොබෝ උන්දෑ වටේ සෙමෙන් සෙමෙන් සක්මන් කරන්ට වූහ. එහෙම දෙපිය නඟා ගොස් විදුලි වේගයෙන් රොබෝ සිඤ්ඤෝ ඇඳ සිටි සරම කඩන්නට ප්‍රයත්න දැරුවා පමණි. මෙතෙක් කලක් පහත හෙළනු නොහැකිව සිටි ඔහුගේ දෑත යස අපූරුවට පල්ලැහැට කඩා පාත් විය. කිංචි ගුණේගේ විශේෂ උප්පරවැට්ටියේ මහිමයෙන් එතැන් පටන් අද දක්වාම රොබෝ උන්නැහේ යුගත් පහතට දමාගෙන සුවසේ පසුවෙයි. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.