මං ගැන කියන කතා­ව­ලට රිදෙන්න හිතක් මට නෑ | සිළුමිණ

මං ගැන කියන කතා­ව­ලට රිදෙන්න හිතක් මට නෑ

රෝජා තාම රක්ෂාවකට යනවද නැද්ද කියලා තීරණයක් ගත්තෙ නැද්ද?”

මඳ වේලාවක් නිහඬව සිටි නරේන්ද්‍ර තරුණිය හමුවට ගෙනාවේ සංකීර්ණ ගැටලු සහගත ප්‍රශ්නයකි. රුක්නාද් ඇයට ප්‍රංශ තානාපති කාර්යාලයේ වැදගත් රැකියාවක් සොයා දී ඇත. වැටුපද ඉහළය. එහෙත් මනෝහාරි සහ රාහුල කියන්නේ සරසවියකින් ලත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහකාර කථිකාචාර්ය පදවිය තානාපති සේවයට වඩා වැදගත් බවය. රවිහාරි නිහඬය. පියාගේ අවවාදය තමාගේ අභිමතය පරිදි වැඩි කැමැත්ත තෝරා ගන්නටය.

කාගේ හෝ තීරණ තීන්දු උපදෙස් ගැන නරේන් මාමාට කීමෙන් පලක් නැත. ඔහු සියල්ලට ම සිනාසී වෙනත් කුමක් හෝ කියනවාට සැකයක් නැත.

“ඔය සේරටම වැඩිය හොඳ රක්ෂාවක් මං මේ දරුවට දෙන්න ද?”

නරේන්ද්‍ර ඇසුවේ කල්පනාවෙනි. තරුණිය තිගැස්සුණාය.

“බය වුණාද? බය වෙන්න දයෙක් නෑ. මං ළඟ ඉන්නවනෙ.”

“රක්ෂාවක්? නරේන් මාමා දෙන රක්ෂාවක්? මොකක්ද?”

“මගෙ පෞද්ගලික ලේකම්වරිය වෙන්න”

“විහිළු කරනවද?”

“නෑ දෝණි. විහිළුවක් නෙමේ.. මං රාජඍෂි එක්කත් මේ ගැන කතා කළා. එයා නම් කැමතියි.”

“රාජඍෂි අයියා කැමති නම් ඒ රක්ෂාව එයාට දෙන්න. ඊටත් මන්ත්‍රී කෙනෙකුට ලේකම්ලා මොකටද? ඒ ගොල්ලො මහා වැඩ ගොඩක් කරන්නෙ නැහැනෙ?” රෝජා සඳපාණී නරේන්ද්‍ර කෝප කරවනමින් කීවාය.

“රෝජා නොදන්න දේවල් ගැන කතා කරන්න එපා ළමයො. මන්ත්‍රිවරු නැතුව කවුද මේ රටේ පාලනයට සම්බන්ධ වෙන්නෙ? දුර්වලකම් අමනකම් වගේ ම හොඳකුත් නැද්ද?”

නරේන්ද්‍ර ඇසුවේ තරහෙනි.

“ඒකනෙ නරේන් මාමා මං කියන්නෙ. මට ඔය දේශපාලනේ තේරෙන්නෙ නැහැ.”

නරේන්ද්‍ර තරුණිය දෙස බලා සිටියේ උපන් තරහ වසන් කර ගෙනය. මේ දේශපාලන විවේචන මනෝහාරිගෙන් උගත් කතා වීම නිසැකය. තරුණිය රාජඍෂිට රවිහාරිට සහ රාහුලට වඩා සමීපයෙන් ඇසුරු කරන්නේ මනෝහාරි ය. ඔවුන් දෙදෙනා ඉන්ද්‍රජිත් සොයා ගැනීමේ උත්සාහයක යෙදී සිටින නිසා සමීපව ඇසුරු කරති.

මනෝහාරිගේ කුඩා යහළුවා සොයා ගැනීමට තරුණිය අන්තර්ජාලයට විවිධ පණිවිඩ ප්‍රකාශ නිකුත් කරන්නීය. මුහුණු පොත උඩුයටිකුරු කරන්නීය. නිතර මුණ නොගැසුණ ද රුක්නාද් අරුණාචලම් දුරකථන මඟින් ඇයට විවිධ උපක්‍රම ඉදිරිපත් කරමින් දිරි දෙන්නේය. ඉන්ද්‍රජිත් සොයා ගැනීමේ අන්තර්ජාතික ඉල්ලීම්වලට මෙහෙයුමට බොහෝ ඉන්ද්‍රජිත්ලා කතා කළත් සැබෑ ඉන්ද්‍රජිත් සොයා ගැනීමට තවමත් හැකිවී නැත.

“දෝණි පිළිගත්තත් නැතත් මට එක කාරණයක් ගැන නම් කියන්න ම ඕන.”

“මොකක්ද?”

“ඔය ලැබෙනවා කියන සහකාර කථිකාචාර්ය වැඩේ දෝණිට ගැළපෙන්නෙ නැහැ.”

‘ඇයි?”

“ඇයි කියලා අහන්න එපා. වැඩිහිටියෙක් කිව්වම කියන දේ පිළිගන්න.”

නරේන්ද්‍ර කීවේ තරමක් තර්ජනාත්මකවය. රෝජා සඳපාණිට සිනා පහල විය.

“මොකද හිනා වෙන්නෙ?”

“හිනා වෙනවා නෙමේ. හිනා යනවා. ප්‍රියදෝණි මහමායා මැතිනිය ඉතිහාසය ගැන සහකාර කථිකාචාර්යවරියක් හින්දා මාමාට ඒ තනතුර දරන කිසි කෙනෙක් පෙන්නන්න බැහැ. “

“දොඩවන්න එපා දෝණි. ඔයා මහ නපුරු ගෑනු ළමයෙක්. විෂ ඉදිකටුවකින් අනින්නා වගේ අතීත සිදුවීම් දෑඟිලි තුඩට අරන් මනුස්ස සිත් තුවාල කරන්න එපා. පව්.”

“සමාවෙන්න නරේන් මාමා. හැබැයි මං දැනට තෝරාගෙන තියෙන රක්ෂාව සහකාර කථිකාචාර්ය....”

“හරි හරි හරි තමන්ගෙ කැමැත්ත. ඒ කතාව එතනින් ඉවර කරමු.”

තරුණියට බාධා කරමින් සංවාදය අවසන් කළ නරේන්ද්‍ර නිනව්වක් නැති දෙනෙතින් බලා සිටියේ රෝජා සඳපාණිගේ හිසට ඉහළින් පෙනෙන රන්වන් ඉන්ද්‍ර මණ්ඩලය දෙසය. තමා ඉදිරියේ සිටින තරුණිය දැඩි තීරණ ගැනීමට බියක් නොදක්වන්නේ පියාගේ ආරක්ෂිත ආදරණීය රැකවරණ නො අඩුව ලබන්නියක නිසා ද? ඇය සහ පියා අතර ඇති බැඳීම විටක තම සිත ඊර්ෂ්‍යාව ඇති කරන්නට තරම් වීම ලජ්ජාවකි. පලාගිය මායාකාර ගැහැනියට එවන් ආරක්ෂිත ආරක්ෂාවක් නොවීම තුළ ඇය කොතරම් අසරණ බාවයකට පත්ව සිටියේ ද යන්න දැන් වටහා ගැනීමෙන් දුක්බර වේදනාවක් මිස වෙනත් සත්‍යයක් මතුව නොඑයි.

“නරේන් මාමා මං හැම වෙලේ ම මාමාගෙ හිත රිදෙන කතා කියනවද?”

රෝජා සඳපාණි කිසියම් අනුකම්පා හඬකින් ඇසුවේ නරේන්ද්‍රගේ නිහඬ බවට සංවේදී වෙමිනි. වියත් මිනිසා තරුණිය දෙස බැලුවේ උපහාසයෙනි. එය සත්‍යය නොව මවා පෑමක් බව ඔහුගේ සිත හඬ දෙන්නට විය.

“ඔය ළමයා මං මේ කියන දේ හොඳට හිතට ගන්න ඕනේ. හිතේ තියා ගන්න බැරි නම් යාළු මිත්‍රයො අතර බෙදා ඇරියත් කමක් නැහැ.”

“නරේන් මාමා හිතන්නෙ මං මාමාගෙ වචන එක එක්කෙනාට කියලා සතුටු වෙනවා... කියල ද?”

තරුණිය පෑරුණ සිතින් කතා කරන සැටි දුටු නරේන්ද්‍රට සිහින් කුරිරු සතුටක ආශ්වාදයක් දැනෙන්නට විය. ඔහු ඇයට බාධා කරන්නට සිතුවේ තම දැඩි ගතිය හඳුන්වා දෙන්නට මෙනි.

“මං ගැන ඕන තරම් කතන්දර කියලා තීරණ අරන් සතුටු වෙන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඒවායින් රිදෙන්න හිතක් මට නැහැ. ඔව් ඇත්තට ම මං හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා දෝණි අමතක කරන්න එපා.”

තරුණියට සිනා පහළ විය.

“ඇයි හිනාවෙන්නෙ?”

“හිතක් පපුවක් තියෙන අය ඒ ගැන කෑගහන්නෙ නැහැ. හිතක් පපුවක් නැති අය තමා.... නෑ නෑ ඒ කතා ඕනෙ නැහැ. නරේන් මාමා කේන්ති කරවන්න හොඳ නැහැනෙ...”

නරේන්ද්‍ර එසේ කී තරුණිය දෙස බලා සිටියේ යටැසිනි. එම දෙනෙත් බැල්ම ඉදිරියට පැමිණ දෙදෙනා අතර බාධකයක් මතු කරන්නට මෙන් අතීත ගැහැනියකගේ පෙනී නොපෙනී යන දුක්බර මුහුණක් නරේන්ද්‍රගේ සිත අවුලවන්නට විය.

“නරේන්, කේන්ති ගන්න එපා නරේන්. ඔයාට කේන්ති ගන්න හොඳ නැහැනෙ. පුංචි ප්‍රශ්නෙකට වුණත් ඔයා මොන තරම් කේන්ති ගන්නවද? මොකක්ද ප්‍රයෝජනේ? නිරපරාධෙ ශරීරෙ ලේ ටික රත් වෙනවා විතරයි. කේන්ති ගන්න එපා දෙයියනේ. මේක මහ වධයක්.”

ඇය කොතරම් නම් බැගෑපත් වන්නට ඇද්ද? කොතරම් නම් ආයාචනා කරන්නට ඇද්ද? කොතරම් නම් කඳුළු සලන්නට ඇද්ද? සුසුම් හෙළන්නට ඇද්ද? අවසානයේ ඇගේ ම සුසුමක සැඟවී අහිංසක ගැහැනිය ජීවිතයෙන් මැකී ගියේ ද තමාගේ තර්ජනාත්මක නියෝගය ඉවසා සිටිය නොහැකි මොහොත පැමිණි විටය.

“නරේන් මාමා කල්පනා කරනවත් වැඩියි.”

රෝජා සඳපාණීගේ මුවින් පිටවූයේ නිතැතින් මෙනි.

“ඒකටත් නීති දාන්නද හදන්නෙ..? සිහි කල්පනාව තියෙන මිනිස්සු විතරක් නෙමේ නැති මිනිස්සුත් කල්පනා කරනවා.”

“නරේන්ද්‍ර මාමාට නීති දාන්න මං කවුද?”

“ඔයා අර අම්මා කියන්න කැමතියි කිව්ව ගෑනිගෙ භූතාත්මය. අවතාරෙ. තරහ වෙන්න එපා. ඒක තමා ඇත්ත. දැක්කනෙ එදා පින්තූරෙ.”

තරුණිය හිස සැලුවාය. ඡායාරූපය හිමි තැනැත්තිය නරේන්ද්‍ර මාමා ගේ සුවිශේෂි පෙම්වතියකව සිටි ප්‍රියදෝණි මහමායා බව හඳුනා ගැනීමට රවිහාරි අපොහොසත් වූවාය. පුදුමයකට මෙන් මනෝහාරි අක්කාත් ඡායාරූපය හඳුනා ගත්තේ ප්‍රියදෝණි ලෙසින් නොව රෝජා සඳපාණී ලෙසිනි. ඔවුන් සියලු දෙන‍ාගේ ම මතය වූයේ රෝජා සඳපාණි කැනඩාවේ සිටින විට දැන් මෙන් රූමත් නැති බවයි. ඇය ලංකාවට පැමිණි පසු රූමතියක්ව සිටින්නීය. ඇගේ දේශය ඇගේ සෝබාව මේ ශ්‍රී ලංකාවයි.

නේෂන් වෛද්‍යවරයා සදැල්ලට එන විට රෝජා සඳපාණී ද පෙරදිග අහසේ විසිතුරු වලාවන්ට, තාරකාවන්ට සහ සඳ මඬලට නෙත් යොමා ගෙන නිහඬව බලා සිටියා ය.

තරුණිය අමතා යමක් කියන්නට ගිය නරේන්ද්‍ර නේෂන් පැමිණියෙන් නිහඬ විය.

“මේ තරමටවත් වැස්ස එක ලොකු වාසනාවක්.”

නේෂන් කීවේ තෙත්වුණ තුරුලතා දෙස බලමිනි. උතුර උතු‍රා ගලා එන සඳ එළිය තෙත් ගහ කොළ තුරුලතා නාවමිනි. රාත්‍රියට හිමි අඳුර ස්වකීය උරුම හිමිකම් අයිතිවාසිකම්වලින් මඳක් බැහැරව ආලෝකයට ඉඩ දී ඇත.

“මං ඊයේ පාර්ලිමේන්තු පාරෙ පොඩි ගමනක් ගියා. දියවන්නා භූමිය ආයෙත් අපිරිසුදු වේගෙන එනවා වගෙයි මට දැනෙන්නෙ. නරේන්ද්‍රලා පාර්ලිමේන්තුවට යන කොට පාර දෙපැත්ත බලන්නෙ නැද්ද? පේන්නෙ නැද්ද? ටිකක් ඒ ගැන බැලුවොත් හොඳි නේද?”

නේෂන් වෛද්‍යවරයාට හදිසියේ පාර්ලිමේන්තුවට ආසන්න භූමියේ අපවිත්‍රතාව මතකයට ඒම හා බැඳුණු සිදුවීම කුමක්දැයි නරේන්ද්‍ර සිතුවේය.

අහස පිරිසුදුය. පිරිසුදු අහසේ දිදුලන සඳ ද පිරිසුදුය. මේඝවලාවන් පහවී ගොස් තිබුණත් පුළුන් වන් සුදු වලා අහස පුරා කැටි කැටි වී විසිර ගොස්ය. එය අපූරු සුන්දර දසුනකි. එම දසුන නේෂන් සිත අපිරිසුදු දසුනක් ද මතකයට නංවන්නට ඇත. සිතිවිලි පහළ වන්නේ කුමනාකාරයෙන්දැයි කාට කිව හැකිද?

“ඩොක්ටර් අපි දැන් එළියට යමුද?”

ඔහු ඇසුවේ රෝජා සඳපාණී දෙස ද බලමිනි.

“දියවන්නා පිරිසුදුකම ගැන කිව්වම නරේන්ද්‍රට කේන්ති ගියා නේද?”

නේෂන් වෛද්‍යවරයාගේ සිනාව සහ ප්‍රශ්නය සමච්චල් කිරීමක් නොව යථාර්ථය අවදි කිරීමක් සේ නරේන්ද්‍රට දැනිණ.

“නෑ. නෑ. මේ රටේ පුරවැසියෙක් විදිහට රටේ ඕනෑම ප්‍රශ්නයක් ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය ඩොක්ටර්ටත් තියෙනවා. මට අපේ රටේ මිනිස්සු එක්ක කේන්ති ඇයි දන්නවද ප්‍රශ්න කරන්න ඕන තැන නිහඬ වෙනවා. රටක් සමාජයක් අගාධයට යන්නෙ නරක මිනිස්සු හින්දා නෙමේ. හොඳ මිනිස්සු හින්දා. ඇත්තට ම හොඳය කියන මිනිස්සු වැඩි දෙනෙක් පුදුම විදිහට ආත්මාර්ථකාමියි. රටවැසියා මල්මාලා දාන්නෙ ඒ ආත්මාර්ථයට.”

“රාජඍෂි අයියා කියන්නෙත් ඔය කතාවමයි.”

පියාටත් නරේන් මාමාටත් මෙතෙක් නිහඬව සවන් දෙමින් සිටි රෝජා සඳපාණී කල්පනා සහගතව කීවාය.

“රාජඍෂි අයියා විතරක් ඔය කතාව කියලා මදි. මේ රටේ ඉන්න හැම අයියා කෙනෙක් ම, අක්කා කෙනෙක් ම, නංගි කෙනෙක් ම, මල්ලි කෙනෙක් ම මේ තත්වය, මේ ඇත්ත, මේ යථාර්ථය තේරුම් ගන්න ඕන. දේශපාලනඥයො වෙන අපිට බලය ඕන නිසා අපි වෙලාවකට අධි යථාර්ථවාදීන් විදිහට රඟපානවා. තවත් වෙලාවකට හීන යථාර්ථවාදීන් වෙනවා. පොදු මහජනතාව මේ තත්වය තේරුම් නොගැනීම දේශපාලනඥයින්ගෙ වරද නෙමේ. හැම දේට ම දේශපාලනඥයින්ට බැණලා හරි යන්නේ නැහැ. එක ඇඟිල්ලක් දේශපාලනඥයින්ට දික් කරන කොට ඇඟිලි හතරක් ජනතාවගෙ පැත්තෙ.

අත්තකිලමථානුයෝගී ජීවිත ගත කරලා හරි කාම සුඛල්ලිකානුයෝගී ජීවිත ගත කරලා හරි රටට වැඩක් කරලා හරි නොකර හරි සියලු ම පාලකයො දවසක මැරිලා යනවා. ඒත් රටයි පොදු ජනතාවයි ඉතුරු වෙනවා. ඒක අපි දැන ගන්න ඕන.”

නරේන්ද්‍ර සුවදායක සුසුමක් ගැනීමට මඳක් නිහඬ විය. රෝස මල් සමය ගෙවත්තට උදා වී ඇත. මිහිරි මල් සුවඳක් ඔහු‍ගේ සුසුමට මුසුව තිබිණ.

“නරේන්ද්‍ර මාමා ඇයි ඔය යථාර්ථවාදී කතා මිනිස්සු ඉස්සරහට ගිහින් කියන්නෙ නැත්තෙ?”

රෝජා සඳපාණි යළිත් ප්‍රශ්නයක් මතු කළාය.

“මං දේශපාලනඥයෙක් නිසා.”

“එත‍කොට මනෝහාරි අක්කා කියන කතාව හරි. එයා කියනවා පවිටු ආත්මාර්ථකාමි දේශපාලනඥයින්ට මිනිස්සුන්ගෙ දුක තේරෙන්නෙ නැතිලු.”

“හ්ම්... ඒ එයාට හිතෙන හැටි. ඩොක්ටර් අපි යමු නේද දැන්...?”

“යන්න ඕනෙ නැහැ. මේ ළමයා රෑ කෑම හදා ගෙන ඇවිත්. රුක්නාද්ගෙ පණිවිඩයක් අරන් අද මං ආවෙ.”

නරේන්ද්‍ර රෝජා සඳපාණී වෙත හෙළුවේ දුක්බර කෘතවේදී බැල්මකි. ඇය සැමවිට ම අතීතය තමා හමුවට ගෙන එන්නීය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.