සීතලට පුස් කන්නේ නැති රස්නයට දිය වන්නේ නැති අයිසින් හදන අනූෂා

 කේක් ගෙඩියකට අයිසින්වලින් ලැබෙන්නේ හොඳ ආලෝකයකි. බොහෝ විට කේක් ගෙඩියක මිල තීරණය වන ප්‍රධානතම සාධකය බවට පත්වන්නේ අයිසින් දැමීමේදී එයට එක්කර තිබෙන කලාත්මක බව යැයි කීම වරදක් නොවෙයි. රස බැලීමටත් පෙර දුටුවන්ගේ නෙත් පැහැර ගන්නා තරමට වර්ණ සංයෝජනය කරමින් අයිසින්වලින් කේක් ගෙඩිය හැඩ කරන්න පුළුවන් දක්ෂ නිර්මාණකරුවකුට පමණකි. වර්තමානයේ මේ අයිසින් කලාවට ඇත්තේ හොඳ වෙළෙඳ පොළ ඉල්ලුමකි. මේ නිසාම තරුණ පිරිස් මේ ක්ෂේත්‍රයට වැඩි වැඩියෙන් එක් වෙමින් සිටිති. අයිසින් කලාව සඳහා අත්‍යවශ්‍ය වන්නේ අයිසින් ෂුගර්ය. පැණි රස බැවින් මේවාට කුඹීන් වැනි කෘමි සතුන් ඇදී එන්නේ නිරායාසයෙනි. අනෙක් පසින් අයිසින් ෂුගර් ඉහළ උෂණත්වයකදී දියවී යයි. සාමාන්‍යය මට්ටමින් උෂ්ණත්වය පහළ ගියවිට පුස් බැඳීමේ ප්‍රවණතාව ඉහළය. මෙය අයිසින් නිර්මාණකරුවන්ට‍ මුහුණ දීමට ඇති ප්‍රබලතම අභියෝගයකි. ලෝකයේ දියුණුම රටවල් පවා මේ ගැටලුවට විසඳුමක් සොයමින් සිටියදී ඊට කදිම විසඳුමක් ලබාදීමට‍ පුංචි ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී කාන්තාවක සමත්වී තිබේ. ඇය නමින් අනූෂා විජයරත්නය. උත්සව අවස්ථා සඳහා කේක් නිර්මාණකරණයේ දශක දෙකක පමණ අත්දැකීම් ඇති ඇය තමන් නිරන්තරව මුහුණ දුන් ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා කළ පර්යේෂණ අවසානයේ සාර්ථකත්වයට පත් වූයේ ජාතික හා අන්තර්ජාතික ජයග්‍රහණ පමණක් නොව තම අගනා නිර්මාණයට පේටන්ට් බලපත්‍රයක්ද හිමි කර ගනිමිනි.

දක්ෂතා ඔපවත් වීමට නම් ඊට නිර්මාණශීලීත්වය එකතු විය යුතුමය. වර්තමාන තරගකාරී වෙළෙඳ පොළ තුළ නිර්මාණශීලීත්වයෙන් පො‍හොසත් වූවන් සෙස්සන් අබිබවා වේගවත් ඉදිරි ගමනක් යන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. නිර්මාණශීලීත්වය යනු එක් පැත්තකින් අලුතින් යමක් බිහි කිරීමයි. එය පෙර නොවූ විරූ නිර්මාණයක් වගේම සමාජයට ප්‍රයෝජනවත් යමක්ද වේ නම් ඒ නිර්මාණශීලීත්වය ඇගයීමට ලක් කිරීම යනු අදට වඩා හෙට දවස වෙනුවෙන් කරන්නා වූ ආයෝජනයකි. කාලෝචිත අවශ්‍යතාවක් සපුරමින් තමන් නිරත ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුවට හේතු වන නව නිපැයුමක් කිරීම ඇත්තෙන්ම සුවිශේෂය. සීනීවලින් තොරව ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ නිර්මාණය කළ හැකි, අධික උෂ්ණත්වයට මෙන්ම සීතලටද ඔරොත්තු දෙන අසියින් මිශ්‍රණයක් අනූෂා හඳුන්වා දී තිබේ. සීනී නොමැති නිසා එයට කෘමි සතුන්ගේ ආකර්ෂණයක් නැති බව අනූෂා පවසයි. ජෙලටින් හා තවත් සංඝටක කිහිපයක් එක් කර සකසන මේ මිශ්‍රණය අධික උෂ්ණත්වයට මෙන්ම අධික ශීතලටද ඔරොත්තු දෙන නිසා නිර්මාණය ආරම්භ කිරීමේ සිට උත්සව අවස්ථාව අවසන් වන තෙක් කේක් ගෙඩියේ අයිසින් කලාවන්ට හානියක් වේයැයි දැන් අනියත බියක් ඇති කර ගත යුතු නොවේ. එමෙන්ම වර්ණ ගැන්වූ මල් කොළ සෝදා නැවත නැවත වර්ණ ගන්වා ප්‍රයෝජනයට ගැනීමටද මෙමගින් හැකියාව ලැබේ. පසුගිය වසරේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී රටවල් 149ක නව නිපැයුම්කරුවන් 750කගේ පමණ සහභාගීත්වයෙන් පැවති ප්‍රදර්ශනයේදී ඇගේ මේ නව නිර්මාණය ඇගයුම් ලැබුවේ රිදී සම්මානයකිනි. වසර ගණනාවක් තිස්සේ කේක් නිර්මාණ ක්ෂේත්‍රය තුළ නියැළෙමින් සිට ලත් අත්දැකීම් ඔස්සේ ඇය මේ නව නිපැයුම බිහි කර ඇත්තේ 2006 වසරේදීය. එය අත්හදා බලමින් අති සාර්ථකත්වයට පත් වූ පසු අනූෂා වසර 2012 වසරේදී දී එයට පේටන්ට් බලපත්‍රයක් ඉල්ලා රජයෙන් කළ ඉල්ලීමට අනුව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා වසර 2013 දී ඇයට අදාළ අයිතිය ලබාදී තිබේ.

“හැකියාව හා දක්ෂතාවත් එක්ක ඉවසීමයි, ආත්ම විශ්වාසයයි තියෙනවා නම් ඕනෑම කෙනෙකුට සාර්ථක ඉදිරි ගමනක් යා හැකියි. කේක් හදන්න පටන් ගෙන වැඩ කරගෙන යනකොට අයිසින් කරන අවස්ථාවේ නොහිතපු ගැටලු ආවා. හුඟක් රස්නේ තිබ්බොත් අයිසින් කරන්න බැහැ දියවෙනවා. වැස්සොත් පුස් බැදෙනවා. කේක් එක අයිසින් කරලා වොට් 100ක විතර බල්බයක් කේක් එක ළඟින් තියන්න ඕන. හුඟක් රස්නේ වුණත්, හුඟක් සීතල වුණත් මේ නිර්මාණය හරියට කරන්න බැහැ. අයිසින්වල සීනි තියෙන නිසා කූඹීන්ගෙන් ඊට හානි වෙන්න තියෙන ඉඩ වැඩියි. මේකට මොකක්ද පිළියම කියලා මම හෙව්වා. ඒ වන විට ලෝකයේ කිසිම රටක මේ ප්‍රශ්නයකට විසඳුමක් හොයලා තිබුණේ නැහැ. මම නොයෙක් අත්හදා බැලීම් කළා. සීනි නැතුව කොහොමද අයිසින් ෂුගර් හදන්නේ කියලා ගොඩක් අය මගෙන් ඇහුවා. මම නිහඬවම මගේ පර්යේෂණ කළා“ යැයි අනූෂා විජයරත්න ප්‍රකාශ කළාය.

“සීනී නොමැතිව මා නිර්මාණය කළ අයිසින් මිශ්‍රනය ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ කේක් හැඩදැමීම සඳහා යොදා ගන්න පුළුවන්. ස්විට්සර්ලන්තයේ පර්යේෂණ කණ්ඩායම් සෑම අංශයකින්ම මේ නිර්මාණයේ ගුණාත්මක බව විමර්ශනයට ලක් කරලා තමයි අදාළ රිදී පදක්කමට එය නිර්දේශ කළේ. දශක තුනක කාලයක් තිස්සේ පැවැත්වෙන මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබෙන්නේ කාන්තාවන් දෙ‍දෙනෙක් පමණයි. ඉන් එක් අයෙක් බවට පත්වීම මට වගේම රටටත් ගෞරවයක් බවයි මම විශ්වාස කරන්නේ. මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් වුණාම මම මුහුණ දුන්නු විශාලතම ගැටලුව තමයි භාෂා ප්‍රශ්නය. ඒ රටේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ප්‍රංස භාෂාවෙන්. මගේ නිර්මාණය පිළිබඳ විනිශ්චය මණ්ඩලය දැනුවත් කරන්න මට සිංහල හා ප්‍රංස භාෂාව දන්න කෙනකුගේ සහාය ලබා ගන්න වුණා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වුණා. මේ නිර්මාණ තරගාවලියට ඉදිරිපත් වෙන්න මට රුපියල් මිලියනකට වඩා පෞද්ගලික මුදල් වැය වුණා.“

අදාළ තරගාවලියට නිර්මාණයක් ඉදිරිපත් කරන්න නම් එය ශ්‍රී ලංකාව තුළ ඉහළම ඇගයීමකට ලක් විය යුතුය. ඇයගේ මේ අගනා නව නිපැයුම වරක් දෙවරක් නොව අවස්ථා කිහිපයකදීම ඇගයුමකට ලක්ව තිබේ. 2013 වසරේ පැවැති සහසක් නිපැයුම් වෙනුවෙන් ප්‍රථම ස්ථානයද වසර 2016 පෙබරවාරි මස නව නිපැයුම් (කලා) අංශයෙන් ජනාධිපති කුසලතා සම්මානයද ඇයට හිමි විය. ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැති අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ තරගය හා ප්‍රදර්ශනයට යෑම පිණිස අනූෂාට මඟ පෑදුණේ ඒ ඔස්සේය.

"අපිට වරද්න්න පුළුවන්. ඒ වැරදීම පරාජයක් ලෙස දකින්න හොඳ නැහැ. වසර ගණනාවක් තිස්සේ මම මේ වෘත්තියේ නිරතව ලබාගත් ඇගැයුම් සහතික හා සම්මාන සියල්ල එක මොහොතකින් 2013 බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ගින්නේදී විනාශ වී ගියා. එදා මංගල උත්සව නිර්මාණ සඳහා පැවැති ප්‍රදර්ශනයට මම කේක් නිර්මාණ පෙළක් ඉදිරිපක් කර තිබුණා. ගින්න ඇති වන විට මම ප්‍රදර්ශන කුටියේ සියල්ල අතහැරලා ජීවිතේ බේරා ගන්නා පිටතට දිව්වා. ආපසු යන වි‍ට සහතික සම්මාන පමණක් නොව කාලයක් පුරා කළ නිර්මාණ ඇතුළත් ඡායාරූප ඇල්බම් ඇතුළු සියල්ල විනාශ වෙලා. මම උත්සාහය අත්හැරියේ නැහැ. වැටුණ තැනින් යළි නැගිට්ටා. හැකියාව හා නිර්මාණශීලීත්වය තිබෙනවා නම් අපිව පරද්දන්න කාටවත්ම බැහැ..."

අනූෂා තමන් නිරත ක්ෂේත්‍රයේ නොයෙක් අත්හදා බැලීම් කරමින් අලුත් යමක් ඉදිරිපත් කරන්නට නිතර වෙහෙසෙන කාන්තාවකි. ඇගේ සීනි නොමැති අසියින් මිශ්‍රණය එහි ප්‍රතිඵලයකි. අනූෂා ඉන් නොනැවතී තවත් නව අත්හදා බැලීම් සිදු කරමින් සිටී. ඒ හෙට දවසේ අදට වඩා හොඳ නිර්මාණයක් බිහි කරන්නටය. ඒ සඳහා සැමියා නිමල් ගුණසේකර, දරු දෙදෙනා වන අමාලි හා සරණි ගෙන්ද ශීලා විජයරත්න වන මෑණියන්ගෙන්ද ලැබෙන සහාය ඇය සිහිපත් කරන්නේ කෘතවේදීවය.

අසේල කුරුළුවංශ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.