ලංකාවේ ලොකුම බෞද්ධ කොඩිය | සිළුමිණ

ලංකාවේ ලොකුම බෞද්ධ කොඩිය

 වෙසක් සමයට පමණක් නොව සෑම බෞද්ධාගමික කටයුත්තකදීම බෞද්ධ කොඩිය බෞද්ධාගමේ අනන්‍යතාව පිළිබිඹු කරන සංකේතයකි. වෙසක් සමයේදී බොහෝ බෞද්ධයන්ගේ නිවෙස්වල, පන්සල්වල වෙසක් සැරැසිලි සමඟින් බෞද්ධ කොඩියද සුලබව ඇස ගැටේ. 1885 අප්‍රේල් 28 වෙසක් පෝදා කොටහේනේ දීපදුත්තාරාම විහාරයේ, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන, කොළඹ හුණුපිටිය ගංගාරාමය, කැලණි රජමහා විහාරය, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් මූලස්ථානයේ මුල් වරට ලෙළ දුන් බෞද්ධ කොඩිය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් දස පුද්ගල ගිහි-පැවිදි කමිටුවකගේ අදහසක් අනුව නිර්මාණය වූවක් බව සඳහන් වේ.

1956 වර්ෂයේ කොළඹදී පැවැත්වූ ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක සමුළු‍වේදී ලෝ පුරා බෞද්ධ ප්‍රජාවගේ එකම කොඩිය වශයෙන් ෂඩ් වර්ණයෙන් යුත් අප රටේ නිර්මිත කොඩිය ඒකඡන්දයෙන් සම්මත වී තිබේ.

එවන් මහත් ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන බෞද්ධ කොඩියේ රෙදිවලින් මෙරටදී නිර්මාණය වූ විශාලතම කොඩිය ලෙසින් අඩි 48 ක උසකින්ද, අඩි 100ක දිගින් යුක්තව නිර්මාණය වූ වාර්තාගත බෞද්ධ කොඩියක් මෙවර වෙසක් සමයේදී පොල්ගස්ඕවිට ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේදී දැකබලා ගැනීමට හැකිවිණි.

මෙතෙක් ලොව ඉදිවූ විශාලතම බෞද්ධ කොඩියේ හිමිකරුවන් වනුයේ වියට්නාමයයි.

එක්සත් ජාතින්ගේ වෙසක් දින උත්සවය පැවැති පසුගිය සමයේ ඉදිවූ විශාලතම බෞද්ධ කොඩියේ මාහැඟි කර්තව්‍යයට අනුශාසකත්වයෙන් දායක වූ පූජ්‍ය පාමංකඩ ඉන්ද්‍රජෝති මාහිමිපාණන් සහ විහාරාධිපති පූජ්‍ය අඹතැන්නේ ඉන්දසුමන හිමිපාණන්ය. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව, උදාරත්වය සමඟ ධර්මයේ පාරිශුද්ධත්වය පිළිබිඹු කරමින් බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව පිළිබිඹු කරන බෞද්ධ කොඩියේ, මේ සා විශාල කොඩියක් නිර්මාණය කිරීමේ නියමුවා පොල්ගස්ඕවිට සියඹලාගොඩ පදිංචි සමන් ගමගේ මහතාය.

“මෙවැනි දෙයක් කවුරුත් කරලා නැති නිසා මාස දෙක-තුනකට පමණ පෙර මට මේ වගේ අදහසක් ආවේ. හැබැයි නුවර පූජාපිටිය ප්‍රාදේශීය සභාවට අයත් රුප්පවත්ත ප්‍රදේශයේදී අඩි 90ක් දිගින් යුත් බෞද්ධ කොඩියක් නිර්මාණය කරලා තියෙනවා, නමුත් එය ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් ලැබිලා නෑ කඩා වැටිලා.” ඉන් පසුව තම අදහස ගැන පාමංකඩ ඉන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ දැනුම්වත් කිරීමෙන් අනතුරුව දායක සභාවේද පූර්ණ අනුමැතියෙන් සති දෙකක් වැනි කෙටි කලක් තුළදී කොඩිය නිර්මාණය කළ බව පවසමින් සමන් කොඩිය නිර්මාණය කළ අයුරු පවසන්නට වූයේය.

“රුපියල් 40000ක පමණ වටිනාකමකින් යුත් රෙදි යාර 500ක් පමණ ගියා. තව කොඩිය ප්‍රදර්ශනයට යකඩ බට 200ක් පමණ ගියා.

ඒ වගේම මේකෙ තවත් විශේෂම දෙයක් තමයි කොඩිය මැහුවේ මගේ මල්ලි කෙනෙක් වන දමින්ද රංජිත් තනියම. මේ සඳහා සියලු බරපැන රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් වැයවුණා” යැයි පවසමින් මේ සඳහා මුදල් පරිත්‍යාගයෙන් සේම ඇති-හැකි අයුරින් දායක වූ සියලු දෙනාටම ස්තූතිය කරන අතරේ තමා සමඟ මේ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුණු බුත්තල ඉන්ද්‍රවිමල ස්වාමින් වහන්සේට ද හෙතෙම සිය ගෞරව ස්තූතිය පුද කළේය. 

 

Comments