හිතේ තිබුණත් ඉගිලෙන්න අත්තටු දෙයිද ග්‍රහයෝ | සිළුමිණ

හිතේ තිබුණත් ඉගිලෙන්න අත්තටු දෙයිද ග්‍රහයෝ

සංචාරයකට ,අධ්‍යාපන කටයුත්තකට ,රැකියාව සඳහා හෝ තමා උපන් භුමියෙන් වෙනත් භුමියක් වෙත යාමට හෝ ඉවහල් ‍වන ග්‍රහ යෙදුම් කිහිපයක් විමසා ‍බලමු.

තුන්වන භාවයෙන් කෙටි ගමන් ද නවවන භාවයෙන් දිර්ඝ ගමන් ද කියැවේ. මේ පිළිබඳ පඨවි අපෝ,වායෝ ලෙස රාශි බෙදීම අනුව තීරණය කළ හැකි වේ. වෘෂභ, කන්‍ය, මකර වැනි පඨවි රාශි පොළව මත ගමන් කරන්නා වූ වාහන ආශ්‍රිත ගමන ද මිථුන, කුම්භ , තුලා යන වායෝ රාශි අහසින් යන ගුවන් යානා මගින් ද වෘෂ්චික, කටක , මීන යන ජල රාශි ජලයේ ගමන් ගන්නා වාහන මගින් කරන බවට අවධානය යොමු කළ යුතු වේ.

යම් කිසි පුද්ගලයකු උපදින විට බ්‍රහස්පති ග්‍රහයා බලවත්ව පැවතියා නම් රට රටවල ඇවිදීමටත් දේශ ගවේෂණ කටයුතුවලටත් දැඩි ආශාවක් ඇති වෙයි.

උච්ච වෙමින් හෝ මූල ත්‍රිකෝණ වෙමින් හෝ ස්වක්ෂේත්‍ර, හෝ මිත්‍ර බලයකින් යුතුව බලවත් වූ පාප ග්‍රහයකු ලග්නයේ සිටීම ජන්මියා සිය ජන්ම භූමියෙන් පිට සිටීමට හේතු ඇතිකරවයි.

රවි ග්‍රහයා උච්චව සත් වැන්නේ තැන්පත් වීම එනම් මේෂ රාශියේ තැන්පත්ව සිටීම හේතුවෙන් ඈත පළාත්වල සංචාරය කිරීමට අවස්ථා උදා වේ.

සඳු ග්‍රහයාට අයත් වන කටක රාශිය හෝ ගුරු ග්‍රහයාට අයත් වන මීන රාශිය උත්පත්ති ‍කේන්දරයේ තුන්වන භාවයට යෙදී එම ස්ථානයේ සඳු ග්‍රහයා තැන්පත්ව සිටී නම් වන්දනා ගමන් යාමටත් පිට ප්‍රදේශ සංචාරය කිරීමටත් අවකාශ ලබයි.

සඳු,සිකුරු,ගුරු ග්‍රහයින් බටහිර රටව‍ල‍ට යාමේ අවස්ථාව උදාකරවන අතර අඟහරු ග්‍රහයා කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් සඳහා විදේශගත වීමට අවස්ථාව ලබා දෙයි.අඟහරු ධනස්ථාන‍යේ තැන්පත් වෙමින් තුලා ,ධනු හෝ මීන ලග්නයෙන් උත්පත්තිය ලැබූ තැනැත්තා වැඩි ධනයක් උපයා ගැනීමේ අදහසින් විදේශගත වනු ඇත.

කලා කටයුතු සඳහා තමාගේ හැකියාව මත විදේශ සංචාර හිමි වීමත්,චිත්‍ර ශිල්පීන්, ගායක,ගායිකාවන්,නර්තන ශිල්පීන් තම සංදර්ශන පෙන්වීම සඳහා විදේශ ගත වන අවස්ථාත් ඇත.එවැනි ශිල්පීය රැකියා සඳහා ද විදේශ ගතවන අය සි‍‍ටී.එවැනි අයට බලපාන ග්‍රහ යෙදුම් විමසා බලමු.වෘෂභ,තුලා,මීන ලග්නයකින් උපත ලබා ලග්න භාවයේ ‍,ධන භාවයේ ,බන්ධු භාවයේ ,කාලාත්‍ර භාවයේ හෝ කර්මස්ථානයේ හෝ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටිද්දී සිකුරුගේ දශා කාල‍වල මෙසේ විදෙස් ගමන් ඇති කරයි.

අධ්‍යාපන කටයුතුවල නිරතවීම සඳහා විදෙස් ගමන්වල‍ට කෙරෙන ග්‍රහ බලපෑම්

මිථුන ලග්නයේ නම් ලග්නාධිපති වූ බුධ ග්‍රහයා සතරවන භාවයේ හෝ දසවන භාවයේ තැන්පත් ව සිටීමත්,තුලා ලග්නයෙන් ඉපදී බුධ ග්‍රහයාත් සිකුරු ග්‍රහයාත් සතර වැන්නේ තැන්පත් වීම, ධනු ලග්නයෙන් උපත ලබා සිකුරු හා ගුරු ග්‍රහයන් සතර වැන්නේ තැන්පත් වීමත් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීම් ඇති කරවයි.

වන්දනා ගමන් සඳහා විදේශගත වීම වාසනාව සෑම අයෙකුටම අවකාශ නොලැබේ.ඒ සඳහාත් උත්පත්ති ග්‍රහ බලය ප්‍රධාන ලෙස හේතු වේ. රාහු,සඳු දෙදෙනා යෝග වී දසවන භාවයේ තැන්පත්ව සිටිය දී උත්පත්තිය ලැබූ අය ද දොළොස්වන භාවය අධිපති ග්‍රහයා පස්වන භාවයේ තැන්පත්ව සිටීම හේතුවෙන් ද මකර ලග්නයෙන් උත්පත්තිය ලබා තුන්වැන්නෙහි සඳු තැන්පත් ව සිටියදී උපත ලැබීම හේතුවෙන් ද විදේශ වන්දනා ගමන් යාමේ භාග්‍ය උදා වේ.

ලග්නාධිපති සත්වන භාවයෙහි තැන්පත්ව උත්පත්තිය ලැබීම හේතුවෙන් කෙ‍ටි කාලීන ගමන් සඳහා විදේශ ගතවීම ඇති වේ.තම උපන් භූමිය හැර දමා වෙනත් රටක පදිංචියට යන අය ද අනන්තවත් සිටී. ලග්නාධිපති වූ ග්‍රහයා දොළොස්වන භාවයේ තැන්පත්ව සිටීම උපන් රටෙන් පිටවී වෙනත් දේශයක් පදිංචිය තෝරා ගැනීමට බලපායි.

 

 

Comments