ඉක්බිති පව්කාරයෝ සියල්ල එක් වී පව්කාරියට ගල් ගැසූහ | සිළුමිණ

ඉක්බිති පව්කාරයෝ සියල්ල එක් වී පව්කාරියට ගල් ගැසූහ

 පසුගිය සතියේ රටෙහි මාතෘකාව වුයේ නීති උපාධිය සමත් වු රාත්‍රී සමාජ ශාලා සේවිකාවක්ය. වෙබ් අඩවි ඇය සම්බන්ධයෙන් පුවතක් ඉදිරිපත් කළ පසු එය මුහුණු පොත සහ අනෙකූත් සමාජ වෙබ් අඩවි තුළ ගින්නක් සේ ඇවිළී ගියේය. පුවත පළ කළ වෙබ් අඩවිය තුළ ඇයගේ උපාධි ප්‍රධානොත්සවයේ ඡායාරූපයක් මෙන්ම ඇය බිකිනියෙන් සැරසි සිටින සහ කෙටි ඇඳුම්වලින් සැරසි සිටින ඡායාරූප පළ කරමින් මෙම පුවත තවත් උණුසුම් කරනු ලැබුවේය.

එම පුවත පල කළ වෙබ් අඩවියද බලාපොරොත්තු නොවු ලෙස, ඇය සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් සමග ලිපියක් මුහුණු පොතේ පළ වුයේ නීතිඥයෙකුගේ නමිනි. ඔහු විසින් ගෙනහැර දැක්වු ප්‍රධාන තර්කය වුයේ ඇය නීතිඥවරියක් විමට තරම් මනා සාදාචාරත්මක පැවැත්මක් නොමැති කාන්තාවක් ලෙසයි. එයින් නොනැවතුනු ලියුම්කරු ඇය හට බරපතල විවේචනයන් ගෙන ආවේය. ඒ ඇය කාමුක සිනමා නිළියක් (PORN STAR) සහ වෛශ්‍යාවක් වැනි යෙදුම් හාවිතා කරමිනි. මෙම සටහන මුහුණු පොතෙහි පළ කිරිමත් සමග එයට පක්ෂව හා විපක්ෂව විශාල ප්‍රතිචාරයන් මුහුණු පොතෙහි පළ වුයේය. අවසානයේදි එය බරපතල සංවාදයක් බවට පත් වු අතර බොහෝ ප්‍රතිචාරවලදි මුල් පල කිරීම දැඩි ලෙස විවේචනයට ලක් වුයේය.

මුහුණු පොතෙහි සමහර නීතිඥයන් පළ කරනු ලැබු ප්‍රතිචාරයන් හි වෘත්තිය ගරුත්වය සහ වෘත්තිය ආරක්ෂාව පිළිබඳ බොහෝ අදහස් පළ කොට තිබුණෝය. සමහර සටහන් අතර මෙවැනි යුවතියක් නීති වෘත්තියට පැමිණිම නීතියේ ආධිපත්‍යය බිඳ වැටිමේ අවදානමක් ඇතිවිය හැකි බවට සටහන් කොට තිබිණි. එසේම තවත් සටහනක මෙම යුවතිය විනිශ්චකාරිවරියක් හෝ නඩුවක විරුද්ධ පක්ෂයේ නීතිඥවරිය වශයෙන් ඉදිරිපත් වුවහොත් නීතිඥවරුන් පත් වන තත්වයද විමසා තිබිණි. බොහෝ අය උලුප්පා පෙන්වා තිබුණේ නීතිඥ වෘත්තිය උතුම් සහ ශුද්ධ වු වෘත්තියක් බවත්, මෙවැනි හැසිරීමක් නිසා එය විනාශයට යෑමේ අවදානමක් ඇතිවිය හැකි බවයි.

මේ ආකාරයට මුහුණු පොතෙහි සහ අනෙකුත් සමාජ ජාලවල ඇය සම්බන්ධයෙන් විවේචන මෙන්ම විවේචකයා විවේචනය වන සටහන් රාශියක් පළ වුණි. මුහුණු පොතෙහි පළ කල සටහන සැබැවින්ම අද සමාජය පත් වී ඇති අර්බුදය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි උදාහරණයෙකි. එම සටහනේ කතුවරයා කිසිදු බියකින් තොරව ඇය සම්බන්ධයෙන් ගෙන ආ චෝදනා සලකා බැලීමේදී ඇත්තෙන්ම ඒවා මතුපිටට ප‍්‍රකාශ කරන ප‍්‍රකාශනයන් ඔබ්බට කාවැදුනු සමාජ වෛරයක් බව මැදහත් සිතින් ඒදෙස බලන ඕනෑම කෙනෙකුට පෙනී යයි.

මේ චෝදනා ඇය වෙත එල්ල වන්නේ, ඇය රාත්‍රි අවන්හලක සේවිකාවක් නිසා, ඇය විසින් අන්තර්ජාල ගිණුමක පළ කරනු ලැබූ පෙර සඳහන් කළ ඡායාරූප නිසාවෙන්ය. එම ලේඛකයා මෙන්ම ඇය විවේචනයට ලක්කළ බෝහෝ විවේචකයන්ගේ පොදු මතය වූයේ එම ඡායාරූපයන්හි දක්නට ලැබූ වස්ත්‍රයන්ගෙන් සැරණ කාන්තාවන්ට නීතිඥ වෘත්තිය කැප නොවන බවයි.

මෙම යුවතියට එරෙහිව හඬ නැගූ තරුණ නීතිඥවරුන් සහ නීතිඥවරියන් දෙස බැලීමේදී හැඟී යන ප්‍රධානතම කාරණය ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන ඛාදනයකට ලක්ව ඇත්තේද යන්නයි. සාමාන්‍යයෙන් අතීත පිළිගැනීම සහ ව්‍යවහාරය අනුව උසස් අධ්‍යාපන ආයතනයක් යනු පවතින සමාජයේ සැබෑම හරස්කඩක් වශයෙන් දැක්වීමේ හැකියාව තිබිණි. බොහෝ විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතනවල විෂය පරබාහිර කතිකාවතක් අතීතයේ පැවැතිණි. ඒ තුළින් විෂය පමණක් සමත් උපාධිධාරියෙකු අබිබවා ගිය පෞර්ෂත්‍වයක් ගොඩනගා ගැනිමේ හැකියාව බොහෝ දෙනෙකුට හිමිවිණි. එය දේශපාලනය හෝ සාහිත්‍ය හෝ සංස්කෘතිය හෝ වෙනත් සාමාජීය, ආර්ථික හෝ දේශපාලන කාරණයක් විය හැකිය. එක් යුගයක විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ තිබුණු අවිධිමත්භාවය සහ රැඩිකල්භාවය නිසාම ඔවුන් තමන්ගේ උගත් විෂය අබිබවා ගිය පෞරුෂයක් බවට පත් කළේය.

අද වන විට උසස් අධ්‍යාපන ආයතනයන්හි ශිෂ්‍යයන්ට මේ ආකාරයෙන් පරිචයක් ලබා ගැනිමට ඇති හැකියාව සැක සහිතය. පාසලේ සිටම යාන්ත්‍රිකරණය වු ශිෂ්‍යයා පහේ ශිෂ්‍යත්වයට තරඟ කොට ඉන්පසු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඊට වඩා ජවයකින් තරඟ කොට අ.පො.ස උසස් පෙළ විභාගය තමාගේ මුලු ශක්තියම වැය කොට තරඟ කරන්නේය. ඒ තරඟකාරී මානසිතක්වයෙන් විශ්ව විද්‍යාලයටද ඇතුළත් වන්නේය. එදා මෙන් නොව අද විශ්වවිද්‍යාලයට ඇතුල්වන බොහෝ ශිෂ්‍යයන් වාණිජකරනය වූ සමාජ රටාවන් තුළ තම අධ්‍යාපනය ද සරසවි සංකල්පයෙන් එපිටට ගෙන ගොස් හුදු ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීමට යන කාරණය මත පමණක් පිහිටුවා සම්පූර්ණ කරනු ලබන අවස්ථා එමටය. ඒ අනුව සරසවියෙන් නිර්මාණය වන චරිතය පෙර සඳහන් කළ ආකාරයේ දැක්මක් හෝ පරිචයක් ලබා පරිපූර්ණ වූ විද්‍යාර්ථියෙකුට වඩා විෂය දත් උපාධිධරයෙකු ලෙස පමණක් එළියට බසින අවස්ථා අති බහුලය.

මෙසේ කුඩා දරුවාගේ පටන් පලමුව දෙමාපියන්ගේ මූලිකත්වයෙන් ඇති කරනු ලැබු තරඟකාරීත්වය පසුව සරසවි සගයන් සමඟ එක්ව වැඩිදියුණු කොට ඉන්පසුව සහෝදර වෘත්තිකයන් සමඟ අත්වැල් බැඳගැනීම වඩා තීව‍්‍රව කුහකත්වයක් නිර්මාණය කිරිමට සමත් වී ඇත්තේය. අද අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි හෝ වෙනත් ක්ෂේත්‍රයන්හි දැකිය හැකි අරගලයන්හි මූලය තරඟකාරීත්වය තුළ ඇති කරනු ලැබූ කුහක භාවය ඔවුන්ගේම සටන් පාඨයකින් කියැවෙන්නෙකි. උදාහරණයක් වශයෙන් ගතහොත් කෙනෙකු අපමණ වෙහෙසක් දරා විභාග සමත්ව සරසවියට ඇතුළුවද්දී තවකෙක් මුදල් දී උසස් අධ්‍යාපනය ලැබීම අපරාධයක් ලෙස දකින්නේ මේ තරඟකාරීත්වය නිසා ඇති කරනු ලැබූ කුහක භාවය නිසාවෙනි.

නැවතත් යුවතියගේ ප්‍රශ්නය වෙත ගියහොත් මෙම ප්‍රශ්නයට අදාළ සිද්ධි සමුදාය පෙළ ගැසෙන්නේ ද පෙර කියූ ආකාරයටය. මුහුණු පොතේ ඇයට විරුද්ධව මූලික සටහන පළ කළ නීතිඥයා ඇය වෛශ්‍යාවක්, කාමුක සිනමා නිළියක් සහ රාත්‍රි අවන්හලක සේවිකාවක් බවට පත් කරන ආර්ථික සහ සමාඡීය මාධ්‍ය (culture) අද මුදලට උපාධියක් ලබා ගන්නා සරසවිය බව ප්‍රකාශ කරයි. එසේම මෙවැනි අයෙකුට උපාධියක් ගන්නට තරම් සැහැල්ලු උපාධි පාඨමාලවන් විකුණූ ආයතනයක් ලෙස එම ආයතනය හදුන්වා සිටියි.

ඔහු තැබූ සටහන් අතර නීති පීඨයට පැමිණෙන ශිෂ්‍යයා මුහුණ දෙන්නා වූ තරගය නීති විද්‍යාලයට පැමිණෙන ශිෂ්‍යයා මුහුණ දෙන්නා වූ තරගය සහ විවෘත විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍යයා මුහුණ දෙන්නා වු තරගය යන ආයනතයන්හි තරගකාරී බව පැහැදිලි කොට ඇත. එම තරගකාරීත්වය පැහැදිලි කිරිමත් සමඟ ඔහු විදේශ නීති උපාධියක් ගත හැකි සරලභාවය සහ එයින් වෘත්තියට සිදුවිය හැකි යැයි කියනු ලබන අන්තරාය විස්තර කරනු ලබන්නේය.

ඔහු සමඟ අත්වැල් බැඳගන්නා තවත් පිරිසක් මෙම තරුණ නීති ශිෂ්‍යයාව නීති වෘත්තියට පැමිණුණ හොත් ඇතිවිය හැකි අභාග්‍ය සම්පන්න තත්‍වය වශයෙන් දක්වන්නේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම සහ ඇය දිනෙක විනිශ්චකාරවරියක් වුව හොත් ඇය ඉදිරියේ පෙනී සිටිම වැනි කාරණයන්ය. කාන්තාවක් අඩනිරුවතින් හෝ නිරුවතින් ඡායාරූපයකට පෙනී සිටිම නිසා නීතියේ ආධිපත්‍ය බිඳුණු අවස්ථාවක් කොතැනක හෝ අසා නැත. ඇය විනිශ්චකාරවරියක් වුවහොත් ඇය ඉදිරියේ නීතිඥවරු පෙනී සිටීමට කිසිදු බාධාවක් ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් ඉතා ග‍්‍රාම්‍ය ආකාරයෙන් එකී විවේචනයන් පන්ති වෛරය, ස්වෝත්තමවාදය සහ අනන්‍යතා අර්බූදය මත ගොඩ නැගී ඇති බව ඉතා පැහැදිලිව පෙනී යන්නේය.

මුහුණු පොතේ මුල් සටහන තැබූ නීතිඥවරයා මතුපිටින් සඳහන් කරණු ලැබූ සටන් පාඨයන්ට අභ්‍යන්තරයෙන් අවුලුවන්නට උත්සහ කරනු ලැබුවේ ඉහත කී කාරණයන්ය. පෞද්ගලික අධ්‍යපනය සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් එම ගැටලු නිරාකරණය කළ යුතු බව ලියුම්කරු ද දැඩි ලෙස විශ්වාස කරන්නේය. එසේම නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයට ඇති නිදහස අනෙකා ද පිළිගත යුතු ධර්මතාවයක් බව සමාජය පිළිගත යුතුය. සංස්කෘතික සහ සමාජීය ගැටළුවක් වශයෙන් ඉදිරිපත් කරමින් සමාඡුය ආකර්ශනය කරවන්නට උත්සහ කරනු ලැබුවේ මතුපිට ස්ථරයට යටින් දිව යන්නා වූ පෞද්ගලික කාරණයන්ය.

කාන්තාවන්ගේ අඩනිරුවත නිසා රටෙහි නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් වන බව පවසන්නට තරම් කේඩෑරී ඥානයකින් වයස අවුරුදු විසි දෙකක ශිෂ්‍යාවන් නගර ශෝභනියන් බවට පත් කරන්නට තරම් කණ්ඩායම් පෙල ගැසුනේ ඒ නිසාය.

මෙම සිද්ධියේදී ඇත්ත වශයෙන්ම සිදුවූයේ පළමු සටහන තැබූ නීතිඥවරයාගේ මානසික අරගලයෙහි වින්දිතයා බවට, පෙර කී නීති ශිෂ්‍යයාව පත් වීම වන අතර ඔහුට ආධාර හා අනුබල දෙමින් තවත් පිරිසක්ද පෙර කී මානසික තත්වයෙන් කටයුතු කරමින් එම නීති ශිෂ්‍යයාව පව්කාරියක් කොට ගල් ගැසීමය. එය කෙතරම් විකාර රූපී ද කිවහොත් මෙම තරුණිය නිසා නීතියේ ආධිපත්‍යයටද තර්ඡුනයක් ඇති විය හැකි බවට පවසන්නට තරම් කේඩෑරී වු මානසිකින් සමහරුන් කටයුතු කලේ පෙර කි හීනමානය නිසාය.

උපුල් කුමරප්පෙරුම

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.