බුද්ධාගමට හිමි තැන නැති කිරීමේ භීතිකාව | සිළුමිණ

බුද්ධාගමට හිමි තැන නැති කිරීමේ භීතිකාව

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුදු දහමට හිමි තැන නැති කරන මාරයකු ලෙස හැඳින්වීමේ උත්සාහයක් දියත් වෙමින් පවතී. මහජන සිත්හි භීතියක් නිර්මාණය කර ව්‍යවස්ථාව එරෙහි ජනමතයක් ගොඩ නැඟීම යටි අරමුණ වී ඇති බව පෙනේ. ඒකාබද්ධ විපක්ෂය හා ඔවුන්ට ගැති ජනමාධ්‍ය මේ කටයුත්තෙහි නියැළී සිටී. පසුගිය දා සති අන්ත ජාතික පුවත්පතක් මෙය ප්‍රධාන පුවත හැටියට පළ කළේ ය. එමෙන් ම බෞද්ධයා නාළිකාව ඇතුළු විද්‍යුත් මාධ්‍ය ඔස‍‍්සේ අදහස් පළ කරන ඇතැම් උගතුන් බෞද්ධාගමිකයන් කුපිත කරවීමේ උත්සාහයක නියැළෙන අයුරු පැහැදිලි ය. පසුගිය දිනෙක බෞද්ධයා නාළිකාවෙන් බණ කී හිමි නමක් ‍බෞද්ධ ජනතාවට එල්ල වී ඇති තර්ජන පිළිබඳ සඳහන් කරමින් මුස්ලිම් ජාතිකයන්ට එරෙහි විය යුතු බව කෙළින් ම කීවේ ය. මුස්ලිම් ජාතිකයන්ගේ කඩ සාප්පු වලින් බඩු මිලදී ගැනීමෙන් වළකින්නැයි බෞද්ධාගමිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂවල නායකයන් ගේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ද බුද්ධාගමට එල්ල වී ඇති තර්ජනය පිළිබඳ ව ය.

නව ව්‍යවස්ථාවට එරෙහි ව මෙබඳු චෝදනා එල්ල වෙමින් පවතින අවස්ථාවක ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ වර්තමාන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම කාලෝචිත ය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර අනුමැතිය ලබා ගත යුත්තේ පාර්ලිමේන්තුවෙනි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මහජන නියෝජිතයෝ ව්‍යවස්ථාව සම්පාදක මණ්ඩල සාමාජිකයෝ ය. ව්‍යවස්ථාව පිළිබඳ කාරක සභාවල සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරයි.

ව්‍යවස්ථා සම්පාදනයේ පළමු පියවර වූයේ මහජන අදහස් ලබා ගැනීම ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ අධිනීතිඥ ලාල් විජේනායක මහතා ය. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනවර්ග නියෝජනය කරමින් විද්වත්හු රැසක් කමිටු සාමාජිකයන් හැටියට කටයුතු කළ හ. දිවයිනේ විවිධ සමාජ තීරුවල අදහස් සැලකිල්ලට ගනිමින් කමිටු වාර්තාව සකස් කෙරිණ.

එම වාර්තාවේ 4 වැනි පරිච්ඡේදයෙහි ආගම පිළිබඳ සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට රාජ්‍යය හා ආගම සම්බන්ධයෙන් එකිනෙකාට පරස්පර විරෝධි අදහස් ලැබී ඇත.

ඒවා පිළිබඳ තීන්දුවක් නොගත් කමිටුව කර ඇත්තේ යෝජනා සියල්ල වාර්තාවට ඇතුළත් කිරීම ය.

එ් යෝජනා මෙ පරිදි ය.

1. බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙමින් අන් සියලු ආගම් ද ප්‍රධාන අයුරින් ආරක්ෂා කළ යුතු ය.

2. රජය සියලු ආගම් සමාන ලෙස පිළිගෙන ආරක්ෂා කළ යුතු ය.

3. රාජ්‍යය අනාගමික විය යුතු ය. ආගම රාජ්‍යයේ විෂයයට අයත් නො විය යුතුය.

මේ යෝජනා දීර්ඝ වශයෙන් සැලකිල්ලට ගත් කමිටුව අවසානයේ පැමිණි නිගමනය මෙසේ දක්වා ඇත.

“අප පෞද්ගලිකව අනාගමික රාජ්‍යයකට කැමති නමුත් මහජනතාව ඉදිරිපත් කළ විවිධ අදහස් අනුව අපට පෙනී ගියේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම වගන්ති වෙනස් කිරීම අනවශ්‍ය ගැටුමකට හේතුවක් විය හැකි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ම බලපෑ හැකි බවත් ය. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදයේ හා 9 වැනි ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයක දී ප්‍රකාශ කර ඇති බව ද පෙන්වා දෙන ලදි.”

මින් හැඟී යන්නේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙහි මුල් පිය‍වරෙහි පටන් “ආගම” වැනි සංවේදී විෂයයන් පිළිබඳ සියුම් ලෙස අවධානය යොමු කර ඇති බව ය.

ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ කාරක සභා විවිධ පක්ෂ නියෝජනය කරයි. එසේ වුවද ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමි තැන නැති කිරීම පිළිබඳ චෝදනාවක් එල්ල වී නොමැත. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වීම වළක්වා ගැනීමේ අරමුණ ඇති ව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ නිර්දේශ හෙවත් ව්‍යවස්ථාවේ මූලික ලියවිල්ල මේ වන විට සකස් කර අවසන් ය. ඊළඟ පියවර වනුයේ එය පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම ය.

බුදු දහමට හිමි තැන අහිමි කිරීම හෝ අනාගමික රාජ්‍යයක් පිළිබඳ යෝජනා කිසිවක් එම නිර්දේශවල නොමැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ හා මුස්ලිම් මහජන නියෝජිතයන් කිසිවකු බුදු දහමට හිමි තැන අහිමි කරන්නැයි කිසි විටක යෝජනා කර නොමැත.

විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා බුදු දහම ප්‍රමුඛ කර ගනිමින් සෙසු ආගම් ආරක්ෂා කිරීම පිළිබඳ දැනට තිබෙන ව්‍යවස්ථාව පිළිගන්නා බව ප්‍රසිද්ධියේ සඳහන් කළේ ය.

බුද්ධාගම ප්‍රශ්නයක් කර ගනිමින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අඩාළ වනු දැකීමට ඔවුහු අකමැති වෙත්. එම පක්ෂවල මෙන් ම උතුරේ හා දකුණේ පළාත් සභාවල නියෝජිතයන්ගේ ප්‍රධාන ගැටලුවක් ව පවතින්නේ B ව්‍යවස්ථාව මඟින් පවරා ඇති බලතල පළාත් සභාවලට නොදී මධ්‍යම ආණ්ඩුවේ රඳවා ගැනීම ය. බලය බෙදීමේ ක්‍රියාවලිය ඊට වඩා විධිමත් කිරීම ය.

ආණ්ඩු වි‍රෝධී දේශපාලන ප්‍රවණතාවක් ගොඩ නැගීමේ ජවයක් හා පදනමක් නොමැති ඒකාබද්ධ විපක්ෂය නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමි තැන නැති කිරීම යනාදී ව්‍යාජ සටන් පාඨවල එල්ලී සිටිනුයේ පොරොන්දු වූ පරදි නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දුන් පසුව ආණ්ඩුව කෙරෙහි මහජන විශ්වාසයක් ගොඩ නැඟීම පළුදු කිරීම ය. ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත වෙමින් නීතිය, අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වීම යනු පරාජිත දේශපාලන පාර්ශ්ව දේශපාලන භූමියෙන් අතු ගෑවී යෑමේ අනතුරකි.

එනිසා, ඔවුහු ආගම දඩමීමා කර ගනිමින් මහජනයා කුපිත කිරීමෙහි යෙදී සිටිති. මාධ්‍ය වාරණයක් නොමැති වීම සහ ලැබී ඇති නිදහස් වාතාවරණය වාසියක් කර ගනිමින් බොහෝ ජනමාධ්‍යය ද බුද්ධාගමට එරෙහි ව්‍යවස්ථා කුමන්ත්‍රණ භීතිකාව නිර්මාණය කරති.

බුදු දහම රැක ගැනීමේ කැක්කුමෙන් පෙනී සිටිනවා යැයි කියන ඊනියා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුබලය ඇති විට හැසිරී ඇත්තේ මුළුමනින් ම බෞද්ධ විරෝධී පිළිවෙත් අනුව ය.

විරුද්ධවාදීන් ඝාතනය කිරීම හා අතුරුදහන් කිරීම, දේපළ විනාශ කිරීම ජනමාධ්‍යයට පහරදීම, බුද්ධාගමේ නාමයෙන් අන්‍යාගමිකයන්ට හිරිහැර කිරීම හා ආගමික මධ්‍යස්ථානවලට පහර දීම ඔවුන්ගේ පිළිවෙත විය. මේවා මොන බුද්ධාගමේ ප්‍රතිපත්ති දැයි ඇසීමට සිදු වන්නේ ඉක්මනින් සිදුවීම් අමතක කරන සමාජයක් පවතින හෙයිනි.

තිස් වසරක යුද්ධය අවසන් කිරීමෙන් පසු ව බෞද්ධ නොවන ආගමික මධ්‍යස්ථානවලට හා පූජකවරුන්ට පරහදීම් නිරන්තරයෙන් සිදු විය. 2009 මැයි මස සිට 2013 ජනවාරි දක්වා ආගමික මධ්‍යස්ථාන 65 කට පහර දී තිබේ. ඇතැම් භික්ෂු කණ්ඩායම් මෙන් ම ආරක්ෂක අංශවල සමහර පිරිස් ද මේ සඳහා යොදා ගෙන ඇති බව පෙනේ. එම පහරදීම් උච්ච ස්ථානයට පත් වූයේ අලුත්ගම බේරුවල හා දර්ගා නගරය යන ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එල්ල කළ ප්‍රහාරයෙනි. මෙහිදී මිනිස් ජීවිත මෙන් ම දේපළ ද විනාශ කරන ලදි. බොදු බල සේනා, සිහළ රාවය හා රාවණා බළකාය යනාදි භික්ෂු කණ්ඩායම් දේශපාලන අනුග්‍රහය ඇතිව බෞද්ධ නොවන ජනතාවට ‍එරෙහිව වෛරී ප්‍රකාශන නිකුත් කරනු පෙනුණි. බලහත්කා‍රයෙන් කඩා වැදීම, තර්ජනය කිරීම් සුලබ විය. හිටපු ආරක්ෂක ලේකම්වරයා බොදු බල සේනා වැනි කණ්ඩායම්වලට අනුග්‍රහය දැක්වූයේ ප්‍රසිද්ධියේ ම ය.

මානව හිමිකම් විෂයය ද ඇතුළත් ව එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අස්සන් තබා ඇති ශ්‍රී ලංකා රජය කෙරෙහි අන්තර්ජාතික වශයෙන් අඳුරු චිත්‍රයක් ඇති වීම කෙරෙහි මේ ක්‍රියාදාමය බලපෑවේ ය.

වත්මන් ආණ්ඩු පාලන සමයෙහි එම භීම තත්ත්වය වෙනස් විය. විවිධ ආගමිකයන්ට එල්ල වූ තර්ජන අවසන් විය. කලක් අහිමිව තිබූ අපනයන භාණ්ඩවලට ලබා දී තිබූ තීරු බදු සහනය ද නැවත ලැබිණ. පරාජිත දේශපාලකයන්ට මෙය කටු ඇනීමක් වැන්න. “ව්‍යවස්ථා මර උගුල” හා “බුද්ධාගමට හිමි තැන නැති කිරීම” සටන් පාඨයක් බවට පත් කරමින් සිටින්නේ දේශපාලන බංකොලොත් බව හේතුවෙනි. බුදු දහම ආගමික සහජීවනය ඉහළින් ම පිළිගන්නා දහමකි. බුදුන් වහන්සේ විවිධ ආගමික නායකයන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සුහද ඇසුරක් පැවැත් වූ හ. තමන් අදහන ආගමේ නාමයෙන් අනෙක් ආගම්වලට බාධා කිරීමේ චින්තනයක් බෞද්ධයන්ට තිබිය නොහැක. එසේ හෙයින් නව ව්‍යවස්ථාව ගෝනි බිල්කු බවට පත් කිරීමේ උත්සාහය පරාජය කළ යුතු ය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.