මහින්ද මෝදිට දත නියවා අත දුන් හැටි! | Page 2 | සිළුමිණ

මහින්ද මෝදිට දත නියවා අත දුන් හැටි!

 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා තම විශේෂ ඇරියුම අනුව ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට මෙන්ම නේපාල ජනාධිපතිනි බින්ද්‍යා දේවි බණ්දාරි මහත්මියටද සෙසු සියලු රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතවරුන්ටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් මගින් සිය කෘතවේදිත්වය පළකර තිබුණි. එසේම මහ­ානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයට, අනෙක් සියලුම ආගමික නායකයන් හා එයට අනුබල අනුග්‍රහ දැක්වූ සියලුම පිරිස්වලටද ජනාධිපතිවරයාගේ ප්‍රණාමය පිරිනමා තිබුණි.

මෙම ජගත් ආගමික උලෙළට ඉන්දීය අගමැතිවරයා පැමිණීම ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී කොටස්වල විවේචනයට ලක් වූවකි. ඒකාබද්ධ විපක්ෂයේ කළු කොඩි ප්‍රතිචාරය උපන් ගෙයිදීම මිය ගියත්, මෝදි අගමැතිවරයා පැමිණියේ වෙසක් බැලීමට නොව ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තයේ රවුමක් ගසා යාමට බවද සමහරු කීහ. මේ දේශපාලන අවලාදය නැඟූ ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය උසුලන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයා හමුවීමද දේශපාලන කේෂ්ත්‍රය උණුසුම් කළ සිද්ධියක් විය.

හිටපු ජනාධිපතිවරයාට අගමැති මෝදි හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබෙන බව මෛත්‍රී ජනාධිපතිවරයාට දන්වා තිබුණු අතර, ඒ හමුවට කිසිදු විරෝධයක් දැක්වීමේ අවශ්‍යතාවක්ද ජනාධිපතිවරයාට නොවීය. අගමැති මෝදි සිය කාර්ය බහුල දින සටහන වෙනස් කර හිටපු ජනාධිපතිවරයාටත් ඔහුගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂට හා හිටපු ඇමතිවරයකු වන ජී.ඇල්.පීරිස්ටත් ඒ සඳහා අවකාශ සලසා දී තිබුණි. මෙය ඒකබද්ධ විපක්ෂයට අමාරුවෙන් හෝ පත්තියම් කර ගත යුතු හමුවක් වූ බවද නිසැකය.

අගමැති මෝදි හා හිටපු ජනාධිපතිවරයාගේ හමුව ඒකාබද්ධ පිල දුර්මුඛ කරන්නක් වුවද දේශපාලනය යනු කටින් බතල හිටවීමකට වඩා ඔළුවෙන් කළ යුතු ක්‍රීඩාවක් බව හිටපු ජනාධිපතිවරයා ඉතා හොඳින් දනී. ඔහු ජගත් වෙසක් උලෙළේ ආරම්භක සමුළුවට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගියේත් රෑ දෙගොඩ හරියේදී හෝ මෝදි හමුවූයේත් ඒ නිසාය. කුමක් වුවත් මේ ක්ෂණික හමුවේදී සිදු වූ කථා බහ පිළිබඳව ඒකාබද්ධ පිරිස දනිත්ද යන්නත් මෙතෙක් හෙළිවී නැත. මොනවා වුවත් තමන් හමුවීම සඳහා අගමැති මෝදි මහතා හිටපු ජනාධිපතිවරයාට වේලාව වෙන් කරන්නට ඇත්තේ ඔහුගේ ඒකාබද්ධය රටට මුදා හරින ඉන්දීය විරෝධය පිළිබඳ අවබෝධයක් ඇතිව බව නිසැකය. අගමැති මෝදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට හෝ හිටපු විදේශ ඇමති ජි.ඇල්.පීරිස්ට හෝ කථා නෙකළ බවද හින්දු පුවත්පත් වාර්තා කර තිබුණි. මේ නිසා ඒ දෙන්නාටම සිදුවන්ට ඇත්තේද ගිය ගමනත් නොගිය වගේ ආපසු එන්නටය. මොනවා උනත් අගමැති මෝදිට හිතෙන්ට ඇත්තේ මැයි දිනයේදී ඉන්දියාව පට්ටා ගැසු මහින්ද තමන් ඉදිරියේ හීලෑවී තිබෙන බවය. ‍අනෙක් අතට තම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අවධාරණයන්ද ඒ වේලාවේ අගමැති මෝදිට සිහිපත් වන්නට ද ඇත. මෛත්‍රීපාල ජනාධිපතිවරයා දිගින් දිගටම කියා සිටියේ ඉන්දීය අගමැතිවරයා එන්නේ වෙසක් වැඩ සටහනට මිස දේශපාලන වැඩ සටහනකට නොවන බවය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ කසකාරයන් පොළවේ හැපි හැපී කීවේ මෝදිගේ ගමන හොර උප්පරවැට්ටියක් බවය.

ජනාධිපති මැදුරේ පැවති නිල භෝජන සංග්‍රහයේදීවත් මේ රාජ්‍ය නායකයන් දෙදෙනා අතර කිසිම දේශපාලන සාකච්ඡාවක් සිදු වූයේද නැත. මෛත්‍රී ජනාධිපතිවරයා අගමැති මෝදි හදවතින්ම පිළිගෙන සංග්‍රහ කර ඔහුට සමු දුන්නේ හිටපු ජනාධිපති මහින්ද හමුවීමට යන ගමන ගැනද දැනගෙනමය. ඒ ගමන ගැන හා ඒ හමුව ගැන නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ නොවුවද ඒකාබද්ධ පිලෙන් ඒ පිළිබඳව අපූරු කතාවක්ද ඇසුණි. එනම් හිටපු ජනාධිපතිවරයා රෑ දෙගොඩ හරියේ පැමිණ අගමැති මෝදිට කියා ඇත්තේ තමන් ඊළඟට රට භාර ගැනීමට සිටින නායකයා බවය. මෝදි අගමැතිවරයා එයට දැක්වු ප්‍රතිචාරය කුමක්දැයි අපි නොදනිමු. එහෙත් පරිණත දේශපලනඥයකු මෙන්ම අපේ කලාපයේ මහා බලවතකුද වන මෝදි අගමැතිට මහින්දගේ දේශපාලනය ගැන හොද වැටහීමක් තිබෙන බව නම් අමුතුවෙන් කිව යුතු නැත. එබඳු විහිළු ගැන බැරෑරුම් ලෙස කතා කළ යුතු නැත. එහෙත් මෝදි අගමැතිවරයාගේ වෙසක් සංචාරයේදි කැපී පෙනෙන සිදුවීම් කීපයක් පිළිබඳව අප අවධානය යොමු කළ යුතුය.

අගමැති මෝදි හා දෙමළ සන්ධානයේ නියෝජිතයන් අතර කටුනායක ගුවන් තොටුපලේදි සිදුවු හමුව ඉන් වැදගත්ම සිදුවීමකි. දෙමළ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ඇතුළු කීප දෙනෙ‍කු සම්බන්ධ වු මෙම කෙටි සාකච්ඡාව සඳහා උතුරේ මහ අමැති විග්නේශ්වරන් මහතා සහභාගි නොවීම කැපී පෙනුණි. එම හමුවට තමන් එක්කර නොගැනීම ගැන විග්නේශ්වරන් සිය කනස්සල්ලද පළ කර තිබුණි. විග්නේශ්වරන් යනු උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බව ප්‍රසිද්ධියේ කියන, සෘජුව නොවුවද උතුරේ දෙමළ ජනතාවගේ හිසට නොයෙක් වර්ගවාදී කුණු කසළ රිංගවන නායකයෙක්ද වේ. පසුගිය දිනක ඔහු උතුරේ සිය කාර්යලයේදී ඇමෙරිකානු කොංග්‍රස් සභිකයකුද හමු වී ෆෙඩරල් යෝජනාවද මතක් කර තිබුණි.

අගමැති මෝදි විග්නේශ්වරන්ට වඩා ආර්.සම්පන්දන් පිළිගන්නා බව මේ ප්‍රතිචාරය තුළින් ගම්‍ය වේ. එමතු නොව ආණ්ඩුවේ සංහිඳියා වැඩ පිළිවෙලට දෙමළ සන්ධානය වඩාත් ගැලපෙන බවද අගමැති මෝදි ගේ අදහස විය හැකිය. විග්නේශ්වරන් පමණක් නොව උතුරේ ඇතැම් ස්ථානවල යුද්ධයෙන් මියගිය අය වෙනුවෙන් යැයි පවසමින් පහන් පත්තු කරන, ප්‍රභාකරන්ගේ මස්සිනා යැයි කියන ශිවාජිලිංගම්ද දෙමළ ජනතාවගේ ඔළුව අවුල් කරන්නනෙකි.

ඉන්දිය අගමැතිවරයා වතුකරයේ දෙමළ ජනතාව ඇමතීමද තවත් විශේෂ සිද්ධියකි. අගමැති මෝදි වතුකරයේ ජනතාවට කියා සිටියේ තමාත් ඔවුනුත් අතර වෙකසක් නැති බවය. එපමණක් නොව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ දෑත්ද සමග තම දෑත් උඩට ඔසවා ඔහු විසින් වතුකරයට ප්‍රබල දේශපාලන පණිවිඩයක්ද ලබා දී ඇත. මෛත්‍රී - රනිල් සම්මුතිය පිළිබඳ තම ප්‍රසාදය පළ කිරීමක් ලෙසද මෝදිගේ ඒ ප්‍රතිචාරය සැලකීමට හැකිය. කුමක් වුවත් ඒකාබද්ධ පිලට මෝදි අගමැතිවරයාගේ එම ක්‍රියාදාමය දේශපාලන වශයෙන් තැති ගැන්මක් ඇතිකර තිබෙන බවද පෙනේ.

වතුකම්කරුවන් අමතා ඉන්දීය අගමැතිවරයා කියා සිටියේ දෙරටේ මිතුදම ශක්තිමක් කර ගත යුතු බවය. වතුකර ජනතාවට නිවාස දහදාහක් ලබා දෙන බවය. එසේම වතුකරය ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය සඳහා ලබා දෙන දායකත්වයද අගමැති මෝදිගේ අගැයුමට ලක් විය. එහෙත් මෝදිගේ මේ කතා ඒකාබද්ධය අල්ලා ගෙන ඇත්තේ වැරදි කොනින්ය. මේවා දේශපාලන කතාන්තර බවත්, වතුකර ජනයාට නිවාස ලබා දීමට ඉන්දියාව කරදර විය යුතු නැති බවත් ඔවුන්ගේ විවේචනයකි. එහෙත් අපට මොවුන්ගෙන් ඇසීමට සාධාරණ ප්‍රශ්නයක් තිබේ. එනම් මේ අහිංසක ජනතාව ඉදිරියට ගොස් එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය ගැන හෝ බුදුදහමේ හරය පිළිබඳව හෝ කතා කිරීම කෙතරම් ප්‍රායෝගික හෝ වැදගත් වන්නේද? යනු ඒ ප්‍රශ්නයයි. කුමක් වුවත් අගමැති මෝදි නම් එබඳු වෙසක් බණක් නොකීවේ ඒ ජනහමුව පිළිබඳ මනා වැටහීමකින් බවද නිසැකය.

මේ අතර ජනාධිපතිවරයා පසුගියදා කදුරුවෙල මුස්ලිම් මහ විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට එක් වෙමින් කියා තිබුණේද ඉන්දීය රජයේ ආධාරයෙන් පොලොන්නරුවේ සංහිදියා පාසලක් හදන බවකි. හෙට අනිද්දා වන විට මේ පිළිබඳවත් ඉන්දීය විරෝධීන්ගෙන් චෝදනා නැගෙන්ට බැරි නැත. මෛත්‍රී ජනාධිපතිවරයා මෙයින් අදහස් කළේ ජාතිවාදී භේද වලින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් ආදි සියලු දරුවන්ට පොදුවේ එක පෙළ‍ට හිඳගෙන අධ්‍යපනය ලැබීමට අවස්ථාවක් තිබීම රටේ සමගියට අවශ්‍ය බවය. ඇත්ත වශයෙන්ම අද දවසේත් සමහරුන්ට වුවමනා ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා රට අස්ථාවර කිරීම බව පෙනේ.

මෛත්‍රී ජනාධිපතිවරයා සිය දේශපාලන භාවිතය තුළින් ජනතාවට තහවුරු කර ඇත්තේ තමන් මේ ර‍ටේ සියලුම ජන කොටස් වලට සමව සළකන නායකයෙක් බවය. එහෙත් ජනාධිපතිවරයා කිසිවිටෙක සිංහල බෞද්ධකම අමතක නොකරයි. තමන් මේ මහපොළවෙන් බිහිවූ නායකයෙකු බව අමතක නොකරයි. එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දියාවේ අගමැති මෝදිට ආරාධනා කිරීමේ පදනම වූයේද බෞද්ධකම හෝ හින්දුකම නොවේ. මෝදි යනු බුදුන් වහන්සේ උපත ලද පුණ්‍ය ‍ භූමියේ වත්මන් නායකයා වීම එම තෝරා ගැනීමේ පළමු සාධකය විය. වෙසක් වැනි බුදු තෙමඟුල සේ ගැනෙන බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පැමිණීම හා පිරිනිවීම යන සිදුවීම් පිළිබඳ අනුස්මරණය කෙරෙන උතුම් බුද්ධ පුජාව පවත්වන අන්තර්ජාතික උලෙළකට අපේ කලාපයේ ප්‍රමුඛයා හා සුදුස්සාද ඉන්දියා‍වේ රාජ්‍ය නායකයා බව තේරුම් ගැනීම අනෙක් කරුණය. අනෙක් අතට හින්දු සමයෙහි එන ශ්‍රේෂ්ඨ කෘතියක් වන භගවත් ගීතාව හා බුදුසමයෙහි ශ්‍රේෂ්ඨ කෘතියක් වන ධම්ම පදය යන දෙතැන්හිම ලෝකයට දෙන හරය බොහෝ දුරට එක හා සමාන බව මෛත්‍රී ජනාධිපතිවරයා මෙන්ම මෝදි අගමැතිවරයාද හොදින් දනිති. ජීවිතය පිළිබඳ නියම සංග්‍රාමය පවතින්නේ පුද්ගලයන් අතර හෝ ජාතීන් අතර හෝ නොව එක් එක් පුද්ලයාගේ මනස තුළ බව භගවත් ගීතා‍ව මෙන්ම ධම්ම පදයද ඉඳුරා ප්‍රකාශ කර තිබේ. එනිසා ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා ඉන්දීය අගමැති මෝදි මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ආරාධනය අතිශයින්ම නිවැරදි බවද සඳහන් කළ යුතුය. බුද්ධාගමේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටින බොහෝ දෙනෙක් මේ සත්‍ය නොදනිති.

‍කෙසේ හෝ වේවා මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුව අද මේ ගමන යන්නේ ඉන්දියාවට, චීනයට මෙන්ම බටහිරටද ගැති නොවු නිදහස් හා මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුව බව ඉඳුරා පැහැදිලිය. චීනය ලංකාව සමග තිබෙන ඇයි හොඳයිකම් දෙස ඉන්දියාව ඇස පුංචි කර බලන්නා සේම, ඉන්දියාව ලංකාව සමග පවත්වන ඇයි හොඳයිකම් චීනයට අල්ලන්නේ නැතුවාද විය හැකිය. එසේම ඒ එකිනෙක පිළිබඳව ඇමෙරිකාව හෝ බටහිර නායකයන්ටද ප්‍රශ්න තිබිය හැකිය. එහෙත් මෛත්‍රීගේ ආණ්ඩුව අද මේ සියලු දෙනාම තම මිතුරන් ලෙස සලකා ගමන දැන යන බව නම් ඉතා පැහැදිලිය. මෛත්‍රී ජනාධිපතිවරයා ඉන්දියාවත් චීනයක් දෙපැත්තෙන් තබා යන ඒ ගමන හරියටම ශ්‍රී.ල.නි.පයත් එ.ජා.පයත් දෙපසින් තබාගෙන යන ගමනට නොදෙවෙනිය.

සුමේධ ජයබාහු
සේයාරුව -රුක්මාල් ගමගේ

Comments