වටලලා, බලහත්කාරකමෙන් ජනමතය වෙනස් කරන්න බෑ | සිළුමිණ

වටලලා, බලහත්කාරකමෙන් ජනමතය වෙනස් කරන්න බෑ

උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ කේ.එච්. නන්දසේන මහතා තනතුරෙන් ඉවත්කිරීමත් සමඟ උතුරු මැද පළාත් සභාවේ බලය දෝලනය වීමක් පිළිබඳ විවිධ කතාබහ ඇතිවෙමින් තිබිණි. මේ අතර පසුගිය සතියේ නව ඇමැතිවරුන් දිවුරුම් දුන් අතර, දැන් උතුරු මැද පළාත් සභාවේ තත්ත්වය පිළිබඳ පළාත් සභා ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* සතියක, දෙකක පමණ කාලයක සිට උතුරු මැද පළාත් සභාවේ දේශපාලන අර්බුදයක් පිළිබඳ වාර්තා වෙනවා අපි දැක්කා. අද වෙනකොට මේ තත්ත්වය කෙබඳුද?

දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හිටපු ඇමැතිවරුන්ගෙන් එක් කෙනෙක් අපි සාධාරණ සිදුවීමක් මත අයින් කළා. එයාව අයින් කරපුව ම අනික් අය ප්‍රවෘත්ති සාකච්ඡා තියලා දොස් කියන්න පටන් ගත්තා. ඔවුන්ගෙන් එක්කෙනෙක් අස්වුණා. මෙහෙම කටයුතු ඉස්සරහට ගෙනියන්න බැරි නිසා අපි අලුත් පිරිසකට අවස්ථාව දුන්නා. ඒ අය දැන් වැඩ බාර අරගෙන සභාවේ කටයුතු ඉදිරියට අරගෙන යනවා. තවත් පිරිස් ඉන්නවා අපිත් එක්ක ඉදිරියට එකතු වෙන්න.

* අපි දැක්කා දිවුරුම් ප්‍රකාශයක් අස්සන් කරලා. ඒ අනුව මන්ත්‍රීධුර 33න් 17ක් ම ඔබට විරුද්ධව නේද තිබුණේ?

මෙත‍න මේ විවිධ වුවමනා තිබෙන අය ඉන්නවානේ. ඒ අය හදිසියේම පසුගිය 11 වැනිදා පළාත් සභා මන්ත්‍රීවරුන්ට කොළඹට එන්න කියලා, මහින්ද රාජපක්ෂ හි‍ටපු ජනාධිපතිතුමා ගාවට අරගෙන ගිහින්ලා තියෙනවා. ඊළඟට අපි එකට ඉමු කියලා තමයි දිවුරුම් ප්‍රකාශ අස්සන් කරගෙන තිබෙන්නේ. අනික් මන්ත්‍රීවරු දිවුරුම් ප්‍රකාශය දැකලා තියෙන්නෙත් ඒ වෙලාවෙයි. එහෙම නැතිව සංවිධානය කරලා කරපු දෙයක් නොවේ මේක. පස්සේ මේ අස්සන් කරපු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම මට කතා කළා. ඔවුන් කිව්වේ අපි වැඩේට විරුද්ධයි. නමුත් ඒ වෙලාවේ කරගන්න දෙයක් නැතිව ගියා කියලයි. ඒ නිසා අස්සන් කළා. ඒත් පළාත් සභාවේ මොකක් හරි යෝජනාවක් ආවොත් අපි අනිවාර්යයෙන්ම ඔබතුමා සමඟයි කියලා ඔවුන් මට කිව්වා.

* මෙතැන්දි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවර‍යකුත් ඔවුන් සමඟ එක්වීමට සූදානමින් සිටින බවට වාර්තාවෙලා තිබුණා?

නැහැ. එහෙම ගණන් ගන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකුට මෙතැනට එක් වෙන්න බෑ. එහෙම එනවා නම් තනි පක්ෂයකුයි එන්න ඕනේ. ඒක ඌව න‍ඩු තීන්දුවේ පැහැදිලිව ම කියලා තියෙනවා. මන්ත්‍රී සංඛ්‍යාවෙන් ‍භාගයකට වඩා එක් පක්ෂයක් ජයග්‍රහනය කළොත් ඒ පක්ෂයේ කණ්ඩායම් නායකයා මහ ඇමැති ලෙස පත්විය යුතුයි කියලා. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය බාගයකට වඩා ජයග්‍රහනය කරලා තිබෙන නිසා පක්ෂය විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායකයා තමයි මහ ඇමති වෙන්න ඕනේ.

* එස්.එම්. රංජිත් මහතා ට බහුතරය තිබෙන අවස්ථාවේදී, ඔහු මහ ඇමැති ලෙස පත්කිරීමට ආණ්ඩුකාරවරයා මැළිවූ බවට චෝදනාවක් නැගෙනවා?

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියේ පැහැදිලිවම කියනවානේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත ඇති මන්ත්‍රීවරයා පත්කළ යුතුයි කියලා. ඒ එක්කම ඊළඟ ඡේදයේ තියෙනවා, එම කණ්ඩායමේ නායකයායි මහ ඇමැති වෙන්න ඕනේ කියලා. බහුතර කැමැත්ත වෙන කෙනකුට තිබුණත් කණ්ඩායම් නායකයායි පත්කළ යුත්තේ. දැන් එතකො‍ට මම කණ්ඩායම් නායකයානේ. එතකොට මමනේ මහ ඇමැති වෙන්න ඕනේ.

* ආණ්ඩුකාරවරයාට ඉහළින් බලපෑමක් ආවා කියලත් කියවෙනවා?

ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාව අනුවයි කටයුතු කරලා තියෙන්නේ. දැන් මෙහෙමනේ පළාත් සභාවක ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි, ව්‍යවස්ථාදායකය. අනික පළාත් සභා විධායකයයි. පලාත් සභාවේ ව්‍යවස්ථාදායකට පත්වෙන්නේ ජනතාවගේ ඡන්දයෙනුයි. එහෙම බලපුවාම උතුරු මැද පළාත් සභාවට ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගත් 33ක් ඉන්නවා. එතකොට විධායක බලය පළාත් සභාවට ලැබෙන්නේ ජනාධිපතිවරයාගෙන්. ජනාධිපතිවරයා විසින් තමයි ආණ්ඩුකාරවරයා පත්කරන්නේ. ඒ ආණ්ඩුකාරවරයා මගින් පළාත් සභා විධායකය පත් කරනවා. ඒ කියන්නේ ප්‍රධාන ඇමතිවරයා සහ ‍අනෙක් ඇමතිවරු හතරදෙනා. එතකොට ජනාධිපතිවරයාගේ විධායක බලය නිසා තමයි,ආණ්ඩුකාරවරයා සහ ඇමැති මණ්ඩලය පත්වෙන්නේ. එහෙමනම් ඇමති මණ්ඩලයට බලය ලැබෙන්නේ ජනාධිපතිවරයා‍ගෙන්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියනව, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තමයි විධායක බලය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒකයි ව්‍යවස්ථාව ඉතින් කවුරුහරි කියනවානම් බලපෑම් කලා කියලා එහෙම එකක් නෑ. ර‍ටේ නීතියට අනුව ජනාධිපතිට එකඟව සියලුම ඇමැතිවරු කටයුතු කළ යුතුමයි. එතකොට ජනාධිපතිගේ අභිමතය අනුව ක්‍රියා නොකළහම ආණ්ඩුකාරවරයාට පුළුවන් මේ ඉන්න අය අයින් කරලා වෙනත් අය පත් කරන්න.

* කේ.එච්. නන්දසේන මහතා ඇමැති ධුරයෙන් ඉවත්කළෙත් එහෙමද?

ඔව්. නව වැනිදා තිබූ පළාත් සභාවට පහළ මල්වතුඔය ව්‍යාපාරය විවේචනය කරලා ඔහු යෝජනාවක් ගෙනාවා. පහළ මල්වතු ඔය ව්‍යාපාරය කියන්නේ මොරගහ කන්ද වගේ උතුරු මැද වගේම, උතුරු පළාතටත් ජලය ගෙනියන්න තිබෙන ප්‍රධාන යෝජනාවක්. එතෙන්දි ඔහු ජාතිවාදය ඇවිස්සෙන යෝජනාවක් ඉදිරිපත් කළා. ඒක තමයි ඔහු ඉවත් කරන්න හේතුවුණේ.

* ඒත් ඔහු කියන්නේ තමා දේශපාලන පළිගැනීමකට ලක්වූ බවයි. විශේෂයෙන්ම ඇමැති ධුරයෙන් ඉවත්කිරීමට පෙරදිනක ඔහු ජනාධිපතිවරයා මුණ ගැසුණු බවත් කියනවා?

එහෙම දේවල් වෙනවා තමයි. ඊට ඉස්සරලා දවසක පළාත් සභාවේ උත්සවයක් තිබුණේ. ඒකට ‍හැමෝම සහභාගි වුණා. ජනාධිපතිතුමත් ආවා. හැමෝ එක්කම කතා කළා. එතෙන්දි ඔය වගේ දේවල් කතා කරන්නේ නෑනේ.

* නන්දසේන මහතා නම් කියන්නේ ඔහු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට හිතවත්ව කටයුතු කළ නිසා කෙරුණු දේශපාලන පළිගැනීමක් බවයි?

එහෙමනම් ඉතින් මුලින්ම අයින් කරන්න තිබුණනේ. දැන් මේ යහපාලන ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙකක්නේ. ඒ කාලය පුරාවට අයින් කරන්න තිබුණනේ. අනික එහෙම අයින්කරන්න ඕනේ නම් අයින් කරන්න ති‍බු‍ණු පළමු කෙනා එස්.එම්. රංජිත් ඇමැතිතුමායි. ඔය දැන් කියන කතා කිසි පදනමක් නැති විකාර කතා. අර කිතුල්ගහට ගිය මිනිහා කියන කතා වගෙයි මම නම් ඕවා දකින්නේ.

* උතුරුමැද පළාත් සභාව වටලලා තම බලය පෙන්වන බවටත් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් අනතුරු අඟවලා තියෙනවා?

පළාත් සභාව වටලලා ඒ අය මොනවා කරන්නද?‍ ගොඩනැගිල්ලට හානිකරලා තිබ්බොත් පොලිසියෙන් අල්ලාගෙන යයි. බලය කියන එක වටලලා බලෙන් ගන්න බෑ. බලය තියෙන්නේ මහජනයාගේ ‍අතේ. මහජනතාව ඡන්දයෙන් තමයි නියෝජිතයෝ පත්කළේ. ආයෙත් ඊළඟට කාල පරිච්ඡේදය ආවහම ඒ ජනතාව තමන්ට අවශ්‍ය අය පත්කරගනීවි. ඒක පළාත් සභාව වටලලා කරන්න බෑ.

* උතුරුමැද විතරක් නොවේ. මධ්‍යම, වයඹ වගේ පළාත් සභාවලත් පසුගිය කාලයේ බල හුවමාරුවක් වන ලකුණු පෙනෙන්නට තිබුණා. සමහර ප්‍රශ්න තවමත් අවසන් නැහැ. ආණ්ඩුවට යම් රතු එළියක් ද මේවායින් පේ‍න්නේ?

කිසිම පළාත් සභාවක ගැටලු නැහැ. එළියේ තිබෙන ගැටලු පළාත් සභාව ඇතුළට ගේන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒකෙන් තමයි මේ ගැටලු ඇතිවෙලා වගේ පේන්නේ. හැම පළාත් සභාවක්ම තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඕවා අර ඉන්දීය අගමැතිතුමා ලංකාවට ආව‍ වෙලාවේ කිව්ව කතා වගේ. මෝදි ලංකාවට අඩිය තියනකොට කළු ‍කොඩි දාන්න කියලා විමල් වීරවංශ කිව්වා. ඊළඟට ඔහු කිව්වා මෝදි අගමැතිතුමා ජනාධිපතිතුමාගෙයි, අගමැතිතුමාගෙයි අත්දෙක උස්සපුවාම කිව්වා ලංකාව ආක්‍රමණය කරයි කියලා. මේවාගේ ‍ගොං කතා තමයි ඔය පළාත් සභා ගැන කියන්නෙත්.

* ශීඝ්‍රයෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඈත්වෙමින් තිබෙන බවට ‍මත පළ වෙනවා. පළාත් සභා අර්බුද මගින් මේවා තහවුරු‍ වෙනවා නේද?

එහෙම එකක් නෑ. ඕනෑම රජයක් බලයට එන්නේ අලුත් වැඩපිළිවෙළක් එක්කයි. මොකද පරණ එක කරන්න ආණ්ඩු වෙනස් කරන්න ඕනේ නෑනේ. අලුත් වැඩපිළිවෙළක් කරගෙන යනකොට ඒකේ ප්‍රතිඵල ලැබෙන්න අවුරුදු දෙක තුනක් යනවා. 2015 ජනවාරි අටවැනිදා සිද්ධ වුණු වෙනස ලංකාවේ පළමු වතාවටයි එහෙම වෙනසක් සිදුවුණේ. ඊට පස්සේ ප්‍රධාන පක්ෂ දෙකම එකතුවෙලා ආණ්ඩුවක් හැදුවා. මේවා ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි සිද්ධ වුණේ. දැන් මේ ආණ්ඩුව ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් හොයාගෙන යනවා. ඒකට ටික කලක් යනවා. මේක හරියට වගා කරගෙන කනවා වගේ වැඩක්. ඒ කියන්නේ වගා කරලා අස්වැන්න නෙළලා කෑමට ගන්න කාලයක් යනවා. එහෙම නැතිව කඩෙන් ගන්නවා නම් ඉල්ලාගෙන කනවා නම් ක්ෂණිකව කන්න පුළුවන්. නමුත් ඒවායින් ප්‍රගතියක් නෑ. ඒවගේ තමයි මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළත්. ඒක කඩා වැටීමක් නොවේ. ශක්තිමත් පදනමක් දමාගෙන නැගී සිටීමක්.

* නමුත් බොහෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ජනරැල්ල ඇදී යමින් තිබෙන බවක් පෙනෙනවා නේද?

මමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. අපිටත් ඔය මහින්ද මහත්තයා එක්ක ඉන්න පිරිස් හමුවෙනවානේ. දැන් ඒ අය හම්බ වුණාම ඔවුන් කියනවා අපි කරගන්න දෙයක් නැතිව ඉන්නේ. අපිට උදව් කරන්න කියලා. අනික මේ හුඟක් අය මහින්ද මහත්තයාව පෙන්නලයි ඡන්දෙ දිනන්න හදන්නේ. මොකද ඔවුන් කරලා තියෙන වංචා නිසා ගමට යන්න බෑ. ඡන්දයක් කරන්න බෑ. ඉතින් මේ අයට එල්ලෙන්න තිබෙන එකම වැල මහින්ද සාටකයයි. බැරි වෙලාවත් මේ අයට තේරුම් ගියොත් මහින්ද මහත්තයා නැතිව දිනන්න පුළුවන් කියලා ඒ අය හිටපු ජනාධිපති තුමාව අත්හරිනවා. ඒත් තමන්ගේ කිලිකුණු නිසා ඒක කරගන්න බැරිව දඟලනවා. ඒ හැරෙන්න අපිට නම් කිසිම රැල්ලක් පේන්න නෑ

සංවාදය - මලික් චමින්ද ධර්මවර්ධන

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.