කාට වුණත් මගේ ජීවිත කතා­වෙන් පාඩ­මක් ගන්න පුළු­වන් | සිළුමිණ

කාට වුණත් මගේ ජීවිත කතා­වෙන් පාඩ­මක් ගන්න පුළු­වන්

 අනූෂා සොනාලි, ඉතිං කොහොමද..?

අසනීප තත්ත්වයක් තිබුණත් මම සතුටින් ඉන්නවා. දැන් තමයි ජීවිතය හරියටම දකින්නේ. මොකද හුදකලාව රෝද පුටුවක ඉන්න කොට එදාට වඩා අද වෙනස් විදියට ජීවිතය දකිනවා. මේ වෙනකොට තේරුම්ගෙන ජීවිතයේ කඳුළ අමතක කර සතුට එක්ක ජීවත් වෙනවා. මට වංචා කරපු, මාව ජීවිතෙන් වටිටපු අය මට වැරැද්දුවත් මම මගේ හිත වට්ටගත්තෙ නෑ. මම දවසක නැගිටිනවා. එහෙම හිතන් සතුටින් ඉන්නවා.

සතුටුයි ඔබේ ඔය ආත්ම විශ්වාසය ගැන..රෝගී තත්ත්වය කොහොමද.. ?

වෛද්‍යවරු කියන්නෙ මට තියෙන්නෙ ‘මයෝපති’ රෝගය කියලා. මෙයින් සිදුවන්නේ මාංශපේශි අක්‍රිය වීමයි . මම කකුල කැඩිල අවුරුදු හතරක් රෝද පුටුවෙ හිටියා. එතකොට එකතැන නිසා මාංශපේශී අක්‍රිය වෙලා ස්නායු දුර්වල වෙලා. ඉතිං දැන් ‘බයොප්සි’ පරීක්ෂණය සිදුවෙමින් පවතිනවා. ඒකෙ report එක එනකල් බලාගෙන ඉන්නවා.

ඔබේ යහළුවන් ඔබේ දුක සැප සොයනවා නේද..?

යහළුවෝ කිහිප දෙනෙක් දුක සැප සොයා බලනවා. සනෝජා බිබිලේ දැනුත් කතා කළා. කැලුම් විජේසූරිය, ප්‍රියන්ත විජේකෝන්, විනෝජා නිලන්ති එදා ඉඳලම මට උදව් කළා. කකුල කැඩුණ වෙලාවෙ සුරේණි සෙනරත් උදව් කළා. මම එයාලට ස්තූතිවන්ත වෙනවා හැමදාටම. හැබැයි මම උදව් කරපු අද වෙනකල් call එකක් වත් නොදීපු අය ගොඩක් ඉන්නවා. කියන්න කනගාටුයි ප්‍රසිද්ධ ගායක යුවළක් ඉන්නවා. එදා එයාල accident වුණාම මම ගිහින් එයාලට සුප්එක හදන් ගිහින් කෑමටික දීල රෙදිටික සෝදල දීල උදව් කළා. අද මම අසනීප වුණාම මට එක call ඒකක්වත් අද වෙනකල් දීලා නෑ. මගේ හොඳ මම ගාව හැමදාම තියෙනවා. අදට වුණත් මට වචනයකින් හරි කාට හෝ උදව්වක් කරන්න පුළුවන්නම් මම ඒක කරනවා. මම කවදාවක්වත් මගේ ගෙදරට ආව ගිය කිසිම කෙනකුට බත් කටකින් හරි සංග්‍රහ නොකර යවල නෑ. මගේ හොඳ ගතිගුණ පහත් මිනිස්සු නිසා මම නැතිකරගන්නෙත් නෑ.

ඔබ දැන් ජීවිතය දකින්නේ කොහොමද..?

මම අසනීප වුණාම තමයි මිනිස්සු කව්ද කියල හඳුනගත්තේ. කාට වුණත් ජීවිතයට හොඳ පාඩමක් ගන්න පුළුවන් මගේ කතාව ඇහුවොත්. කලකිරුනොත් ජීවත්වෙන්න බෑ. ඒ නිසා මිනිස්සු මෙහෙමයි කියල තේරුම් අරන් ජීවත් වෙනවා.

ඔබ ජනප්‍රිය සිනමා නිළියක්...ඒ මතකය ඔස්සේ අතීතයට ගියොත්..?

මට එච්. ඩී ප්‍රේමරත්න මහත්මයාගේ ‘වීසිදැල‘ චිත්‍රපටියට ගොඩක් ලොකු රසික ප්‍රසාදයක් ලැබුණා. මම හැම චිත්‍රපටියක්ම රඟපෑවෙ හරිම ආසාවෙන්. ඒ අතර ලොකු දුව,හඬන කිංකිණි අමතක කරන්න බෑ.1995 දි හොඳම නැගීඑන නිළිය වෙන්නෙත් මම. මම සිනමාවට ආදරෙයි. දර්ශනතල වලදී පවා මම හිටියෙ හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන්. අනිත් අය වෙනුවෙන් වුණත් පෙනී හිටියා. කියන්න තියෙන දෙය මූණට කියන කෙනෙක් . මාත් එක්ක වැඩකරපු අය මාව දන්නවා. හැමෝම ආදරෙන් හිටියා. ඒ මතක සුන්දරයි.

ඔබ කාගේත් ආදරය දිනාගත් චරිතයක්...කොහොමද ආදරය දකින්නේ..?

ආදරය සුන්දර විදිහට දකින කෙනෙක් මම. ආදරය ජීවිතයට නැතුවම බැරි තැනක හිටියා. මම ආදරය කරපු කිසිම කෙනෙක් අද මම ගාව නෑ. ආදරයේදී පෙම්වතියක් වගේම සහෝදරියක්,මවක්,යහළුවෙක්

වගේ ආදරය දෙන කෙනෙක්. මම ආදරයේදී අවංක වුණාට ඒ අවංකකම මට ලැබුණෙ නෑ. මාවප්‍රයෝජනයට ගත්ත අයත් හිටියා.

ඔබ රංගනයට එන්නේ කොහොමද..?

මම රංගනයට එන්නේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘ගැහැණු ළමයි’ ටෙලි නාට්‍යයෙන්. රස පත්තරේ මංගල කලාපයේ දැන්වීමක් දැකල මම අයැදුම් කළා. සම්මුඛ පරීක්ෂණ ගණනාවකින් මම තේරුණා. රස පත්තරෙන් ආවයි කියලා අර්නස්ට් වඩුගේ මහත්මයා මට එයාලගේ පත්තරෙන් ලොකු ප්‍රසිද්ධියක් දුන්නා. ඒ හරහා ටෙලි නාට්‍ය චිත්‍රපට බොහෝමයකට මට අවස්ථාව ලැබුණා.

පාසල් ජීවිතය මතක් කළොත්..?

කළුතර බාලිකාවට මම ගියේ.හරිම සුන්දර කාලයක්.සංගීතය,නැටුම් දෙකම හැදෑරුවා. බටහිර තූර්ය වාදක කණ්ඩායමේ පුංචි කාලේ ඉඳල හිටියා. පෙරහර, විවිධප්‍රසංග මේ හැම දේකම මම නියෝජනය කළා.

ඔබේ පවුලේ තොරතුරු..?

මමයි පුතයි අම්මයි තමයි ඉන්නේ. රට ඉඳල මල්ලිත් ඇවිත් ඉන්නේ. එයාටත් මේ වගේ තත්ත්වයක් තියෙනවා. අම්මත් අසනීපයෙන් රෝද පුටුවෙ ඉන්නේ. මගේ පුතා මම ගැන හරියට මහන්සි වෙනවා. මල්ලියි, ෂෙහාරා මගේ හොදම යහළුවයි මට උදව් කරනවා.

ජීවිතය ගැන පසුතැවෙනවද..?

මිනිස්සු ගැන කලකිරීමක් තියෙනවා..වැරදි මිනිස්සු නිසා මගේ කාලය මුදල් අපතේ ගියා. ඒකට මම පසුතැවෙනවා. අදටත් සමහර අය මම ගැන කතාකරනකොට මාව හරියට දන්නෙත් නැතිව මට දොස්

කියනවලු. ළඟදී දවසක කලාකරුවන් කිහිපදෙනකු රැස්වුණ තැනක කෙනෙක් කියල තියෙනවා මට උදව්කරන්න ඉන්න කෙනකුටවත් උදව් කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා. එයාලගෙ ජීවිත ගැනත් මම දන්නවා. කෙනකුට ඇඟිල්ලක් දික් කරන කොට තව ඇඟිලි හතරක් තමුන්ට දික්වෙලා තියෙන බව අමතක වෙලයි කතා කරල තියෙන්නේ.එයා මොනවද කළේ කව්ද කියන්නෙ කියල මම දන්නවා.

ඔබ කලාකාරිණියක්...මෙවැනි තත්ත්වයකදී ඔබට රජයෙන් හෝ ජාතික චිත්‍රපට සංස්ථාවෙන් උදව්වක් උපකාරයක් ලැබී නැද්ද..?

තවම නම් නෑ. ඉල්ලුම් කරන්න ඕනතැන්වලට ලියූම් භාරදුන්නා. තවමත් ඒවාට නිසි පිළිතුරක් නෑ. මම අමාරුවෙන් ගෙවල් කුළී ගෙවාගෙන බෙහෙත් වලට වියදම් කරගෙන ජීවත් වෙන බව තවමත් පත්තරේකින්වත් නොදැකද නිහඬව මෙහෙම ඉන්නේ?

ඔබට ආදරය කරන අයකුට ඔබට උදව්වෙන්න පුළුවන්නම් ඒ කොහොමද..?

මගේ ලිපිනය - ඩී 150, නිවාසපුර, කොටුගොඩ, ඒකල.

 

 

Comments