ටෙලි සම්මාන සාහිත්‍ය සම්මාන වෙඩි මුර හඬ ඇසේ | සිළුමිණ

ටෙලි සම්මාන සාහිත්‍ය සම්මාන වෙඩි මුර හඬ ඇසේ

 ඉන්ද්‍රචාපට වෙසක් උත්සවය ගෙවිල ගියේ, හරි ම හෝන්දු මාන්දු විදියට. ජපන් මිත්‍රත්ව මාවතේ, වෙසක් කලාපය නම් ඉන්ද්‍රචා‍පගෙ සමීප රූපයෙ ඈඳුණෙ දවල් කාලයෙ. දවාලෙදි වුණත් හරිම සුන්දර දර්ශනයක්. පාරදිගේ පිපිල තිබුණු රතු නෙළුම් මල් වෙනස් ම හැඩයකින් පාටකින් දියවන්නා ජලාශයෙ පිපිල තියෙන දැක්කත්, ඒවයේ හැඩරුව, ලස්සන බලන්න රාත්‍රියක යන්න බැරි වුණේ, වෙසක් කලාපයට විසාල ජනතා ආකර්ෂණයක් තිබුණු නිසා. මහ වැහි වහින්න පටන් ගත්තෙ වෙසක් පෝය දවසෙ පාන්දර ඉඳල වුණත්, සිල්ගන්න උපාසක උපාසිකාවන්ට කරදරයක් නොවෙන විදියට වැස්ස තුරල් වුණා. ඒ වගේමයි මෙදා සැරේ දන්සල්, තොරණවලටත් වැස්ස කරදර කළේ නෑ කියල ඉන්ද්‍රචාපට හිතෙන්නෙ තොරණ බලන දන්සල් පෝළිම්වල ඉන්න විසාල පිරිසකගේ මූණ සමීප රූප අතරෙ ඇ‍ඳෙන නිසා. නෙළුම් පොකුණෙ තිබුණු විශාල දන්සලක්, VIP වර්ගයේ එකක සමීපරූපයක් ඉන්ද්‍රචාප දකිනවා දහතුන්වැනි සෙනසුරාදා රාත්‍රියෙ. විදේශීය නියෝජිතයො පබිලිස් සිල්වගෙ මෙනුවලට හදපු කෑම රස බැලුවෙ, ඊට කලින් තිබුණු නාට්‍ය සංදර්ශනය නරඹල අවසන. ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරල තිබුණු බුදුන් දැකීම කෙටි සංගීතාංග නාටකය, මහ ජනතාව දැක ගත්තෙ රූපවාහිනියෙන් බවයි ඉන්ද්‍රචාපට දැනගන්න ලැබුණෙ. වෙසක් සිරිසර මැකීගෙන යන අතර වාරෙ ටෙලි සම්මාන, සාහිත්‍ය පොත් සම්මාන නිර්දේශිත නම් ගම් ඉන්ද්‍රචාගෙ සමීප රූපාවලියට එක් වී හමාරයි.

රයිගම් ටෙලීස් ටෙලි නාට්‍ය හා මාධ්‍යවිශිෂ්ටතා නිර්දේශිත නාම යෝජනා රාත්‍රිය දහනවවැනිදා රාත්‍රියෙ කොළඹ තාරකා හෝටලයක ටෙලිතරු, මීඩියා තරු රැසක් එක්ක ඉන්ද්‍රචාප දැක්කා. නිර්දේශිත නාම යෝජනා ලැයිස්තු, ඒ තොරතුරු ඇතුළත් සමරු කලාපය ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර. මාධ්‍ය අංශෙ, නිර්දේශිත නම් ගම් වලට වඩා ප්‍රේක්ෂක ආකර්ෂණය හැමතිස්සෙම දිනා ගන්නෙ ටෙලිනාට්‍ය සම්මාන සඳහා නිර්දේශිත නම් ගම් බව ඉන්ද්‍රචාපගෙ අත්දැකීම.

ටෙලිනාට්‍ය නිර්දේශිත නාම අතර, සමහර අංශයකට නිර්දේශිත නම් දෙකකට වැඩි නොවුණු අවස්ථා බොහොමයක් ම ඉන්ද්‍රචාප දකිනවා. නිර්දේශිත නාම අඩුවෙනව කියන්නෙ තෝරාගැනීම්වල දුෂ්කර බව, පළමුවැනි දෙවැනි නිර්දේශවලට පසුව තුන්වැනි තැනට ළඟට එන්න පුළුවන් නිර්මාණයක් නැත්නම් දෙකකින් නතර කිරීම ගැන ඉන්ද්‍රචාපට තියෙන්නෙ සතුටක්. සම්මානයක ගුණය, ප්‍රමිතිය, නිර්මාණකරුවන්ගෙ විශ්වසනීයත්වය, මේ සීමිත නිර්දේශ නාම මඟින් තවත් තහවුරු වෙනවා. ටෙලිනාට්‍ය එකක දෙකක නම් ගම් පමණක් නිර්දේශිත නාමාවලියෙ තියෙන්නෙ ඉතිරි නාට්‍ය මුල් නිර්මාණ දෙකකට ළ‍ංවෙන්නට පුළුවන් තත්වයක නොවේ නම්, නිර්දේශිත නාමාවලියෙ ඒ වගේ නිර්මාණයක් නොගෙන ඒම වඩාත් හොඳ අදහසක්. තනි අතට යන පාර, බොහිමියනවා වගේ නාට්‍ය නම්ගම් වැඩිපුර ම සමීප රූපයෙ ඇඳුණෙ. ජුනි 3 දා වෙන තෙක්. ඉන්ද්‍රචාප බලන් ඉන්නෙ කෙටි ලැයිස්තුවෙන් ද බෙස්ට්ල වෙන්නෙ කවුද කියල බලා ගන්න.

එක පැත්තකින් ටෙලි - මීඩියා නිර්දේශ ප්‍රකාශයට පත් වෙලා සම්මාන උලෙළක ආරම්භක වෙඩි හඩ ඇහෙන අතර තවත් පැත්තකින්, ශ්‍රී ලංකා ප්‍රකාශයන්ගෙ සංගමය පළමු වතාවට පවත්වපු කවි, කෙටිකතා සාදය වන රජත පුස්තක නිර්දේශිත නම් ගම් ද ඉන්ද්‍රචාපගෙ සමීප රූපාවලියට එක්වෙලා. නිර්දේශිත නිර්මාණයකට රුපියල් පණස් දාහක් දෙන එක නම්, ලොකු දෙයක්. ඒ වගේ ම 250,000 ක හොඳම නිර්මාණයට දෙන මුදල වුණත් කවියකුට, කෙටිකතාකරුවෙකුට විශාල ත්‍යාගයක්. මාලතී කල්පනා, ................ බ්‍රෝස්, නඳුන් යසිත වගේ අලුත් කවි කිවිඳියන් එක්ක, එරික් ඉලයප්පාරච්චිගෙ ලක් ශාන්තගෙ නම් සමීප රූපයට එකතුවෙලා. කෙටිකතා රජත පුස්තකයේ නම් නිර්දේශීත සැමෝම වගේ පෙර වතාවල සම්මාන දිනපු අය කියල ඉන්ද්‍රචාපට හිතෙනව. මංජුල වෙඩිවර්ධන, ජයතිලක කම්මැල්ලවීර, සමරසිංහ ගුණසේකර, එරික් ඉලයප්පාරච්චි තමයි කෙටිකතා නිර්දේශිත නාමාවලියෙ ඉන්නෙ. ජුනි මසෙ පළමු සතියේ 2016 හොඳම ටෙලි හා මාධ්‍ය විශිෂ්ටයන්ට රයිගම් ටෙලීස් සම්මාන පිරිනැමෙන අතරෙ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගෙ සංගමය ජුනි දෙවැනි සතියේ ප්‍රථම රජත පුස්තකලාභි කවියා හෝ කිවිඳියත් කෙටිකතාකරුවාත් තෝරාගෙන සම්මාන වෙඩි මුරය ආරම්භ කරනවා. සැප්තැම්බරයෙ තමයි ගිනිකෙළි ගිනි අවි - ඉන්ද්‍රචාප බලාගෙන ඉන්නවා මොනවද වෙන්නෙ කියලා. 

Comments