දිට්ඨ ධම්ම වේදනීය කර්මය සහ ජයලලිතා

 රාජ්‍ය දේපළ අවභාවිතය ගැන ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. අපේ රටේ රාජ්‍ය පාලක ඉතිහාසයේ බොහෝ තැන්වල රාජ්‍ය දේපළ අවභාවිතය ගැන සඳහන්ව ඇත්තේය. අපේ රටේ මිනිස්සු ඒ ගැන හොඳින්ම දන්නේය. එසේ කළේ කව්රුන්දැයි කියා ද දන්නේය. එහෙත් සුපුරුදු පරිදි දැනගන්නා සියල්ල අමතක කර දමා සතුටෙන් ඉන්නේය. දේශපාලකයා යනු රාජ්‍ය දේපළ අවභාවිත කරන්නාට කියන තවත් නමක් යනුවෙන් අපට රූපාන්තරණය වන්නේ ද ඒ අනුවය. රාජ්‍ය දේපළ අවභාවිතය පමණක් නොව දූෂණ, වංචා, කොමිස් සම්බන්ධයෙන්ද ඉහත කී සියල්ල අදාළය. ආණ්ඩු එන්නේය. ආණ්ඩු යන්නේය. ඒ සමග සමගාමීව අපේ දේශපාලනඥයෝද හිරේට යන්නේය. එළියට එන්නේය. රාජ්‍ය දේපළ අවභාවිතය, වංචා, දූෂණ මේ සියල්ල යළි යළිත් සිදුවන්නේය. හරියටම මෙගා නාට්ටියක් වගේ යැයි සිතෙන්නේය.

ඉතින් එසේ වුවද මේ කියන්නට යන්නේ අපේ රටේ රාජ්‍ය දේපළ අවභාවිතය ගැන නොවේය. මේ කියන්නට යන්නේ ජයලලිතා ගැනය.

ජයලලිතා හිටියේ තමිල්නාඩුවේය. මේ අති සුන්දර කාන්තාව ක්‍රම දෙකකින් තමිල්නාඩුව කැලඹූවාය. ඉස්සරවෙලාම රංගනයෙන්ය. ඊට පස්සේ දේශපාලනයෙන්ය. මේ කොයි එකෙන් ආවත් ජයලලිතා දිනුම්ය. ජයලලිතා ඉපදෙන්නේ යමක්කමක් ඇති පවුලක වුවත් කුඩා කාලයේම පියා මිය යෑමෙන් ඇයට දුෂ්කර ජීවිතයකට හුරු වන්නට සිදුවිය.

එහෙත් රංගනයට පිවිසීමත් සමග ඇය පැතූ ලෝකය යළි උදාවූයේය‍. එහි උපරිමය වන්නේ සිනමාවේ වීරයා ඇයගේ දේශපාලන වීරයා වීමෙන් හෙවත් එම්ජිආර් විසින් ඇයට දේශපාලන විවරණ ලබා දීමත් සමගිනි.

එතැන් සිට ජයලලිතා කිසිදා කිසිවකු නොසිතූ ගමනක් යන්නේය. ඒ ගමනේ බොහෝ තැන් අවපැහැතිය. අවුරුදු දා හතරක් තිස්සේ තමිල්නාඩුවේ මහ ඇමති ධූරය හෙබවීමේ පුදුම වරම ඇය හිමි කර ගන්නීය. එක අතකට එය පුදුම වීමට කරුණක්ද නොවන්නේ මේ දකුණු ආසියාව වන බැවින්ය.

බලයට පත් වී ටික කලකින්ම ජයලලිතා තමිල්නාඩු ජනතාවගේ ‘අම්මා‘ බවට පත් වූවාය. ඒ කියන්නේ ඇය සමස්ත තමිල්නාඩු ජනතාවගේම අම්මා යැයි කියාගත්තාය. එසේ කී විට මේ කියවන ඔබට අප්පච්චීලා මතක් වෙනවානම් ඒ ගැන කරන්නට දෙයක් නැත. මේ කියන්නේ ලංකාව ගැන නොව තමිල්නාඩුව ගැනය.

අම්මා වීම විතරක් ජයලලිතාට මදිය. ඇය තමන් හඳුන්වා ගැනීමට ‘පුරාචි තලයිවි‘ (puratchi Thalaivi) යන නමද යොදා ගත්තාය. එහි සිංහල තේරුම විප්ලවකාරී නායිකාව යනුය. ජයලලිතාට අනුව ඇය විප්ලවකාරී නායිකාවකි. ඇය වසර දාහතරක් තමිල්නාඩුව පාලනය කළද තමිල්නාඩුවට කළ විප්ලවීය වෙනසක් නම් නැත. ඒ වෙනුවට තමිල්නාඩු ප්‍රාන්තයේ දුගී බව දිනෙන් දින වැඩිවුණේය. ඒ අතර ජයලලිතාගේ වත්කම් දිනෙන් දින වැඩිවුණේය. රහසේ බැංකුවලට යන කොමිස් කුට්ටිවලට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරද ජයලලිතා නම්න් බිහිවූයේය. ‘අම්මා‘ රෙස්ටුරන්ට් ‘අම්මා‘ ඖෂධ ශාලා තමිල්නාඩුව පුරා ව්‍යාප්ත වන්නේය.

1984 සිට දේශපාලනයට පිවිසි ජයලලිතාට දේශපාලනයෙන් හම්බකරන හැටි අමුතුවෙන් කියා දිය යුතු නොවන්නේය. ඇයට ගැටලුවක් වන්නේ එසේ සොයාගත් මුදල් වියදම් කිරීම සම්බන්ධවය. අවිවාහක ජයලලිතාගේ සෙවණැල්ල වන්නේ ශශිකලාය. මුදල් වියදම් කිරීම වෙනුවෙන්ම ජයලලිතා ටික කලකට ශශිකලාගේ පුතා අරන් හදා ගන්නේය. එසේ අරන් හදා ගන්නා පුත්‍රයාගේ විවාහයද ඒ අතර සිදුකරන්නේය. ඒ කියන්නේ දරුවා අරන් හදා ගන්නේ ඒ තරම් ලොකු වූ පසුවය. මේ පුත්‍රයාගේ විවාහයට ජයලලිතා ඇති තරම් වියදම් කරන්නේය. කොතරම්ද කියන්නේ නම් ඒ විවාහය ගිනස් ලෝක වාර්තා දෙකක්ද තබන්නේය. ඉන් පළමුවැන්න වැඩිම අමුත්තන් සංඛ්‍යාවක් සහභාගී වූ විවාහ මංගල්‍ය උත්සවය වශයෙන්ය. දෙවැනි වාර්තාව තබා ඇත්තේ වැඩිම ආහාර පාන ප්‍රමාණයක් පිරිනමනු ලැබූ විවාහ මංගල්‍යය වශයෙන්ය.

ජයලලිතා එසේ ගිනස් වාර්තා තබමින් සල්ලි වියදම් කරන්නේය. 2011දී උසාවිය හමුවේ මේ වියදම් ගැන ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය කියන්නේ ඒ වියදම් සියල්ල තමා නොව මනාලියගේ පාර්ශවයෙන් දැරූ වියදම් කියාය. ඒ කියන්නේ ජයලලිතා බොරු කීමෙන්ද ලෝක වාර්තා තැබීමට සමත් බවය.

කෙසේ වුවද අරන් හදාගත් පුතා ඉතා කෙටි කලකින්ම දරුකමෙන් අයින් කිරීමට ජයලලිතා කටයුතු කරන්නේය. හේතුව ඔහු ඉවක් බවක් නැතිව ඇයගේ ධනය නාස්ති කිරීමය. අපූරු දරුවෝය. අපූරු මව්වරුය.

මේ විප්ලවීය නායිකාව කීප සැරයක්ම තමිල්නාඩු හිරේ තපින්නීය. ඒ නූගත්කමට, දුප්පත්කමට එරෙහිව සටන් වැදීම වෙනුවෙන් නම් නොවේය. හේතුව ඇයගේ දූෂණ වංචා හෙළිදරව් වීමය. පුදුමය වන්නේ උසාවිය ඇයව කොතෙක් වරදකරු කළද කෙසේ හෝ ඇය එම චෝදනාවලින් නිදහස් වීමය. එපමණක්ද නොව තමිල්නාඩු ජනතාව ඉදිරියේ ඇයගේ සොරකම් දූෂණ චෝදනා කොතෙක් ඔප්පු කරනු ලැබූවද යළි යළිත් ඔවුන් ඇයට ඡන්දය දීමය.

ඇය ‘අම්මා‘ය. අති සුන්දරය. ආකර්ෂණීය ය. ඉතා සෞම්‍ය ගතිගුණවලින් හෙබිය. ඉතින් ඡන්දය නොදී ඉන්න පුළුවන් කාටද?. ඒ විතරක් නෙමේය. පන්නීර්සෙල්වම් ඇතුලු ජයලලිතාගේ අමාත්‍යවරුන් ජයලලිතාට වඳින්නේ බිම පෙරළිලාය. සර්ව ජන ඡන්ද බලයක් මහ ජනතාවට මොකටද කියා සිතෙන්නේය.

මේ විදිහට කොහොම කොහොම හරි ජයලලිතා මහ ඇමතිකම අල්ලාගෙන යන්නේය. වාසනාවට ඒ කියන්නේ ජයලලිතාගේ වාසනාවට මහ ඇමතිකම දෙපාරකට වැඩිය දරන්නට බෑ කියා ව්‍යවස්ථාවේ සඳහන් නොවන්නේය. ඒ නිසා ජයලලිතා දිනන්නේය. පරදින්නේය. මහ ඇමති පුටුවට එන්නේය. යන්නේය. හිරෙත් යන්නේය. ආපසු ගෙදරත් එන්නේය. එහෙත් තමිල්නාඩු පොදු ජනතාව නම් දුප්පත් වන්නේය. පොහොසත් වන්නේය කියා කීමට නොහැකිය. ජයලලිතා මේ සියල්ල මැද දෝ්ලනය වන අතර තමිල්නාඩු මහ ජනතාව නම් දිගටම දුගී බවින් පීඩා විඳින්නේය.

බුදු දහමේ කර්ම විපාක දෙන ක්‍රම අනුව කර්මය වර්ග කරන්නේය. ඒ අතර මෙලොව දී කළ කර්ම විපාක මෙලොවදීම පල දෙන්නා වූ වර්ගයක්ද තිබෙන්නේය. දහම නොදන්නා බොහෝ දෙනා අතර වුවද දිට්ඨ ධම්ම වේදනීය කර්මය ප්‍රචලිත වන්නේ ඒ අනුවය. මේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය එක් අතකින් මිනිසුන් දහමට නැඹුරු කරවන, පව් කිරීමට බය කරවන කර්ම විශේෂයක් වන්නේය. ඒ කළ කළ දේ පල පල දේ න්‍යාය එහි ඇස් පනාපිට ක්‍රියාත්මක කර පෙන්වන බැවිනි.

රාජ්‍ය හෝ මහජන දේපළ අවභාවිතය යනු මහා අකුසල කර්මයකි. බොහෝ පාලකයෝ මේ අකුසල කර්මය බයක් සැකක් නැතිව කරන්නේ එහි විපාක ගැන නොදන්නා නිසාය. ජයලලිතාද එසේ විය යුතුය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඇය මිය යන විට අැය සතුව සාරි 10500ක් වූ බව පසුව ප්‍රසිද්ධියට පත් විය. ඒ සාරි විතරය. සපත්තු, සහ රන් ආභරණ ගැන අමුතුවෙන් කිව යුතු නැත.

එහෙත් මේ සියල්ල දමා ජයලලිතා යන්ට ගියාය. ඇයගේ මරණය සිදුවූයේ දෙසැම්බර් 5 වැනිදා යැයි රෝහල සහතික කොට කීවද ඒ ගැන සැකයක් පවතින්නේ රෝහලේම ඇතැම් දෙනා කියපු කතා නිසාය.

ජයලලිතා එසේ යන්නට ගියාය. වසර දාහතරක් දේශපාලනය කරමින් ඇය උපයාගත් ධන සම්භාරයෙන් කිසිවක් ගෙන ගිය බවක් තමිල්නාඩුව පැත්තෙන් වාර්තා වූයේ නැත.

මොක වුණත් රාජ්‍ය දේපළ අවභාවිතය අපායේ යන වැඩක්ය. ජයලලිතා කොහේ ගියාදැයි දැන ගන්නට තිබුණානම් ඇයගෙන් වැඩිදුර තොරතුරු අසා දැනගන්නට තිබුණාය. ඒ තොරතුරු ඉන්දියාවට පමණක් නොව අපේ රටේ කාට කාටත් වැදගත් වනවාට සැක නැත.

ටිරෝනි වෑවලගේ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.