අලුත් අය කලින් පරපුර දිහා බලන්න

හේ තාරුණ්‍යයේ අරුමැසි සිහින ගෙත්තම් කරමින් වරක් අපව සිහින දේශයකට රැගෙන ගියේය. ඊළඟට ඔහු ඒ සිහින සැබෑ කරන්නට මිල්ලසොයා ඉතාලියට ගියේය. එසේ මිල්ල සොයාගෙන ආවත් මරණ බිය විසින් වනසා දැමූ සිහින මාතා තුළින් විශද කළේය. එහෙත් ඔහු නිම්නයක හු‍ෙදකලා වන්නට සිතුවේ ඇයි දැයි නොදනිමි. මේ අපූරු සිහින මවන්නා අනෙකකු නොව විශ්වනාත් බුද්ධික කීර්තිසේන ය. ඔහු දැන් අප අබිමුවට පැමිණ සිටී.

• ලංකාවේ තිබුණු සිනමාවට මොකද වුණේ?

70-82 විතර වෙනකම් පීක්එකේ සිනමාව එනවා. 82න් විතර පස්සේ යම් පසුබෑමකට ලක්වෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කරන කොට මේ මේ කාරණා ඍජුව බලපෑව කියන්න බැහැ. මොකද ඒ සඳහා කරුණු රාශියක් බලපෑවා. 82 පස්සෙ රූපවාහිනිය එනවා, ඊට පස්සෙ වී.එච්.එස් වීඩියෝ කැසට් එනවා. ඔහොම ඇවිල්ලා අද වන විට බ්ලූරේ DVD දක්වා ඇවිත් තිබෙනවා. ඒවගේම අන්තර්ජාලය ඇවිත් ඕන ෆිල්ම් එකක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරන් බලන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා. හැබැයි මේ එක සාධකයක් විතරයි. මේකෙන් සිනමාව නැතිවෙන්නේ නැහැ. අනෙක් කාරණය නව තාක්ෂණය උපයෝගී කරගත් සිනමා ශාලා හැදු‍ෙණ් නැහැ. ඉස්සර සිනමා ශාලාවට ඇතුළු වුණාම “අම්මට සිරි මාර ලොකු ස්ක්‍රීන් එකක්නෙ. පවුලෙ අයත් එක්ක ඇවිත් අයිස් චොක්ස් එකක් කාල එයාර් කන්ඩිසන් එකේ ඉඳල ෆිල්ම් එකක් බලන්න ඕන.“ වගේ හැඟීමක් මිනිස්සුන්ට තිබුණා. දැන් කෙනෙක් සිනමා ශාලාවකට ගියාම හිතෙන්නෙ “ෂී: අපරාදෙ මෙතෙන්ට ආවේ. ගෙදර ඉඳන් හෝම් තියටර් එකේ ෆිල්ම් එකක් බැලුව නම් ඉවරයි.“ කලින් සිනමා ශාලාවට ආවේ විනෝදාස්වදය ලබන්න නම්, දැන් ඒක එතනදි ලැබෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි ගෙදර ඉඳන් පොඩියට හරි ඒක විඳින එක. ඉතිං ඒක එක හේතුවක්. අනිත් කාරණාව ඉන්දීය චිත්‍රපටි කොපි කරලා ෆිල්ම් හදන රැල්ලක් ආවා. මේවා බැලුවම මුල් සිනමා පටයට වඩා අප්සට් කියලා මිනිස්සුන්ට තේරුණා. මිනිස්සු ඒකත් ප්‍රතික්ෂෙප කළා. ඒත් ඒක වසංගතයක් වගේ දිගට පැතිරුණා.

කොමඩි ෆිල්ම්වලට මේක බලපාන්නෙ නැත්තේ ඒ අය යන්නේ ෆිල්ම් එකේ කොලිටිය බලන්න නෙමෙයි. කොමඩිය බලන්න. දැන් මගේ විදියේ චිත්‍රපටයක් ආවම ඒකෙ තියෙනවා තේරුම් ගන්න යමක්. ඒක ටිකක් එක්ස් ෆයිල්ස්වල වගේ විද්‍යා ප්‍රබන්ධමය ගතියක් තියෙනවා. මේවා බලන තරුණ පිරිස මේකේ පුර්ව ප්‍රචාරයක් දැක්ක ගමන් අපෝ මේක අරක කොපි කරපු එකක් වෙන්න ඇති කියලා බලන්නත් කලින් රිජෙක්ට් කරනවා. මොකද අර ආකෘතිය හැදිලා ඉවරයි ඔළුවෙ. ඉතිං එකක් නෙමෙයි පනහක් කළත් මෙච්චරයි. නැවත ඒ විශ්වාසය මිනිස්සු තුළ ගොඩනගන්න ඕන. ඒක දුෂ්කර කාර්යයක්. අනෙක් කාරණාව සිනමා සම්මාන උලෙළවල්. සිනමා උලෙළවල් පැවැත්වීම නතර වෙනවා. ඒකත් එක්ක මේ ඉනඩ්‍රස්ට්‍රි එකේ තිබුණු දැවැන්ත බව කඩාගෙන වැටෙනවා. පස්සේ කාලෙ ටෙලිවිෂන් චැනල්වලින් සිනමා උලෙළවල් පැවැත් වෙනවා. නමුත් මේවා එක පිරිසකට විතරක් සීමා වෙලා තියෙනවා. ඒවගේම දේශපාලනික වශයෙන් ගත්තොත් කළු ජුලිය එනවා. ඊට පස්සේ තරුණ කැරැල්ල එනවා. තරුණයො ඝාතනය වෙනවා. මේවත් සිනමාවේ කඩා වැටීමට බලපානවා.

එවගේම මට මේ මොහොතෙ මතකයට නොයෙන මට මග ඇරුණ තවත් හේතු කාරණා රාශියක් මේ තත්ත්වය ඇති වීමට බලපා තිබෙන්න පුළුවන්. ඒකයි මං මුලින්ම කිව්වේ මේකට එක හේතුවක් කියන්න බැහැ කියලා.

70ව දශකයේ ෆිල්ම්ස්වල එන්ටර්ටේට්මන්ට් ගතිය දෙපැත්තටම තිබුණා. දැනුත් හොඳ ෆිල්ම් හැදෙනවා. නමුත් ඉස්සර පනහක් හැටක් හැදුණ නම් දැන් හැදෙන්නේ තුනක් හතරක් විතර. ඒත් මේ තත්ත්වය හින්දි සිනමාව තුළ තාම තිබෙනවා. කෙල්ල ඉන්නවා. කොල්ලා ඉන්නවා. ලව් එකක් තියෙනවා. දුෂ්ටයා ඉන්නවා. පයිට් තියෙනවා, සින්දු තියෙනවා. ඒවා තාම වැඩ කරනවා. මොකද අලුත් තාක්ෂණයත් එක්ක ඒ අය ඉදිරියට ඇවිත් තියෙනවා. නැත්තම් ඔක්කොම එක වගේ කතානේ. ඒත් ඒවා දුවනවා. අපේ අයත් බලනවා. මේ තත්ත්වය තේරුම් අරන් ප්‍රෙක්ෂකයා තුළ විශ්වාසයක් ඇති කළ යුතුයි. ආයිමත් ඉස්සරවගේ අපිට සතුටු වෙන්න පුළුවන් චිත්‍රපට හැදෙනවා, යන්න ඕන බලන්න කියන තැනට ඔවුන් පත් කළ යුතුයි. අපේ ජාත්‍යන්තර සිනමා උලෙළ පරමාර්ථය වු‍ෙණත් නැවත සිනමාවට ආදරය කරන රසික පිරිසක් ගොඩනගා ගන්නේ කොහොමද කියන කාරණය යි.

• ඇත්තටම මොකක්ද ඒ සම්මාන උලෙළට වුණේ.

ඒකට විශාල වියදමක් දරන්න සිද්ද වුණා. ඒ නිසා අපිට ඒ මුදල සොයා ගැනීම දුෂ්කර වුණා. ඒවගෙම අපේ අතින් නොදැනුවත්ව මුදල් නාස්තියකුත් සිද්ද වුණා. දැන් ඒ ගැටලු නිරාකරණය කරගෙන මේ වසර අවසානය වන විට සිනමා උලෙළ පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

• ලංකාවේ අනකුත් සිනමාකරුවන්ගෙ නිර්මාණවල යම් සාම්‍යයක් පැවතුනත් ඔබේ සිනමා නිර්මාණ (සිහින දේශයෙන්, මිල්ල සොයා, මාතා හා නිම්නයක හුදකලාව) සෑම අතින්ම එකිකෙනට වෙනස් . එහෙම වෙනස් වුණේ නැත්තම් මට හරිම වෙහෙසක් (Boring) දැනෙනවා. ඉතිං මට වෙනසක් අවශ්‍යමයි. එහෙම රාමුවකට කොටු වුණොත් මාව සීමා වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම එතනින් එහාට ගිහින් මාව ප්‍රබෝධමත් (inspire) කරන නිර්මාණයකට මම යොමුවෙනවා. මම කියන්නේ නැහැ, කවුරුවත් නොකරපු දෙයක් මම කරන්න හදනව කියලා. මේ විදියේ සිනමා නිර්මාණ ලෝකයේ ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් මට ඒක අලුත් වෙන්න ඕන. මා තුළ ඒ සඳහා පෙලඹවීමක් ඇතුළතින්ම ඇති වෙන්න ඕන. ඇයි එහෙම වෙන්නෙ කියලා මට හරියටම කියන්න අමාරුයි. හැබැයි මට එහෙම දෙයක් දැනෙනවා. ඒ කොහොමද කියනව නම්, වෙන අය පුත්තලමට යන්න උත්සාහ කරන කොට මට හිතනවා නෑ මම මීගමුවට ගියානම් හොඳයි කියලා අන්න ඒවගේ හැඟීමක්.

• මෙහෙම චිත්‍රපටි හදන බූඩි ලංකාවේ හැදෙන චිත්‍රපටි ගැන හිතන්නේ කොහොමද ?

මම ඉස්සර චිත්‍රපටවලට ගොඩක් කැමතියි. මම මෑතක ප්‍රචාරය වුණු චිත්‍රපටි එකකට දෙකකට විතරයි කැමති. ඒකට හේතුව ඉස්සර චිත්‍රපටිවල තිබුණ තරම් විනොදාස්වාදී (entertainment) ගතිය දැන් හැදෙන චිත්‍රපටිවල නැහැ. ලෙනින් මොරායස්ගෙ චිත්‍රපටයක වුණත් ඒක හොඳට තිබුණා. පරාක්‍රම සිල්වා, ආචාර්ය ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්බාරනායක, වසන්ත ඔබේසේකර ආදී සිනමා කරුවන්ගේ චිත්‍රපටවල විනෝදාස්වාදීමය ගතිය හොඳින් තිබුණා. පති අයියගෙ‘පාරදිගෙ‘වුණත් හරි ලස්සනට අපිව කුල්මත් කළා. ප්‍රබෝධමත් කළා. ඒත් දැන් එන ඒවයේ දේශපාලනය, දේශපාලනය. සමාජ දේශපාලනය (socio politics), භූ දේශපාලනය (geopolitics), පක්ෂ දේශපාලනය (Party politics) අර දේශපාලනය මේ දේශපාලනය, මට ඒක හරියන්නේ (set) නැහැ. ඒකට කැමති අය ගොඩක් ඉන්නවා. ලංකාවේ ගොඩක් අය සමාජ දේශපාලනයට (socio politics) කැමතියි. ඒත් මට ඒකට එකඟ වෙන්න හරිම අමාරුයි. ගොඩක් අය තියෙන දේශපාලන ක්‍රමයට (system) විරුද්ධ (against) වෙන එක තමයි සිනමාව විදියට දකින්නේ. මමත් එහෙම එකක් කළොත් මටත් මිනිස්සු ගෞරව කරාවි. නමුත් මට ඒකෙන් තෘප්තිමත් වෙන්න බැහැ. මට එහෙම වෙන්නේ ඩ්‍රාමා එක්ක ඉන්න නිසා ද දන්නේ නැහැ. මට චැලේන්ජ් එකක් ඕන. ඒත් මේකේ මට අභියෝගයක් (challenge) නැහැ. විවාදාත්මක (controversial)දෙයක් කරලා ජනප්‍රිය වෙනවට වඩා, අදාළ අවස්ථාව ඉස්මතු කරලා ඒක තුළ ඇති වන විවාදාත්මක (controversial) බව විඳින්න මම ආසයි. ඒකෙන් මම තෘප්තියක් ලබනවා.

• ඔබ කිව්වා ඔබ දේශපාලනය කියන කාරණාව ඒතරම් සැලකීමට ලක්නොකරන බව. නමුත් ඔබ කළ චිත්‍රපට සියල්ලක්ම විශේෂයෙන් මිල්ල සොයා දේශපාලනික සිනමා කෘතියක් ලෙස කියවිය හැකියි.

ඔව්, වීසා නැති යෞවනයේ කතන්දරය කියලා මං ඒකට තේමාපාඨයකුත් එකතු කරා.

ඕනම නිර්මාණයක දේශපාලන දෘෂ්ටියක් තියෙනවා. මං ඒක පිළිගන්නවා. හැබැයි ඒකම විතරක් උලුප්පා දැක්වීමට මම එකඟ නැහැ. මං එතනදි උත්සාහ ගන්නේ ඒ සිදුවීම පැහැදිලි කරන්න. ඒක තුළ දේශපාලනය අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් ඒක උලුප්පල ගේන්න ගියොත් මගේ වැඩේ අවුල් වෙනවා. ළඟදි වෙච්ච සිදුවීමකින් මේක පැහැදිලි කළොත්, අපි නිකන් පරේ යනකොට ත්‍රීවිල් රියැදුරන් අපි ළඟ නවත්තලා කොහේටද යන්නේ කියලා අහනවනෙ. ඒත් මං වෙසක් දවසට පහුවදා හයර් එකක් යමුද ඇහුව්වා. මිනිහ ගත් කටටම බැහැ කිව්වා. වෙනද පස්සෙන් පන්න පන්න යනවද අහන මනුස්සය මේ බැහැ කියන්නේ ඇයි? ට්‍රැෆික් එක. මේ සිදුවීම ඇතුළෙ දේශපාලනය තියෙනවා.

• චිත්‍රපටියක් හදන්න සිද්ධාන්ත (theory) දැනගන්න ඕනමද?

සිද්ධාන්ත (theory) ඉගෙන ගන්න ඕන ඒක අවශ්‍යයි. හැබැයි චිත්‍රපටියක් (film) හදන කොට ඊට වඩා දේවල් ඇඟ ඇතුළෙන්ම ඇවිත් එකතු වෙනවා. උදාහරණයකින් පැහැදිලි කළොත්, අපි හිතමු වාහනයක් එළවනවයි කියලා. වාහනය එළවන්න පුරුදුවෙන කාලෙ බොහෝම අමාරුවෙන් ගියර් දාල, තිරිංග (break) ඇදලා පුරුදු වුණාට ටිකක් කල් එළවගෙන යනකොට සන්ග්ලාස් දාල තනි අතින් කරකවාගෙන පුතයා වගේ යන්න පුළුවන් වෙනවා. වැඩිය සුක්කානම ගැන හිතන්න දේකුත් නැහැ. (එහෙම යන්න එපා. මං මේ පැහැදිලි කරන්න කියන්නේ.) අන්න ඒ වගේ මේකත් ඉගෙන ගත්තට පස්සේ අපිට ඕන වෙනස්කම් (variation) අපි අතින් ඉබේටම වගේ සිද්ධවෙනවා. ඒවා පොතේ තිබුණු දේවල් නෙමෙයි. දැන් යුද්ධයක් කරද්දි එන විදියට පටපටගාල ගහනව මිසක් තියරි හොයන්නේ නැහැ නේ. මට දවසක් ඩී.බී නිහාල්සිංහ මහත්තයත් කිව්වා බූඩි film එකක් කරනවා කියන්නේ යුද්ධයක් කරනව වගේ වැඩක්. හැබැයි යුද්ධයක් කළොත් බාගෙ වෙලාවට ගෙදර එන්න බැරිවෙන්න පුළුවන්. ඒත් මේකත් යුද්ධයක් වගේ වැඩක් කියල. ඔහු කියපු දේ හරියට හරි. අපි කොච්චර කලිං සූදානම් වෙලා ගියත් එතනදි නැවුම් අදහස් එන්න පුළුවන්, එතකොට මගේ නම් අදහස අපි ඒදේයි කරන්න ඕන. එතකොට තමයි ඒක අලුත් වෙන්නෙ.

• දැන් දැන් නවක සිනමා කරුවන් බිහිවෙනවා. ඔබට ඔවුන්ට කියන්න තියෙන්නේ මොකක්ද?

එයාලට කියන්න තියෙන්නේ අපි දිහා බලන්න එපා අපිට කලින් පරම්පරාවේ අය කරපු සිනමා නිර්මාණ දිහා බලන්න. ඒ අධ්‍යක්ෂකවරු කරපු දේවල් හොයල බලන්න. සිනමාවේ කලාත්මක සෞන්දර්ය භාවයන් වැඩිපුරම දකින්න ලැබෙන්නේ ඒ චිත්‍රපටිවල.

සර්කෝසිගෙ (sarkozy) film එකක් බැලුවම අපට පේනවා ඒක දේශපාලනික කෘතියක් බව. නමුත් එහි සිනමා සෞන්දර්ය නොඅඩුව වෑහෙනවා. ඒ චිත්‍රපටි කවියක් වගේ විඳින්න පුලුවන්. හැමෝම දැන් film festival පිස්සුවක් හදාගෙන festival යන්න දඟලනවා. ඒක නරක නැහැ හොඳයි. නමුත් festival යන්න බලාගෙන නිර්මාණ කරනවට වඩා සිනමාත්මක නිර්මාණයක් විඳින්න පුළුවන් නිර්මාණයක් කරන්න උත්සාහ ගන්නව නම් තමයි වඩා හොඳ. එහෙම කළොත් සමහර විට ඒ චිත්‍රපට festival වලටත් තේරේවි. හැමරටකම වගේ හුඟාක් හොඳ චිත්‍රපටි festival යන්නෙ නැහැ. මං දකින ලොකුම දුර්වල කම තමයි festival යන්න බලාගෙනම film හදන එක.

• හොඳයි අපි ‘නිම්නයක හුදකලාව‘ සිනමා පටයට ආවොත් එහි ප්‍රස්තුතය මොනවගේ එකක්ද?

මේක එක incident (සිද්ධියක්) එකක් පාදක කරගෙන නිර්මාණය වූවක්. ඒ incident එක එක එක පැතිවලට හැරිල තියෙන්නෙ. මොකද film එක නැවත නැවත බලද්දි මටත් ඒක වෙනස් වෙනස් ආකාරයට feel වෙන්න ගන්නවා. මේක බැලුවම තෙරෙයි මං කියන්නෙ මොකක්ද කියල.

ජීවිතයේ එක තත්පර ගණනක සිදුවන සිදුවීමක් පැය එකහමාරක් පුරා දිවෙනවා. ඒ දිහා පැතිකඩවල් ගණනාවකින් බලන්න අපිට යෝජනා කරනවා. ඒක සමාජ සංස්කෘතිකමය වශයෙන් වෙන්න පුළුවන්, දාර්ශනික වශයෙන් වෙන්න පුළුවන්, මනෝ විශ්ලේෂණය පැත්තෙන් වෙන්න පුළුවන්, සාහිත්‍යමය ආකාරයකින් වෙන්න පුළුවන්, අපිට ඕනම කවුළුවකින් මේකට ඇතුළ් වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. ඒක එහෙමද කියලා ඔයාලටත් ඇවිත් බලන්න පුළුවන්. සීමිත කාල සීමාවකට යටත්වයි මෙය ප්‍රදර්ශනය වන්නේ. එනිසා ඔබට ලැබෙන අවස්ථාව අත්නොහැර නරඹන්න.

සංවාද සටහන
රසික කොටුදුරගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.